Monday, December 22, 2025
Epaper
Home පුවත්මේ ව්‍යසනයෙන් නැඟී සිටින අපේ එකමුතුකම ගැන විදේශිකයන් පවා කතා කරන්නේ පුදුමයෙන්

මේ ව්‍යසනයෙන් නැඟී සිටින අපේ එකමුතුකම ගැන විදේශිකයන් පවා කතා කරන්නේ පුදුමයෙන්

by Shanaka Lakehouse

දිට්වා සුළි කුණාටුවෙන් අපේ රටට වූ හානිය මිල කළ නොහැකිය. එහිදී ස්වභාව සෞන්දර්යයට, මිනිස් දේපළවලට මෙන්ම මනුෂ්‍ය ජීවිතවලට සිදු වූ හානිය කෙසේ තක්සේරු කරන්නද? මේ මහා ව්‍යසනයේ බලපෑමෙන් සමස්ත ශ්‍රී ලංකාවම වෙළා ගනිද්දී එහි වැඩිම හානිය වූ පළාත ලෙස ඌව පළාත පෙන්වා දිය හැකිය. මේ වන විට ඌව පළාත නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන්, සාමාන්‍ය වැසියන්, සහන කණ්ඩායම් ඇතුළු පිරිස් ළහි ළහියේ කටයුතු කරන ආකාරය අපට දිස් වේ. ඒ සඳහා නිදි නැතිව රැය පහන් කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු කණ්ඩායම් කටයුතු කරන අවස්ථාවක ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය වන අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය මේ ආපදාවෙන් ඌව නැඟී සිටින ආකාරය අප හමුවේ මෙසේ විස්තර කළාය.

වෘත්තීය ජීවිතයේ විවිධ අවස්ථා පසු කරගෙන ඇවිත් වත්මන් තනතුරත් සමඟ මේ අවස්ථාව ඔබතුමියට දැනුණේ කොහොමද?

ඇත්තටම මගේ සේවා කාලයෙන් අවුරුදු 25ක්ම මම සේවය කළේ බස්නාහිර පළාතේ ආයතනවලයි. ඉතින් මගේ සේවා කාලයේ අවසන් අවුරුදු පහේදී මට ඌව පළාත වෙනුවෙන් සේවය කරන්නට අවස්ථාව ලැබුණා. ඇත්තටම බස්නාහිර පළාතට සාපේක්ෂව මෙහි නිලධාරීන් එකමුතුව වැඩ කරන ස්වභාවයක් මා දැක්කා. එය මේ තත්ත්වයේදීත් මගේ රාජකාරිවලට පහසුවක් වුණා. අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, සංස්කෘතිය, ප්‍රවාහන ඇතුළු විෂය ක්ෂේත්‍ර 23ක් මගේ විෂය පථයට මෙහිදී ඇතුළත් වී තිබෙනවා. ඇත්තටම එය ලොකු වගකීමක්. මීට පෙර මම කටයුතු කළේ එක විෂයක පමණයි. ඒත් බස්නාහිර පළාතට වඩා මෙහි මිනිසුන්ගේ පවතින එකමුතු බව නිසාම මට මෙහි වැඩ කිරීමේ පහසුවක් දැනෙනවා.

