Monday, December 22, 2025
Epaper
Home විශේෂාංගකඳුළු අතරින් හිනැහෙන දයාවේ නත්තල

කඳුළු අතරින් හිනැහෙන දයාවේ නත්තල

by Shanaka Lakehouse

කඳුළු සේදී යෑමට පෙර… ගංවතුරින් පීඩිත හදවත් සනසන ‘දයාවේ නත්තල’ මෙවර තේමාවයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මෙවර නත්තල් පණිවුඩය අප රටට බලපෑ දරුණු ස්වභාවික ව්‍යසනයේ කඳුළු කඳු අතරින් නැඟ එයි. මෑතකදී ශ්‍රී ලංකාව අත්විඳි ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මිලියන එකහමාරකට නොඅඩු පිරිසක් අවතැන් වී සිටින අතර, තවමත් බොහෝ දෙනෙක් කඳු බඩ ප්‍රදේශ වල ගල් පස් කඳුවලට යටවී අතුරුදන්ව සිටින මෙම වේදනාකාරී මොහොත, උන්වහන්සේගේ පණිවුඩයේ පූර්විකාව වේ. ක්‍රිස්තු ශ්‍රාවකයන් වන අප ආගමන කාලය හා නත්තල සමරන කාල පරිච්ඡේදයකට අවතීර්ණ වෙමින් සිටින්නේ මෙවැනි පසුබිමකයි.

ඇත්තෙන්ම නත්තල් සමය යනු අපව පාපයේ හා මරණයේ බලවේගයන්ගෙන් මුදා ගන්නට මෙලොව අප අතර ජනිත වූ දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මානව උපත සිහිපත් කරන මොහොතක් වන නිසා, එය අප කාටත් ප්‍රීතිය, සතුට ගෙන දෙන කාලයක් බවට පත්වේ. එහෙත් අප රට මුහුණ දී ඇති මේ අති ඛේදජනක තත්ත්වය හමුවේ බාහිර ආටෝපයන්ගෙන් යුතුව නත්තල සමරන්නට හැක්කේ කාහටද? යන්න උන්වහන්සේගේ හෘදයාංගම ප්‍රශ්නාර්ථයයි.

ගංවතුර හා නාය යාම් නිසා සිය නිවෙස් අතහැර දමා යමින් සියලු සේසත අහිමි කරගත් දහස් ගණන් අප සහෝදර රටවැසියන් අනාථ කඳවුරුවල කල් ගත කරන විට, සහ පස් කඳු කඩා වැටීම නිසා සිය ඥාතීන් අහිමිවී සියලු බලාපොරොත්තු සුන්වී සිටින විට, විනෝදකාමී හා දිළිඳුන්ගේ සිත් පාරන විනෝදාස්වාදයන් සමඟ මෙම නත්තල ගත නොකරන ලෙස උන්වහන්සේ දයාවෙන් ඉල්ලා සිටියි.

කාදිනල් හිමිපාණෝ අවධාරණය කරන්නේ නත්තලේ සතුට සාමාන්‍ය දෙයක් වූවත්, එම සතුට ආධ්‍යාත්මික සතුටක් ලෙස අත් විඳීමට යොමු විය යුතු බවයි. එලෙසම අප ජනතාව පීඩාවට පත්කළ මේ ව්‍යසනයෙන් දුක් විඳින අය වෙත දයාව පෑම හා ඔවුන්ට සහයවීම ඒ සතුටට මග කරගත යුතු වේ.

එබැවින් මෙම නත්තල ආත්මාර්ථකාමී සතුටේ අවස්ථාවක් කර නොගෙන, හැකි හැම අයුරින්ම දුකට පත් අයට පිහිට වී, තම ඥාතීන් හා මිතුරන් අහිමි වූ අය සනසමින්, ව්‍යසනය නිසා පීඩාවට පත් සියල්ලන්ට උපකාරී වෙමින්, සියල්ල නැතිවූ ඔවුනට සහන සලසමින්, කිතුනු ප්‍රේමයට දිරීමත්ව සාක්ෂි දරා නත්තලේ ප්‍රිතීය, සතුට අධ්‍යාත්මිකව භුක්ති විඳින්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියි. දිළිඳුන් අතර බෙත්ලෙහෙමේ ගවහලක උපන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස ගැඹුරු අධ්‍යාත්මික ප්‍රීතියෙන් යුත් නත්තල් මංගල්‍යයක් සැමරීමට මෙම ආගමන කාලය අවස්ථාවක් කර ගන්නා ලෙස උන්වහන්සේගේ පණිවුඩයෙන් අපට ආරාධනා කරයි.

මෙවර නත්තල අප කාටත් දීමනාවේ හා දයාවේ සැබෑ අරුත අවබෝධ කර දෙන උදාර අවස්ථාවක් බව අපගේ විශ්වාසයයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?