වසරක් පාසා දෙසැම්බර් මාසය උදාවන විට ලොව පුරා කුඩා දරුවන්ගේ මුවඟින් නිතැතින්ම පිටවන නමකි “සැන්ටා ක්ලවුස්”. සුදු රැවුලක්, රතු කබායක් සහ තෑගි පිරුණු මල්ලක් සහිත සිනාමුසු මේ මහල්ලා නත්තලේ ප්‍රීතිය හා පුදුමය ලොව පුරා රැගෙන යන සදාකාලික සංකේතය බවට පත්ව සිටියි. එහෙත් අප දන්නා හඳුනන මේ “නත්තල් සීයා” චරිතය හුදෙක් වාණිජමය වශයෙන් ගොඩනැඟූ මනඃකල්පිත චරිතයක් පමණක් ද? නැත්නම් එහි සැබෑ ඉතිහාසය ඈත අතීතයට දිවයන්නේද?
අපගේ නූතන සැන්ටා ක්ලවුස් චරිතයේ සැබෑ මුල් පුරුෂයා වන්නේ අදින් වසර 1700කට පමණ පෙර ජීවත්වූ මිරාහි ශුද්ධවූ නිකලස් (Saint Nicholas of Myra) පියතුමාය. වර්තමාන තුර්කියට අයත් මිරා ප්‍රදේශයේ විසූ මොහු ක්‍රිස්තු වර්ෂ 270 පමණ වන විට ධනවත් මවුපියන්ට දාව උපත ලැබීය. මුල් වයසේදීම සිය මවුපියන් අහිමි වූ නිකලස් පියතුමාට විශාල ධන සම්භාරයක් උරුම විය. නමුත් නිකලස් පියතුමා ධනයට වඩා දයාවට හා මනුෂ්‍යත්වයට ආදරය කළේය. ඔහු රහසිගතව දුප්පත් ජනතාවට සහ අසරණ දරුවන්ට උපකාර කිරීම පුරුද්දක් කරගත්තේය. ඔහු හා බැඳුණු වඩාත් ජනප්‍රිය කතාවක් වන්නේ දරිද්‍රතාව නිසා සිය දියණියන් තිදෙනා විවාහ කර දීමට නොහැකිව අසරණව සිටි පවුලකට පියතුමා රහසිගතව රන් කාසි තුනක් ජනේලයෙන් ඇතුළට දමා යාමයි. සමහර කතා අනුව මෙම රන් කාසි වැටුණේ වියළීමට දමා තිබූ මේස් ඇතුළටය.
තෑගි දීමේ මෙම රහසිගත ක්‍රියාව සහ මේස් තුළ තෑගි දැමීමේ සම්ප්‍රදාය නත්තල හා බැඳීමට එය මුල් විය.
නිකලස් පියතුමාගේ මරණයෙන් පසු දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ මංගල්‍ය දිනය ලෙස නම් කරනු ලැබූ අතර යුරෝපය පුරා මෙම දිනයේදී දරුවන්ට තෑගි දීම සහ පුණ්‍ය කටයුතු කිරීමේ සම්ප්‍රදාය ව්‍යාප්ත විය. මේ අනුව නත්තල් සීයාගේ දයානුකම්පිත බව සහ තෑගි දීමේ සංකල්පය ගොඩනැඟෙන්නේ සෙන්ට් නිකලස් පියතුමාගේ සැබෑ ජීවිත කතාව මූලික කරගෙනය.
සෙන්ට් නිකලස්ගේ කතාව යුරෝපයේ ව්‍යාප්ත වුවද අප අද දකින රූපකාය සහ නම බිහිවීමට නම් සියවස් ගණනාවක් සහ සංස්කෘතික පරිවර්තන රැසක් අවශ්‍ය විය. 17 වැනි සියවසේදී පමණ නෙදර්ලන්ත ජාතිකයෝ සිය යටත්විජිත හරහා සෙන්ට් නිකලස්ගේ කතාව අමෙරිකාවට රැගෙන ආහ. නෙදර්ලන්ත භාෂාවෙන් සෙන්ට් නිකලස් හැඳින්වූයේ ‘Sinterklaas’ යනුවෙනි. ඉංග්‍රීසි කතා කරන ජනතාව අතර මෙය භාවිතයට ගැනීමේදී උච්චාරණය ක්‍රමයෙන් වෙනස් වී ‘Santa Claus’ බවට පත් විය.