ඒ වගේම ඌව පළාත ලංකාවේ දුප්පත්ම පළාතක් ලෙස හැඳින්වුවත් මට ඒ බවක් දැනෙන්නේ නෑ. ඇත්තටම ඌව පළාතෙහි කෘෂි කර්මාන්තය, සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය සම්පත් ස්වාභාවිකම ගොඩ නැඟී තිබෙනවා. සැබැවින්ම අධ්‍යාපනය නඟා සිටුවිය හැකි නම් මෙහි මානව සම්පත නඟා සිටුවීම අපහසු නෑ. එහෙත් පසුගියදා ඇති වූ දිට්වා ආපදාවත් සමඟ අපි නැවතත් විශාල ලෙස ආපස්සට ගියා කීවොත් වැරදි නෑ. පළාතක් ලෙස ගැනීමේදී මොනරාගල දිස්ත්‍රික්කයට මෙයින් වැඩි බලපෑමක් සිදු වූයේ නෑ. මොනරාගල දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 2ක් වාර්තා වෙද්දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් මේ වන විට පුද්ගල මරණ 88ක් වාර්තා වී තිබෙනවා. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග, පළාත් පාලන ආයතන යටතේ පවතින මාර්ග, වාරිමාර්ග, කෘෂිමාර්ග ආදී සියලුම මාර්ග ආපදාව හේතුවෙන් වැසී ගියා. පළාත් මාර්ග 171ක් විනාශ වුණා. ග්‍රාමිය මාර්ග දහසකට අධික සංඛ්‍යාවක් කැඩී බිඳී ගොස් තිබුණා. දේශපාලන අධිකාරිය සහ ආණ්ඩුකාරතුමා මේ මාර්ග ප්‍රතිසංස්කරණයේදී ප්‍රමුඛ මැදිහත්වීමක් සිදු කළා. ඒ වගේම නිලධාරීන්ව විශ්වාස කරමින් නිලධාරින්ට නිදහස ලබා දීම හරහා මෙහි නැවත ගොඩනැඟීම් කටයුතු පහසු වුණා.

මේ වන විට වාරි කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන්, අධිෂ්ඨානයේ මහිම නමින් වැඩසටහනක් දියත් කර තිබෙනවා. කුඩා පරිමාණයේ සිට මහා පරිමාණයේ වාරිමාර්ග දක්වා වාරිමාර්ග 1703ක් විනාශ වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් දෙසැම්බර් 9 වැනිදා සිට 23 වැනිදා දක්වා සති 2ක මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, පොලිසිය සහ සහන කණ්ඩායම් එක්ව මේ වන විට එම රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම විදුලිය, ජලය, සන්නිවේදන පද්ධති අවහිර වී බදුල්ල දිස්ත්‍රික්කය හුදෙකලා වීමක් සිදු වුණා. මේ වන විට විදුලිය සියයට සියයක්ම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. සන්නිවේදනය සහ ජල සැපයුමත් 80%කට වඩා යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා.

සාමාන්‍යයෙන් ආපදාවකදී දිස්ත්‍රික් ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නැවත ගොඩනැඟීම් සිදු වෙනවා. එහෙත් මෙවර සිදු වූ හානිය වැඩියි. මෙවර ඒ සඳහා පළාත් සභාවලිනුත් අපට උදවු ලැබුණා. ව්‍යවස්ථාපිතව නම්, පළාත් සභාවල සහාය ලැබෙන්නේ ආපදාවකින් පසුව භෞතික සංවර්ධනයේදීයි. එහෙත් මේ අභියෝගයේදී පළාත් සභා පවා ඌව පළාත නැවත ගොඩනැංවීමට වෙනදාට කලින් දායක වුණා.

මේ විනාශයෙන් පළාතේ පාසල් 892න් පාසල් 165කට පමණ අඩු වැඩි වශයෙන් හානි වී තිබෙනවා. පාසල් 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා වගේම ඒ පාසල් වෙනත් ස්ථානවල නැවත ස්ථාපිත කිරීමට සිදුව තිබෙන බවද කිව යුතුයි. ඒ වගේම මේ වන විට පාසල් තිස් ගණනක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අනුග්‍රාහකයන් දායක වී තිබෙනවා.

මෙම ව්‍යසනය සමඟ මහියංගණ රෝහල වසා දැමීමට සිදු වුණා. එහෙත් එහි එකදු රෝගියකු හෝ කිසිදු හානියකින් තොරව අප වෙනත් රෝහල්වලට මාරු කළා. අනතුරුව වසා දැමුණු මහියංගණය රෝහල දවස් 3ක් ඇතුළත නැවත විවෘත කිරීමට අපට හැකි වුණා. මේ වන විට පළාතේ රෝහල් 3ක් තාවකාලිකව වෙනත් ස්ථානයන්හි ස්ථාපිත කර තිබෙනවා.

