Monday, February 16, 2026
Epaper
Home විශේෂාංගකාන්තා ඔබේ ශරීරයට නත්තල් තෑග්ගක්…

කාන්තා ඔබේ ශරීරයට නත්තල් තෑග්ගක්…

by Shanaka Lakehouse

නත්තල් කාලය ඉතා ප්‍රීතිමත් හා රසවත් කෑමවලින් පිරුණු උත්සව සමයකි. කේක්, බිස්කට්, පුඩිං වැනි අධික සීනි, පිරිපහදු කළ පිටි සහ මේදය සහිත ආහාර වැඩි වශයෙන් මේ කාලයේදී අපේ ආහාර වේලට එකතු වේ. මෙම ආහාර රසවත් වුවත්, කාන්තාවක් ලෙස ඔබේ සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් අවම කරගැනීමට උත්සාහ කිරීම වැදගත්ය.

මෙම අධික කැලරි සහිත ආහාර නිතර ගැනීමෙන් හෝ අධික ලෙස ගැනීමෙන් ගැටලු රාශියක් ඇතිවිය හැකිය. අනවශ්‍ය කැලරි ප්‍රමාණය ශරීරයේ මේදය ලෙස තැන්පත් වීම නිසා ඉක්මනින් බර වැඩි වේ. එමෙන්ම සීනි සහ පිටි සහිත ආහාර නිසා රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් ඉහළ ගොස් නැවත පහළ යයි. මෙය දිගුකාලීනව දියවැඩියාව වැනි රෝගවලට හේතු විය හැකිය. අධික ලෙස කෑම ගැනීම නිසා ඉන්පසු වෙහෙසකර බවක් හා අලස බවක් දැනේ. මේදය අධික ආහාර නිසා කොලෙස්ටරෝල් වැඩි වී හෘද රෝග ඇතිවීමේ අවදානම ද වැඩි විය හැකිය.

මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට සම්පූර්ණයෙන්ම කෑමවලින් වැළකීම වෙනුවට බුද්ධිමත්ව කටයුතු කිරීම සෞඛ්‍යයට වන හානිය අවම කරගත හැකි තත්ත්වයකි. ඔබට අවශ්‍යම රසකැවිලි වර්ගයක් තෝරාගෙන සුළු ප්‍රමාණයක් පමණක් රස බලන්න. සෞඛ්‍යසම්පන්න ආහාර මුලින් ගන්න. ආහාර වේලට පෙර එළවළු, පලතුරු හෝ ප්‍රෝටීන් සහිත ආහාර ගැනීමෙන් කුස පිරී ඇති බවක් දැනී අධික ලෙස කෑමට ඇති ආශාව අඩු වේ. සීනි අධික බීම වර්ග වෙනුවට වැඩිපුර පිරිසිදු ජලය පානය කරන්න.

හැකි නම්, කේක් වැනි දේ සකස් කිරීමේදී අඩු සීනි, සම්පූර්ණ පිටි (wholemeal flour) හෝ සෞඛ්‍යසම්පන්න මේද (තෙල් වර්ග) යොදා ගන්න.

නත්තල් කාලයේදී අධික ආහාර ගැනීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵලවලින් මිදීමට කාන්තාවන්ට ව්‍යායාම අත්‍යවශ්‍ය වේ. ව්‍යායාම මඟින් ආහාරවලින් ලැබුණු අමතර කැලරි දහනය කර, බර පාලනය කරගත හැකිය. ක්‍රියාශීලී වීමෙන් මානසික ආතතිය අඩු වී, සතුට වැඩි කරන හෝමෝන නිපදවේ. ව්‍යායාම නිසා ශරීරයේ රුධිර සංසරණය හා ආහාර ජීර්ණය යහපත් වී නිරෝගී බව රැකේ.

කාන්තා ඔබට උක්ත අයහපත් ප්‍රතිඵල මඟ හරවා ගැනීමට කළහැකි දේ බොහෝය.උදෑසන හෝ ආහාර ගැනීමෙන් පසු මිනිත්තු 30ක වේගවත් ඇවිදීමක් පුරුදු කරන්න.නි‍ෙවසේදී කළ හැකි යෝගා හෝ දිගු කිරීම් වැනි සරල ව්‍යායාම දිනකට කිහිප වරක් කරන්න. පවුලේ අය සමඟ විනෝදජනක ක්‍රියාකාරකම්වල (උදා: එළිමහන් ක්‍රීඩා, නැටීම) යෙදෙන්න. මෙම නත්තල් සමයේදී සතුටින් සිටීමටත්, නීරෝගිව සිටීමටත් ඔබ බුද්ධිමත් ආහාර තේරීම් සහ ක්‍රියාශීලී ජීවන රටාවක් අනුගමනය කරන්න.එමෙන්ම ඒවා ඔබගේ ආදරණීය දියණියට, පුතණුවන්ට කියාදීමත් සැමියාටත් පවුලේ අනෙකුත් සාමාජිකයින්ටත් පුරුදු පුහුණු කිරීම කාන්තා ඔබ සතු පරම වගකීමකි. එය නත්තල් සමයේ ඔබ විසින් කරන මහඟු සත්ක්‍රියාවකි.

TEXT – සහන් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?