අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ අධික වර්ෂාපතනයත් විශාල ජල ගැලීම් හා නාය යාම් නිසා, බෝවන රෝග අවදානම මේ දිනවල ඉහළ ගොස් ඇත. පරිසරය තුළ තෙතමනය රැඳීම, අපද්‍රව්‍ය හා දූෂිත ජලය එකතුවීම මීට බලපායි. මී උණ, වයිරස හා බැක්ටීරියා ආසාදන, පාචනය, ශ්වසන රෝග, චර්ම රෝග, ටයිෆොයිඩ් උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, මැලේරියා, ඩෙංගු ආදී බෝවන රෝග පැතිරීමේ වර්ධනයක් ඉදිරි කාලය තුළ අපේක්ෂා කළ හැකියි.
එම නිසා මෙම තත්ත්ව යටතේ ජාතික සුරක්ෂිතතාව තහවුරු කිරීමට අමතරව පුද්ගල සෞඛ්‍යය යහ පැවැත්ම උදෙසා, ආසාදන ඇති කරන බැක්ටීරියා වයිරස මෙන්ම අනෙකුත් රෝග කාරක ආගන්තුක ද්‍රව්‍ය සමඟ සටන් කිරීමට උපකාරී වන ශක්තිමත් ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීම වැදගත් වේ. මේ සඳහා පිරිසුදු උචිත ආහාර ඖෂධ, පිරිසිදු පානීය ජලය, පිරිසුදු වටපිටාවක් මෙන්ම නිවැරදි චර්යා රටා අනුගමනය කළ යුතුය.
ජලය
සුරක්ෂිත ජල සැපයුමක් පවත්වා ගැනීමේදී ජලය උණුකර නිවා ගැනීම, බෝතල් කළ පානීය ජලය භාවිතය, පෙරීම (filtration) වැනි ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කළ හැකියි.
ආහාර
ප්‍රතිශක්ති කරණ පද්ධතියට යහපත් බලපෑමක් ඇති කරන ආහාර පිළිබඳව සලකා බලන විට ප්‍රධානවම සිට්‍රස් කුලයේ පලතුරු විශේෂ ස්ථානයක් ගනී. ඒවායේ විටමින් c බහුල නිසා ආසාදනවලට එදිරිව සටන් කිරීමත්, ඊට ඉවහල් වන සුදු රුධිරාණු නිෂ්පාදනය ඉහළ නැංවීමත් සිදු කරයි. දෙහි, දොඩම්, නාරං වැනි පැඟිරි රසයකින් යුක්ත පලතුරු මෙම කාණ්ඩයට අයත් වේ. මීට අයත් අම්ලා හෙවත් නෙල්ලි ආයුර්වේදයේ සඳහන් විටමින්වලින් අනූන ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් හා විෂහරණ හැකියාවෙන් යුතු වටිනා ඖෂධයකි.
කැඳවර්ග
ලෙඩ රෝගවලින් තොරව, ස්වාභාවික ශරීර ආරක්ෂක යන්ත්‍රණය ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමට නම් වඩා හොඳ ආහාර ජීර්ණ ක්‍රියා, පරිවෘත්තීය ක්‍රියා, අක්මාවේ යහ පැවැත්ම, හා සමබර හෝමෝන මට්ටමක් ආදිය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. කළුහීනටි හාල්, පච්චපෙරුමාල් වැනි දේශීය සහල් කැඳ හා, යකිනාරං කොළ, කරපිංචා, හීන් බෝවිටියා කොළ කැඳ ආදිය වරින් වර ගැනීම ආහාර දිරවීම පහසු කර ශරීර දුබලතාව මඟහරවා ශරීර ශක්තිය වඩවයි. මේ වන විට වෙළෙඳපොළ තුළද මෙම කැඳ වර්ග මිලදී ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම තැම්බුම් හොද්ද යනු දේශීය ව්‍යවහාරයේ එන තවත් එක් ආහාර රුචිය වඩවන ප්‍රතිශක්ති ජනක පානයකි. කොත්තමල්ලි, සූදුරු, මහදුරු සුදුලූනු, ගොරකා, සියඹලා, ගම්මිරිස්, කරපිංචා, ඉඟුරු, කුරුඳු, මුරුංගා පොතු සියල්ල අඹරා එයට ජලය කෝප්ප 4ක් එක්කර ලුණු උළුහාල් දමා තම්බා මෙය සාදාගනී.