පුද්ගලයින් අසූදහසක් පමණ ඌව පළාතේ අවතැන් වී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් සුරක්ෂා මධ්‍යස්ථාන 200ක් පමණ ස්ථාපිත කර තිබුණා. මේ වන විට එය 150 දක්වා අඩු වී තිබෙනවා. තවමත් නාය යෑමේ අවදානම පහව නැති නිසා කඳවුරු සංඛ්‍යාව අඩු වැඩි වෙමින් පවතින බවද කිව යුතුයි.

සුරක්ෂා කඳවුරුවල සිටින පුද්ගලයින් හුදෙකලා වීම වැළැක්වීමට අප ඒවායෙහි විවිධ රසවින්දන වැඩසටහන් නිරතුරුවම පවත්වනවා. ඒ සඳහා පෙර පාසල් සහ පාසල් ගුරුවරු මෙන්ම කලාකරුවන්ගේද සහාය ලැබෙනවා. ඌව ගොඩනැඟීමට නිරන්තරයෙන් කැප වී සිටින රණවිරුවන්, සහන කණ්ඩායම්වල මානසික සුවය වෙනුවෙන්ද රසවින්දන වැඩසටහන් අප සංවිධාන කර තිබෙන බව කිව යුතුයි.

නැවතත් මෙවන් ව්‍යසනයක් පැමිණියහොත් ඒ සඳහා මුහුණ දෙන්නට ක්‍රියාත්මක කරන දිගුකාලීන සැලසුම් මොනවාද…

බදුල්ල ප්‍රදේශයේ භූගෝලිය පිහිටීමත් සමඟ නැවත මෙවන් ව්‍යසනයක් සිදු නොවේ යැයි කියන්න බෑ. මේ වන විට තාවකාලික විසඳුම් යොදා තිබෙන බව සත්‍යයක්. අප මාර්ග විවෘත කර තිබෙන්නේ එදිනෙදා ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා පමණයි. මේ වන විට ඊසාන මෝසම සක්‍රිය වී ඇති නිසා ලබන වසරේ ජනවාරිය දක්වා ඌව පළාතට වැසි සහිත කාලගුණයක් පවතිනවා. ඉතින් පොළොවට ජලය අවශෝෂණය වී පවතිනවා වගේම ඉදිරියේදී වැසි වැඩි වුණොත් එහි බලපෑම වැඩි විය හැකියි. ඒ සියල්ලටම අප සූදානමින් පසු වන බව කිව යුතුයි.

එහෙත් අපි තවමත් සිටින්නේ දිට්වා ආපදාවෙන් පසු නැවත සියල්ල යථා තත්ත්වයට පත් වන මට්ටමේ. අපේ නිලධාරීන් දවසට නිදාගන්නේ පැය දෙක තුනයි. තවමත් අපි සිටින්නේ අවදානම කළමනාකරණය කරන මට්ටමේ. අපට සොබාදහම පාලනය කරන්න බෑ. මේ ප්‍රදේශයේ ස්වභාවයත් එක්ක ඕනෑම වෙලාවක නාය යෑමක් සිදු වන්න පුළුවන්. ඉතින් අපි ඕනෑම හදිසි තත්ත්වයක් කළමනාකරණය කිරීම, පවුල්වලට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලීම, දරුවන්‌ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම වෙනුවෙන් මේ වන විට වැඩ කටයුතු සිදු කරගෙන යනවා.

ඒ වගේම අපට සියලු සංවර්ධන කටයුතු නැවත සැලසුම් කරමින් වැරදි අවභාවිත වූ තැන් නිවැරදි කර ගනිමින් නගර නිර්මාණය කිරීම, සංවර්ධන කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. ජාතික මට්ටමේ සැලසුමක් ඒ වෙනුවෙන් සකස් වෙමින් පවතිනවා. එහෙත් තවමත් ඇති වූ ව්‍යසනයෙන් නැඟී සිටින කාලය හෙයින් ඒ සඳහා ඉදිරියේදී වඩාත් සැලසුම්සහගතව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?