කඳුළු හෙළා නෑඹිලියට
සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිනි දලු ගෙන
ළිප මොලවන අම්මා
මවකගේ ගුණ ගැයෙන මේ ආදරණීය ගීතයට කටහඬින් පණ දෙන අප කවුරුත් හඳුනන ප්‍රවීණ ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ය. මෙවර තරුණී අම්මාවරුනේ වේදිකාවට ගොඩ වුණේ ඇයට ජීවය දුන් මෑණියන් ගැන අදහස් දැක්වීමටයි. ඒ ආදරණීය මතක පොතේ පිටු අතර හිතට දැනුණු කතා රැසක් අප හමුවේ දීපිකා ප්‍රියදර්ශනිය ප්‍රකාශ කළේ මේ අයුරිනි.
“මගේ අම්මාගේ නම කරුණා පීරිස්. නමේ අර්ථයෙන්ම ඇය කරුණාව ඉතිරී ගිය කාන්තාවක්. කොළඹ, කළුබෝවිල ඇතුළු රෝහල් ගණනාවක හෙදියක් ලෙස ඇය කටයුතු කළා. ඇය අපට වගේම රටේ ඕනෑම දරුවෙකුට එක හා සමානව කරුණාව දැක්වූවා. එය මා අපේ අම්මාගේ දුටු සුවිශේෂීම ලක්ෂණයක්.”
මේ ඇයගේ මාතෘත්වය ගැන දීපිකා කියන කතාන්දරයයි. “මගේ අම්මගේ අක්කා නැතිවන විට ඇගේ වයස අවුරුදු 39යි. ඇයට දරුවන් පහක් හිටියා. එයින් දරුවන් හතර දෙනෙක් අපි එක්ක ආදරයෙන් හැදී වැඩුණා. අපේ අම්මා තාත්තා අපි හැමෝටම එක හා සමානව සැලකුවා. ඒ නිසාම අපේ ගෙදර නිතරම ආදරයෙන් පිරී පැවතුණා කීවොත් වැරදි නෑ.” සැමියාට ස්වාධීනව කටයුතු කරන්නට බිරිඳක ලෙස සිය මව ලබා දුන් ශක්තිය ගැන දීපිකා අප හමුවේ කීවේ මෙවන් කතාවකි. “අපේ නිවස පිහිටා තිබෙන්නේ කළුබෝවිල රෝහල ඉදිරිපිටමයි. 1983 ජූලි කලබලය සිදු වුණු අවස්ථාවේ අපේ තුන් මහල් නිෙවසේ අපූරු සිදුවීම් මාලාවක් වුණා. අපේ ගෙදර ඉහළ මහලේ අධිකරණ වෛද්‍යවරයෙක් ජීවත් වුණා. ඔහු දමිළ ජාතිකයෙක්. ඒ වගේම දෙවැනි මහලේ හිටියේ මුස්ලිම් පවුලක්. ඉතින් 83 කලබල කාලයේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලින් නිවෙස විනාශ වුණු ඉංජිනේරුවරයෙක් සහ ඔහුගේ පවුලේ අයට අපේ ගෙදර නවාතැන් දුන්නා. එවන් කාලයක කොළඹට තදාසන්න ප්‍රදේශයක නිවෙසක පිරිසක් නවත්වා ගැනීමට බොහෝ දෙනෙක් බිය වුවත් අපේ තාත්තා එසේ බිය වූයේ නෑ. ඊට අම්මා විරුද්ධ වුණෙත් නෑ. 83 කෝලාහල සමයේ ඔවුන්ව රැක ගැනීමට අම්මා වගේම තාත්තාත් බොහෝ සෙයින් කැප වුණා.”
“නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපස නිවෙසේ අපේ තාත්තාගේ යාළුවෙක් හිටියා. ඒ නිවෙසත් කෝලාහලවලින් ගිනිබත් වුණා. ඒ අවස්ථාවේදීත් දෙවරක් නොසිතා අපේ තාත්තා ඒ ගින්න නිවන්නට ගියා. ඒ කිසිම දෙයකට අම්මා විරුද්ධ වුණේ නෑ. ඉතින් අපේ තාත්තා වගේම අම්මාත් ඒ කාලයේ නිර්භීතව තමන්ටන් වඩා අනුන් ගැන සිතා කටයුතු කළ සැටි මතකයි. ඉතින් තමන්ට වඩා අනුන් ගැන සිතා කටයුතු කිරීමේ පුරුද්ද අපේ අම්මාගෙන් තාත්තාගෙන් මට ලැබුණු දායාද බව මම කිව යුතුයි.”
