Monday, December 22, 2025
Epaper
Home විශේෂාංගසිහින පසුපස හඹා ගිය සුන්දර ජීවිතයක් මටත් හිමියි

සිහින පසුපස හඹා ගිය සුන්දර ජීවිතයක් මටත් හිමියි

ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි ගීතාමනී කරුණාරත්න

by Shanaka Lakehouse

ඇය තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරවයි යන්න සැබෑ කරලූ තැනැත්තියකි. ස්ත්‍රීත්වයේ සියලුම භූමිකාවන්ට නොඅඩුවම පණ පොවන ඈ වත්මනේ ආයුර්වේද සංස්ථාවේ සභාපතිනියයි. නමින් ගීතාමනී කරුණාරත්න වන ඇය තරුණි සමඟ ළබැඳි පාඨකයින් අතරට පැමිණෙ⁣න්නේ දිවියට අරුතක් දෙමින් ඈ ආ ගමන්මඟ පිළිබඳ පවසන්නටයි. ඒ ගමන්මඟ තවත් කතකගේ දිවියට අරුත් වැලක්ම සපයනු ඇත.

අපි ඔබේ පුංචි සන්ධිය වෙත පියනඟමු. ඉතිං කියන්නකෝ ඒ ගැන

අපේ තාත්තා සමුපකාර දෙපාර්තමේන්තුවේ සමුපකාර සමිති පරීක්ෂකවරයෙක්. රාජ්‍ය සේවයේ සිටියදී අවුරුදු පහෙන් පහට මාරුවීම් සහ උසස්වීම් ලැබෙද්දි ස්ථාන මාරුවීම් ලැබෙනවානේ. ඉතිං අපේ පදිංචිය ඒ අනුව වෙනස් වෙනවා.

මම ඉපදිලා තියෙන්නෙ කොළඹ. ගම ගාල්ල. පළවෙනියටම පාසල් යන්නේ කෑගල්ල ශාන්ත ජෝශප් කන්‍යාරාමයට. ඉන්පසු අනුරාධපුර ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයට යනවා. එහි අවුරුදු 8කට පස්සේ තාත්තා නැවත උසස්වීමක් සමඟ කොළඹට එනවා. එහිදී නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවට යනවා. ඉන් පස්සේ තාත්තා විශ්‍රාම ගන්නවා. ඊට පස්සේ උසස් පෙළ හදාරන්න මම ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකාවට ගිහින් අධ්‍යාපන කටයුතු අවසන් කරනවා.

සාමාන්‍ය පෙළ වෙනකම්ම මම කළේ බාහිර වැඩ. නොකරපු දෙයක් නෑ ඒ කාලේ. සාමාන්‍ය පෙළ මගේ ප්‍රතිඵල දැක්කම අම්මයි තාත්තයි පුදුමත් වෙනවා.

අපි හැමෝගෙම ජීවිතවල හැරවුම් ලක්ෂතියෙනවා. මගේ ජීවිතයේ පළමුවෙනි හැරවුම් ලක්ෂ්‍යය ලෙස මම සලකන්නේ, සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න යෑම.

ඉගෙනීම කියන දේ අපට කොහොමත් කරගෙන යන්න පුළුවන්. එහෙත් පාසලේ බාහිර වැඩවලට සම්බන්ධ වෙලා ලබන පන්නරය මුළු ජීවිතයටම ගෙන එන්නේ පුදුමාකාර ආලෝකයක්.

මගේ පවුලේ අක්කලා දෙන්නයි අයියයි. මම පවුලේ මැද. නංගියි, මල්ලියි. මේ අයගෙන් අධ්‍යාපන කටයුතු පුළුවන් තරම් මඟහරිමින් වැඩියෙන්ම බාහිර වැඩ කළේ මම. ක්‍රීඩාවෙන් විශේෂයෙන්ම බාස්කට් බෝල්වලින් සමස්ත ලංකා ශූරියක් වුණා.

සවුත්ලන්ඩ් බාලිකාවට ආවම මම පෙරට වඩා අධ්‍යාපන කටයුතුවලට උනන්දු වුණා. වාණිජ විෂය ධාරාවෙන් රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අවස්ථාව ලැබුණා.

ඒ විශ්වවිද්‍යාලයේ 6 වැනි කණ්ඩායම වෙන්නේ අපි. එහිදි මම නැවතත් ක්‍රීඩාව, නාට්‍ය ඇතුළුව සුපුරුදු බාහිර වැඩ ටික කරන්න ගන්නවා. විශ්වවිද්‍යාලය ඇතුළේ හොඳම ක්‍රීඩිකාව වුණා, හොඳම නිළිය වුණා.