නූතන සැන්ටාගේ පෙනුම නිර්මාණය කිරීමේදී ප්‍රධාන සාහිත්‍යමය බලපෑමක් එල්ල වූයේ 1823 වසරේ පළවූ “A Visit from St. Nicholas” (Twas the Night Before Christmas) නමැති කවිය මඟිනි. ක්ලෙමන්ට් ක්ලාක් මුවර් (Clement Clark Moore) විසින් රචනා කරන ලදැයි සැලකෙන මෙම කවියේදී සැන්ටා ක්ලවුස් කුඩා, තරබාරු, ප්‍රීතිමත් එල්ෆ්වරයෙකු ලෙස විස්තර කරන ලදි. මෙහිදී ඔහුට පිනි මුවස් අට දෙනෙකු විසින් අදිනු ලබන හිම මත ලිස්සා යන කරත්තයක් (Sleigh), දුම් කවුළුවකින් ඇතුළු වී තෑගි තැබීම සහ ඔහු සිනාසෙන ආකාරය විස්තර කරන ලදි. මෙම සාහිත්‍යමය නිර්මාණය අප අද දන්නා නත්තල් සීයාගේ අත්‍යවශ්‍ය අංග බොහෝමයක් මුල්වරට ගෙන ආවේය.
ඊළඟට සැන්ටා ක්ලවුස් අප අද දකින විශාල, ප්‍රීතිමත් සහ රතු කබාය සහිත මහල්ලා බවට පත්කිරීමේ විශාලතම ගෞරවය හිමිවන්නේ 1931 සිට කොකා-කෝලා (Coca-Cola) සමාගමේ වෙළෙඳ දැන්වීම් සඳහා චිත්‍ර අඳින ලද හැඩන් සන්ඩ්බ්ලොම් (Haddon Sundblom) නමැති චිත්‍ර ශිල්පියාටයි. මෙයට පෙර සැන්ටාගේ රූපය බොහෝ විට කොළ, දුඹුරු හෝ නිල් වර්ණවලින් පවා දැකගත හැකි විය. එහෙත්, සන්ඩ්බ්ලොම් විසින් කොකා-කෝලා සන්නාමයේ වර්ණයට සමපාත වන පරිදි දීප්තිමත් රතු සහ සුදු පැහැති ඇඳුමකින් සැරසුණු සතුටු සිතින් යුත් මානුෂීය පෙනුමක් සහිත සැන්ටා ක්ලවුස් චරිතය ඇඳ නිම කළේය. මෙම රූපය ඉතා ඉක්මනින් ලෝකයේ සම්මත සැන්ටා ක්ලවුස් රූපය බවට පත් වූ අතර එය අද දක්වාම අප අතර පවතී.
මේ අනුව සැන්ටා ක්ලවුස්ගේ කතාව යනු සියවස් ගණනාවක් පුරා සංස්කෘතීන් කිහිපයක් හරහා පරිණාමය වූ අපූරු සංකලනයකි. එහි මූලය වන්නේ ක්‍රිස්තු භක්තික දයානුකම්පිත නිකලස් පියතුමාය. එහි ශරීරය වන්නේ සාහිත්‍යයයි. එහි ඇඳුම හා වර්ණය වන්නේ නවීන වෙළෙඳාමයි. එහෙත් අවසානයේදී මේ සියල්ලෙන් ගොඩනැඟී ඇත්තේ තෑගි දීමේ ප්‍රීතිය, දරුවන්ගේ අහිංසක විශ්වාසය සහ අප සියලු දෙනා අතර ඇති කරුණාවන්තකම හා ත්‍යාගශීලි බව නැවත සිහිපත් කරන අලංකාර සංකේතයකි. නත්තල් සමයේදී රතු ඇඳුම ඇඳ “හෝ-හෝ-හෝ!” හඬින් අපව සතුටු කරන සැන්ටා ක්ලවුස් අදටත් අපට කියා පාන්නේ දයාවන්තකම කිසිදාක මැකී නොයන බවයි.
TEXT – නයනි මධුශානි
