පශ්චාත් ව්‍යසනයකදී ස්ත්‍රීන් මුහුණපාන කෙටිකාලීන ගැටලු සහ දිගුකාලීන ගැටලු පිළිබඳ අප සවිඥානික ද? එයින් කිහිපයක් කතා කරන්නට මම අද සිතමි.
නිවාස අහිමි වූ දහස් ගණනක් ස්ත්‍රීහු හා දරුවෝ තවමත් තාවකාලික කඳවුරුවල දිවි ගෙවති. ඔවුන්ගේ සනීපාරක්ෂාව ගැන අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. බොහෝ දෙනෙක් ඇඳ සිටි ඇඳුම පිටින් නිෙවසින් පිට වූ අය නිසා ඔවුන්ට මූලික අවශ්‍යතාවලට අමතරව යට ඇඳුම්, සනීපාරක්ෂක තුවා ආදිය අවශ්‍ය වේ.
මෙම කඳවුරුවල තවමත් අධික ජනගහනයක් ජීවත්වන පෞද්ගලිකත්වයක් නැති මූලික පහසුකම් පවා නැති ස්ථාන වේ.
ඇඳුමක් මාරු කර ගැනීම, ආවරණය වූ තැනක නාන්නට, ඇඟ සෝදන්නට පහසුකම් නැති, තමාගේ පෞද්ගලිකත්වය රැක ගැනීම පවා අසීරු මොහොතක ස්ත්‍රීන්ගේත්, දරුවන්ගේත් රැකවරණය සලසන්නේ කෙසේද? එම නිසා ලිංගික බලහත්කාරයට, ලිංගික හිංසනයට ඇති ඉඩ වැඩිය. එය ගැහැනු දරුවන් විෂයයෙහි ඉතා තදින් බලපායි. රෝහලක් කරා ළඟා වීමට අසීරු මොහොතක, එසේම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන මොහොතක ගර්භිණී මවුවරු මෙන්ම කුඩා දරුවන් සිටින මවුවරු ඉතා අසීරුතාවලට මුහුණදෙති. ඒවාට අප පහසුකම් සපයන්නේ කෙසේද? ජංගම වෛද්‍ය පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු විය යුතුය.
විශේෂයෙන් පශ්චාත් ව්‍යසන අවස්ථාවක පැතිරී යන බෝවන රෝගවලින් ආරක්ෂා වීමට පහසුකම් සැලසිය යුතුය. ඉන්පසුව ව්‍යසනයට මුහුණ දුන් කාන්තාවන් අතර අවිධිමත් ක්‍රම යටතේ ආදායම් ඉපයූ, දවසේ වැටුපට වැඩ කළ අයට ආදායම් මාර්ග අහිමි වී තිබිය හැකියි. එවැනි අය වෙනුවෙන් වන්දි ගෙවීමක් මෙන්ම නැවත සිය ආදායම් මාර්ග සකස් කර ගැනීම විෂයයෙහි අවධානය යොමු කළ යුතුය.
ඒ අතරතුරම රැකවරණ සැලසීමේ කාර්යයේදී වැඩි ප්‍රමාණයක් වැඩ කිරීමට ස්ත්‍රීන්ට සිදු වේ. වයසක මවුපියන් බලා ගැනීම, දරුවන් බලාගැනීම වැනි වැඩ අතරට ව්‍යසනයෙන් තුවාල වූවන් බලා ගැනීම, රැකවරණ සැලසීමට සිදු වීම අමතර මානසික පීඩනයක් ගෙන දෙයි. වැඩ වැඩිවීම නිසා ස්ත්‍රිය මානසික අවපීඩන තත්ත්වවලට ගොදුරු වීමට ඇති ඉඩ වැඩිය.
අධ්‍යාපන සහ අත්‍යවශ්‍ය සහතික අහිමි වී තිබිය හැකි නිසා ඒවා දීර්ඝකාලීනව ඔවුන්ගේ ජීවිත කෙරෙහි බලපානු ඇත. ඒවා ඉක්මනින් ලබා දීමේ සේවා ක්‍රියාත්මක විය යුතුය. එසේම පාසල් හැර යන ගැහැනු දරුවන් ප්‍රමාණය මෙම ව්‍යසන සමඟ වැඩි විය හැකියි. ඔවුන් ළමා විවාහවලට යොමු කරවීම, ළමා මෙහෙකාර සේවයේ යෙදවීම් වැනි අනීතික දේ දීර්ඝකාලීනව සිදු වීමට හැකියාව ඇත.
පශ්චාත් ආපදා කළමනාකරණයේ දී තීරණ ගන්නා ස්ථානවලින් ස්ත්‍රීන් ඉවත් කිරීම, ඔවුන්ගේ හඬට ඉඩක් ලබා නොදීම බහුලව සිදුවන දෙයකි. ඒ අවස්ථාවල පිරිමි හිතන්නේ ගැහැනුන් වෙනුවෙන් තීරණ ගත හැකි පිරිමින් පත් කර ගැනීම ප්‍රමාණවත් බවයි.
මෙම පීඩාවලදී තවදුරටත් පීඩාවට පත් විය හැකි කණ්ඩායම්වල මහලු ස්ත්‍රීන්, ගර්භිණී ස්ත්‍රීන්, ආබාධිත ස්ත්‍රීන්, තනි මවුවරු, වැන්දඹුවන් මෙන්ම ආන්තික ජන කොටස් වතු ආශ්‍රිත ස්ත්‍රීන් සිටිය හැකිය. ඒවා ගැන අවධානය යොමු විය යුතුය.