එහි අවසන් කාලය 86/87 භීෂණ සමය. අඛණ්ඩව විශ්වවිද්‍යාලය පැවතුණේ නැහැ. අවසන් වසරේ වසර 3ක් පමණ ඉන්න වුණා. ඔය කාලෙදි මම වරලත් ගණකාධිකාරි පාඨමාලාව හදාරන්න පටන් ගන්නවා. ඒ සමඟින්ම මට ගණකාධිකාරි රැකියාවක් ලැබෙනවා. ඔය අතරේ තාත්තාගේ ආභාෂයත් එක්කම මම පරිපාලන විභාගයට පෙනී ඉන්නවා. විභාගයට පෙනී සිටි 16,000ක් අතුරින් 25 දෙනයි තේරෙන්නේ. මාත් ඒ අතරට ඇතුළත් වෙනවා.

ඔබ තාත්තගේ අඩි පාරේ ගිය දියණියක් නේද?

ඕනම කෙනෙක්ගේ ජීවිතේ Role model එකක් ඉන්නවා. මගේ ජීවිතේ ඒ භූමිකාවට පණ පෙව්වේ මගේ තාත්තා. අදටත් එහෙමයි. රාජ්‍ය සේවයේ යෙදී සිටීම නිසා අපිට ඒ අත්දැකීම හරිම හුරුයි. අපි පොඩි කාලේ ඉන්නේ රජයේ නිල නිවාසවල. ඒ හුරුව තමයි මටත් එන්න ඇත්තේ. රජයේ රැකියාවක නිරත වෙන්න පුදුමාකාර කැමැත්තක් තිබුණේ. තාත්තා මාව ඒ සඳහා හුරු කළාද කියලත් හිතෙනවා.

රාජ්‍ය සේවයේ පළමු පත්වීම ලැබෙන්නේ කොතැනටද?

ගිනිගත්හේන අඹගමුව කෝරළයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසටයි මම මුලින්ම වැඩ භාරගන්නේ. මාස හයක කාලයක් එහි සේවය කොට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් අවුරුදු දෙකක් වැඩ කරනවා. ඊටත් පස්සේ මම පත්වීම භාරගන්නේ සමුපකාර සේවා දෙපාර්තමේන්තුවට. ඒ තාත්තා වැඩ කරපු තැන, තාත්තා ඉඳගත්ත පුටුවටමයි. එතැන වසර තුනක් සේවය කරලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බස්නාහිර පළාතේ සහකාර ලේකම් ලෙස පත්වීම ලබා ගන්නවා. වසර හතක් එහි සේවය කරනවා. ඒ වෙද්දි බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් ලෙස ඉන්නේ වෛද්‍යවරයෙක්. පරිපාලන සේවය කෙනෙක් ඒ සඳහා පත්කළ යුතුයි කියන තීරණයේ සිට මාව ඒ සඳහා පත්වෙනවා. බස්නාහිර පළාත සඳහා ලොකු සේවයක් කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඉන් පස්සේ මම යන්නේ සමාජ සේවා අමාත්‍යාංශයේ වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ විදිහට. එහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශාල සේවයක් කරන්න ලැබීම මහඟු අවස්ථාවක් වුණා. වැඩිහිටි කමිටු 10,000 සීමාව ඉක්මවා යන්නට මට පුළුවන්කම ලැබුණා. මගේ ජීවිතයේ තෘප්තිමත්ම සේවා කාලය වන්නේත් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගත කළ වසර කිහිපය.

ඉන් පස්සේ මම පත්වෙන්නේ අලුතින්ම පිහිටවූ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට. ඊටත් පස්සේ පත්වීම ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම් ලෙස තිඹිරිගස්යායේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. දූෂිතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙසයි එය මට ලැබෙන්නේ. ඒ කාලේ මිනිස්සුන්ට වැඩක් කරගෙන පැය තුනකටවත් එළියට බහින්න බැහැ. දවසේ උපත් වැඩි හරියක්ම සිදුවෙන්නේ මේ කොට්ඨාසයේ. රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ අවට. ග්‍රාම නිලධාරීන්ලගේ පටන් හදන්න ඕන හැම තැනම මම හදනවා. තමන් ආ රාජකාරිය කරගෙන විනාඩි පහක්, දහයක් ඇතුළත යන්න පුළුවන් තැනට මම ගේනවා. 2011 දී එහි පත්වීම ලබන මම 2015 වසර වෙද්දී තිඹිරිගස්යායේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ඵලදායිතා සම්මානය පවා ලබා ගන්නවා.