රටක් හඳුනන ප්‍රවීණ ගායිකාවක ලෙස පෙරට පැමිණෙන්නට මවුපියන් ලෙස ලබා දුන් ශක්තිය, අභිප්‍රේරණය ගැන දීපිකාට තිබුණේ මෙවන් හැඟිමකි.
“දර සෑ මත මිනිසුන් පණ පිටින් පලිිස්සෙමින් එකල සිදු වූ මහා ඛේදවාචක නිවෙසේ උඩු මහලේ ඉඳන් අපි දුටුවා. මං සරෝජා ගීතය ගායනා කරද්දී ඒ දර්ශන මට මැවී මැවි පෙනුණා. එවන් සමයක අපට අපේ අම්මා තාත්තා ජාතිවාදී යුද්ධය පිළිකුල් කළ යුතු බව අපට ඉගැන්වුවා. ඇත්තටම පසුගියදා මට පුරවැසි අභිමන් සම්මානය හිමි වන්නේත් සරෝජා ගීතය වෙනුවෙනුයි. ඇත්තටම ඒ ගීතය ගායනා කරන්නට අවශ්‍ය හැඟීම්, ශක්තිය මට හිමි වුණේ අපේ අම්මා, තාත්තා එදා ජාතිවාදය පිළිකුල් කරන්නට ඉගැන්වූ නිසා බව කිව යුතුයි.”
“ඒ ගැන දුවෙක් ලෙස මට දැනෙන්නේ අසීමිත සතුටක්. මාව මුලින්ම රේඩියෝ සිලෝන් එකට එක්ක ගෙන ගියේ අපේ අම්මයි. මං කලාවට සම්බන්ධ වනවාට තාත්තාගේ කැමැත්තක් තිබුණේ නෑ. හැබැයි අම්මා තාත්තාට හොරෙන් මාව කලාව පැත්තට යොමු කළා. කලා ලෝකයේ මා සමඟ අත්වැල් බැඳගෙන අරගෙන ගියේ අපේ අම්මා.”
මිනිසුන් රැකියා කරන්නේ ජීවිතය රැක ගැනීමටය. බොහෝ රැකියාවලින් ඉපැයෙන්නේ මුදල්ය. එහෙත් අතළොස්සක් රැකියාවලින් මුදල් මෙන්ම කුසල් ද ඒකරාශි වෙයි. වෛද්‍ය වෘත්තිය, හෙද වෘත්තිය, ගුරු වෘත්තිය එවන් අතළොස්සක් වෘත්තීන්ගෙන් කිහිපයකි. දීපිකා ප්‍රියදර්ශනියගේ මවද එවන් ගෞරවනීය වෘත්තිකයෙකි. හෙදියක ලෙස ඇය ලෝකයට සේවය කරමින් රෝගීන් වෙනුවෙන් කළ කැප කිරීම ගැන දීපිකා පළ කළේ මෙවන් අදහසකි.
කළුබෝවිල රෝහලේ සේවය කරන කාලයේ අපේ අම්මා නිවාඩු දවස්වල ගෙදර සිටියදි පවා රෝගියන් අපේ ගෙදරට ආවා. ඒ හැමෝටම නිවාඩු දිනය නොතකා අම්මා බෙහෙත් හේත් කළේ කිසිදු මැසිවිල්ලකින් තොරවයි. වත්මන් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ පියා පවා ඒ කාලයේ එන්නත් විද ගැනීමට අපේ අම්මා ළඟට ආ සැටි මට මතකයි. මේ නිසාම අපේ ගෙදර රෝහලක සිරිය ගත්තා කිව්වත් වැරදි නෑ. ඒ නිසා වෛද්‍යවරියක් වීම කාලයක් මගේ හීනය වුණා.
