“එයාට සනීපෙට නිදන්න නම් දෙපතුල් වැහෙන්නම පොරවන්න ඕනෑ”යි අම්මා නිගූ පුංචි දවස්වල තමන්ම කියූ වචන මෙනෙහි කරමින් ඔහුට පොරවා ගියද නිගූට නින්ද නොඑයි.
අසෙනි සිහි වෙයි. දවසටම ඇගෙන් ඇමතුමක් නොලද වේදනාවෙන් හිත වෑවෙයි. නිගූ කිහිපවරක්ම ඇයට ගෙන බැලුවද කිසිදු ප්‍රතිචාරයක් නැත. අසෙනි තමාගෙන් දුරස් වන්නට තීරණය කොට මෙලෙස හැසිරෙන්නේදැයි ඔහුට සිතෙයි. ඒ සිතුවිල්ලත් සමඟ ඇයට තව වරක් උත්සාහ කළ යුතු යැයි සිතෙයි. එහෙත් මැදියමට ළංව තිබෙයි. ඈ යහනත වැලඳ නිදි ඇති.
කොහේ හෝ සීනුවක් නාද වන හැමවරෙකම සූරදූතයකුට අත්තටු ලැබෙන බව කියවෙන කතාව සිහි කරමින් උදේම නිගූට අසෙනිගෙන් ඇමතුමක් එයි. එහෙත් එය අසෙනි රැය පුරා නිදිවර්ජිතව හිඳ අවසානයේ ගත් තීරණයකි. ඈ ඔහුගෙන් දුරස් වන්නට තීරණය කර තිබෙයි. නිගූගේ අතීරණය ඇගේ මේ තීරණයට එකම හේතුවයි. ඈ ඔහුගෙන් කිසිවක් ඉල්ලා කරදර නොකරයි. ඈ ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි. ඒ නිගූගේ අම්මාට හැමදේම කියා ඈ කැමැති කරවා ගන්නා ලෙසයි. පසුව ඈ නිගූගේ අම්මා හමුවන්නටත්, එතැන් සිට නිගූගේත්, තමාගේත් අනාගතය සැලසුම් කරන්නටත් සිතා සිටියි. එහෙත් දවසින් දවස එය පමා වෙයි. නිගූ අම්මාගේ තීරණය ගැන දෙගිඩියාවකින් සිටින බව අසෙනිට කිහිපවර හැඟෙයි. අම්මාගෙන් මිදී තනිව තීරණයක් ගැනීමට නොහැකිව හිඳින ඔහු තමාටත් වඩා අසරණව සිටින බව ඇයට වැටහෙයි.
“මට ඔයාව අද කොහොම හරි හම්බෙන්න පුළුවන්ද?”
අසෙනිගේ කටහඬෙහි පුරුදු කෝමල ස්වරය මැකී ගොස් තිබෙයි. ඒ වචනවල ඇත්තේ තද බවකි. අනිවාර්යතාවකි.
“ඇයි බැරි..? මටත් ඕෙන ඔයාව හම්බ වෙන්න තමයි..”
“අනේ බොරු නොකිය ඉන්න .. මට තේරෙනවා ඔයා මා එක්ක ඉන්නෙ බොරුවට කියලා.. මට බෑ තවත් මේ විදිහට.. ඔයා තීරණයක් ගන්නැත්තම් මං ගන්නම්..”
අසෙනිගේ අන්තිම වචනවල මුලින් තිබුණු තද ගතිය මැකී ගොස් බිඳුණු ස්වරයක් නැඟෙයි. නිගූට දුක හිතෙයි.
“හරි හරි ළමයො, මං බණ්ඩාරගම ඇවිත් ඉන්නෙ.. අම්මා බලන්න.. මං ඉක්මනින්ම එනවා.. ඔයා කොහෙටද එන්නෙ…කීයටද?”
නිගූගේ වචන ඇසෙන විට අසෙනි නිවෙයි. ආයෙම දැවෙයි. ඒ වචනවලත් ස්වරයේත් ඇති මායාකාරී බව උගුලක් නොවේදැයි අසෙනිට සිතෙයි.
“ඔයා ඔහෙන් එද්දි දවල් වෙනවද?”
“ඔව්..චුට්ටක්… තාම නැඟිට්ටෙත් නෑ.. ඊයේ මං බලන් හිටියා ගොඩක් රෑ වෙනකල් ඔයා කතා කරයි කියලා.. ”
“හරි… හරි දැන් කතා කළානේ… ඉතින් කියන්ඩකො කීයට විතරද එන්නෙ කියලා..”
” දැන් උදේමනම් එන්න දෙන්නෑ අම්මා…දැන් උයනවා ඇති.. අක්කයි, අයියයි ගියාම මං එයා එක්ක කතාවක් දාන් ඉඳලා ඉක්මනින් එනවා.. කොහොමත් දවල් වෙද්දි එන්නම්”
“හරි එහෙනම් මං ඔයාගේ ඔෆීස් එකට එන්නද? ඔයා ඇවිත් කෝල් එකක් දෙන්න..”