ඉන්පස්සේ මම අතිරේක ලේකම් ලෙස පත් වන්නට සුදුසුකම් ලබලයි තිබ්බේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වෙනවා. 2018 දී බන්ධනාගාර, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වෙනවා. නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වෙලා විශ්‍රාම යන්න ආසන්න වෙනවා. විශ්‍රාම යද්දී ආයුර්වේද සංස්ථාවේ සභාපතිනිය බවට පත්වෙනවා.

ආයුර්වේද සංස්ථාව සඳහා ඔබට කළ හැකි වන්නේ කොයි වගේ සේවාවක්ද?

කොවිඩ් වකවානුවේ සෑහෙන්න අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. බොහොමයක් ආයුර්වේද රෝහල් වැහෙනවා. නිෂ්පාදන ලැබෙන ප්‍රමාණයන් අඩු වෙනවා. ඉන් පස්සේ එන ආර්ථික අවපාතයත් මේ සඳහා බලපානවා. අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ යම් යම් තීරණ අරගෙන ආයුර්වේද සංස්ථාවත් යම් තැනකට ගේන්න පුළුවන් වෙනවා. ඉන්දියාවෙන් වියළි ඖෂධ ආනයනය කරනවා. 2023 වසර වෙද්දි ආයුර්වේද සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කරගන්නට හැකි වෙනවා.

රාජ්‍ය සේවයේ තනතුරෙන් බැබළෙනවා වෙනුවට එම පුටුව බබළවන්නයි මට ඕ‍ෙන වුණේ. ඒ තැනට යම් සාධාරණයක් කරන්නයි මම හැමවිටම උත්සාහ කළේ. මේ වගේ ආයතනයක් හොඳ වෙළෙඳපොළක් හොඳ ඉල්ලුමක් ඇති තැනක්. හොඳ සැපයුම් ජාලයක් තිබෙනවා. විවිධ උපක්‍රම භාවිත කොට ආයතනය ඉහළට නැංවීමයි අපිට ඇති රාජකාරිය.

අපිට සිහිනයක් තිබිය යුතුමයි. ඉන්පසුව කළ යුත්තේ ඒ සිහිනය සැබෑවක් කරලීම සඳහා ඒ පසුපස නොපසුබටව හඹා යෑම. කාන්තාවක් වීම නිසාම ඇතැම් තැන්වලදී පෙරට අඩියක් තියන්න බැරි තැන් හමුවෙනවා. ඒ කිසිම දේකින් සැලෙන්න හොඳ නෑ. ගැහැනු දරුවෙක්, කාන්තාවක් ඉගෙනීම අතින් පමණක් නොව බාහිර වැඩ කටයුතු, ක්‍රීඩා කටයුතු ආදී සියල්ලකින්ම සන්නද්ධ විය යුතුයි. සියයට පනහක් රැකියාවටත්, ඉතිරි සියයට පනහ තමන්ගේ පෞද්ගලික ජීවිතයටත් ලබා දියයුතුමයි. එය තුලනය වූයේ නැත්නම් ඇත්තටම ජීවිතය අසාර්ථකයි.

ඔබද මේ තනතුර සඳහා පත්වූ පළමු කාන්තාව?

නැහැ, මීට පෙර නීතිඥවරියක් මේ තනතුර සඳහා පත්වෙනවා.

ඔබේ පෞද්ගලික විස්තර ටිකකුත් කියමු?

මගේ සැමියා ඉංජිනේරුවරයෙක්. දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඒ දෙන්නා නිවුන්නු.

කාන්තාවක් ලෙස ඔබ ආ ගමන් මඟේ බෙහෙවින්ම අභියෝග කටු කොහොල් තියෙන්න ඇති.

නිසැකවම. කාන්තාවක් ලෙස මම මේ ගමන ගැන තෘප්තිමත්. පුංචි කාලෙ ඉඳන්ම මම මට ලැබුණු අත්දැකීම් ඵලදායි ලෙසයි යෙදෙව්වේ. හැම විටම තිබුණේ කණ්ඩායම් හැඟීමක්.

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

PIX BY – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?