සෑම දරුවකුටම සිය මවට සලකන්නට වරම් ලැබෙන්නේ නැත. කුමන හේතුවක් නිසා හෝ තම මවුපියන් මග හැරෙන දරුවන් ඒ ගැන පසුතැවිලි වන්නේ මව්පියන්ගේ වියෝවෙන් පසුවය. දීපිකාට එවන් පසුතැවීමක් නැත්තේද ඇය දියණියක ලෙස සිය මවට සියලු යුතුකම් ඉටු කළ නිසාය. මේ ඒ ගැන ඇය අපට පැවසූ කතාවයි.
අපේ අම්මා අවුරුදු අසූ අටක් වන තුරු මා ආදරයෙන් රැක බලා ගත්තා. ලංකාවේ වගේම ලෝකයේ බොහෝ තැන්වල අපේ අම්මාව මං අරගෙන ගියා. ඇයට පින්කම් කරන්නට අවස්ථාව පවා මං නොමසුරුව ලබා දුන්නා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම මං වගේම මගේ අම්මාත් හරිම වාසනාවන්තයි කියා මං විශ්වාස කරනවා. දෙදහස් විසිදෙකේ අපේ අම්මා අපෙන් සමු ගත්තා. ඒ ගැන මට ලොකු කනගාටුවක් ඇති නොවුණෙත් අම්මා ජීවත්ව සිටි කාලයේ අම්මා වෙනුවෙන් මං හැම යුතුකමක්ම ඉටු කළ නිසා විය යුතුයි.
දරුවන් සිය මවුපියන් යමක් ඉගෙන ගන්නේ නිරායාසයෙන්මය. මවුපියන්ගේ හැසිරීම් දෙස නිරන්තරයෙන් බලා සිටින දරුවෝ සිය මවුපියන්ගේ හැසිරීම් අනුකරණය කරන්නට පුරුදු වෙති. මේ දීපිකා ප්‍රියදර්ශනිය සිය මව්පියන්ගේ උගත් වටිනා දායාදයන්ය.
ඇය බොහෝම ඉවසිලිවන්ත චරිතයක්. පුතේ කෙනෙක් මොන දේ කළත් ඒ මනුස්සයා නිවේවා යන ප්‍රාර්ථනාවෙන් ඔහු දෙස බලන්න. යැයි අපේ අම්මා මට අවවාද කරනවා. කවුරුන් හෝ යමක් කීවොත් ඒක ඒගොල්ලන්ගේ විදිහ. මේක අපේ විදිහ යනුවෙන් මට සැනසෙන්න අපේ අම්මා ඉගැන්වූ සැටි කවදාවත් අමතක වෙන්නේ නෑ. අම්මා කවදාවත් එකට එක කියන්නේ නෑ. ඇය කිසිවෙක්ව රිදවූ දිනයක් මට මතක නෑ. ඇය අපේ තාත්තාට බොහොම ගරු කළා.
ඒ වගේම මං කළුබෝවිල රෝහලේ ඉපදුණු දවසට පහුවෙනිදා මගේ අක්කා මෙලොව හැර ගියේ කිසිවකු නොසිතූ අයුරින් හදිසියේමයි. එහිදී අපේ අම්මාගේ හිත හදන්නට නිතර කටයුතු කළ අපේ චූටි නැන්දාවත් මට අමතක කරන්නට බෑ. ඒ වගේම ඒ වේදනාවන් මැද නැළවිලි ගී ගියමින් මාව මුල් කාලයේ හදා වඩා ගත්තේ චූටි නැන්දායි. ඇයට තිබෙන්නේ ලස්සන කටහඬක්. අම්මා රස්සාවට ගිහින් එන විට ඇය මගේ කන් දෙකේ ප්ලාස්ටර් ගහන්නේ මගේ කන් දෙක ඇද වේ යැයි බියට යැයි ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මගේ පින්තුර පවා කාටවත් ගන්න දීලාත් නෑ. ඉතින් ඇය අප අතරින් මීට සතියකට පෙර සමුගත් බව ද මෙහිදී කිව යුතුයි. ඇය මට දෙවැනි මවක් වූ නිසා මම මෙහිදී ඇයව ද ගෞරවයෙන් සිහිපත් කරනවා.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