අසෙනි කවදාවත් නිගූගේ ඔෆීස් එකට එන්නද අසා නැත. ඈ නිගූගේ මිතුරන් ඉදිරියෙහි අතිශය ලජ්ජාශීලීය. කුළෑටිය. එබඳු විටෙක නිගූ සමඟ ඇඟෑලුම්කම් දැක්වීමෙන් තමා වරදක් කරමින් සිටින්නේය යන හැඟීමක් ඈ තුළ ජනිත කෙරෙයි. නිගූගේ යුග දිවිය අවුල් වන්නට තමා ද හේතුවක් යැයි ඔවුන් සිතනු ඇතැයි අසෙනි බිය වෙයි. එහෙත් ඈ අද නිර්භයවම කිසිදු පැකිළීමකින් තොරවම ඔෆීස් එකට එන බව කියයි. අසෙනි මින් පෙර ෆිෆ්ත් ලේන් හි අයිකොනික් අයි ආයතනයට පැමිණ ඇත්තේ එක් වරක් පමණි.. ඒ මහේන්ද්‍ර සේනාධීරගේ ටෙලියක මුහුරත වෙනුවෙනි. මහේන්ද්‍ර, අසෙනිගේ ද මිතුරෙකි. නිගූට හොරණ සරසවි යුගයෙන් පසු අසෙනි යළි මුණගැසෙන්නට මහේන්ද්‍ර ද හේතුවක් වෙයි.
අසෙනි ඔෆීස් එකට එන බව කී සැණින් නිගූට මාරියාව මතක් වෙයි. පෙරදා හැන්දෑවෙහි තමා හැසිරුණු ඉතා ලාමක, හැඟීම්බර ස්වරූපය ගැන ලැජ්ජාවක් ද පසුතැවීමක් ද තමා ගැනම අප්‍රසන්නකමක් ද ඔහු තුළ උපදියි. තමා මාරියාට කුඩා දරුවකු සේ තුරුලු වී හුන් අයුරු අමතක කර එබඳු සිදුවීමක් නොවූ සේ සිතින් මකා දමන්නට ඇත්නම් යැයි ඔහුට සිතෙයි. එබඳු අත්වැරදි කවරකුට වුවද සිදු විය හැකි නොවේ ද? එහෙත් තමා තුළ බොහෝ හැන්දෑවරු විසින් ගෙනෙන ආතතිසහගත කාන්සාමය මානසික ස්වභාවය තමා අතින් කවර අත්වැරැද්දක් වුව ද සිදු කරවන්නට හේතු විය හැකි බව නිගූ දනියි. පේරාදෙණියේ සිවුවැනි වසරෙහි සිටිද්දී ද එබඳුම සිදුවීමක් වූ අයුරු නිගූගේ මතකයට නැඟෙයි. එය කොතරම් මානසික වියවුලකින් සිටි සවසක් ද යන්න අමතකව යන තරමට ඒ මතකය හිත් ගැබට කා වැදී තිබෙයි.
කාංචනා නිගූ සමඟ අමනාප වී නොකියාම සරසවියෙන් පලා ගොස් කිසිම ආරංචියක් නැතිව සිටි සතියකි. ඈ ගෙදර යන්නට ඇතැයි ඔහු සිතයි. සති අන්තය වන විටත් ඈ නොපැමිණිම නිසා නිගූ අවුලෙන් අවුලට පත් වෙයි. සිකුරාදා හැන්දෑ වනවිට සියලු මිතුරන් කාමර සගයන් නිවෙස් බලා පිටත්ව යයි. ගෙවල් දොරවල් දුර බැහැර බැවින් යා නොහැකිව නතර වන සිසුවකු හෝ තම පෙම්වතිය සමඟ සති අන්තය පේරාදෙණියේම ගෙවා දමන මිතුරකු පමණක් ඉතුරු වෙයි. ඒ සිකුරාදා හැන්දෑවේ අහස් මාලිගාව යනුවෙන් හඳුන්වන මාකස් ශාලාවෙන් නික්මෙන නිගූ, ෆයිනස් යාය අතරින් ඇති පාරෙන් පැමිණ සරසවි විහාරස්ථානය අසල පියගැටපෙළින් බැස පුස්තකාලය දෙසට පා වෙයි. ෆයිනස් ගස්වල දිගටි හෙවණැලි සැඳෑ සිතුවම් අඳියි. බතලේගලට ඉරේ රන් රැස් කෙඳි වැගිරෙයි. නිගූගේ හිත වටකර කාන්සිය උතුරයි. ආත්මානුකම්පාව ගලයි.
පුස්තකාලයේ සිවුවැනි මහලේ එහා කෙළවරෙහි පොත් රාක්කයක් පීරා හයිකු ඇන්තලොජියක් ගෙන පෙරළයි. මත්සුවෝ බෂෝ නම් ජපන් හයිකු කවියාගේ හයිකුවක හිත නතර වෙයි.
“සංචාරයෙන් වෙහෙසට පත්ව
මම නවාතැන්පොළක් බලමි
ආ … මල්වැලක්.”
තවත් කොටසකින් හමුවෙමු.