කබලේ බැදගත් කොත්තමල්ලි, ඉඟුරු, පත්පාඩගම්, වෙනිවැල් ගැට, කටුවැල්බටු සමව ගෙන තම්බා උදේ සවස පානය කළ හැකි නම් එය ද මේ දිනවල ඉතා සුදුසුය. මෙම ද්‍රව්‍ය සොයා ගැනීම අපහසු නම් වෙළෙඳපොලේ ඇති පපංගුව, පේයාව ගෙන තම්බා පානය කළ හැකියි.
වියළි ඉඟුරු, කොත්තමල්ලි, ගම් මිරිස්, තිප්පිලි කබලේ කුඩු කර තබා වරකට තේ හැදි 2ක් උණුවතුරට මිශ්‍ර කර සතියකට දෙවරක් පමණ මී පැණි ස්වල්පයක් යොදා පානයට ගැනීම ද ගුණදායක වේ. කහ, ඉඟුරු, සුදුලූනු, තුල්සි, තිප්පිලි, කලුගම් මිරිස්, මී පැණි, කොත්තමල්ලි ආදිය ද එදිනෙදා ආහාරයට විවිධ අයුරින් එක්කරගත හැකි, ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන අගනා ද්‍රව්‍ය වේ. කහ හෙවත් හරිද්‍රා තුළ curcumin සංඝටකය අඩංගු නිසා ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිප්‍රදාහ හැකියාව පවතී.උණුකිරි සමඟ එකතු කර පානය, ව්‍යංජනවලට යෙදීම කළ හැකියි. කිරි හා යෝගට් යනු ආහාර මාර්ගයේ යහ පැවැත්මට හේතු වන ද්‍රව්‍ය වන අතර එහි ඇති ලැක්ටික් අම්ල හා විටමින් D ස්වාභාවික ආරක්ෂක යාත්‍රණයට දායක වේ. ඉඟුරු ද උගුරේ ආසාදන ආදියට ඉතා ගුණ ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිප්‍රදාහ ඖෂධකි. සුදුළූනු විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යාවට සහනය දෙන අතර allicin නම් සංඝටකය සහිත නිසා කාලානුරූපීව හටගන්නා රෝගවලින් ශරීරය ආරක්ෂා කරයි. තුල්සි තුළ විශේෂයෙන් ප්‍රතික්ෂුද්‍රජීවී, ප්‍රතිආසාදිත හැකියාව ඇත. මී පැණිද ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිබැක්ටීරියා ගුණ ඇති සුවිශේෂී ප්‍රතිශක්තිකරණ ඔසුවකි. නිවිති ද තවත් එක් අගනා ඖෂධීය ආහාර යටතට ගෙන දක්වයි. අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිඔක්සිකාරක හැකියාවෙන් මෙය අනූන නිසා රෝගවලට එදිරිව ක්‍රියා කරයි. තවදුරටත් ප්‍රතිශක්තිකරණ හා විෂබීජ නසන ආහාර ඖෂධ ලෙස රසකිඳ, කොහොඹ, ගුග්ගුලු, චන්දන,ත්‍රිපලා,වචා,නල,අශ්වගන්ධා, ගොටුකොළ, ලුණුවිල ආදිය විග්‍රහ වේ.
රෝග නිවාරණයට
ආහාර හා ඖෂධවලට අමතරව රෝග නිවාරණය උදෙසා නිවාස අවට පරිසරය ධූමායනය සිදු කළ හැකි අතර එමඟින් ගෘහස්ථ දිලීර, බැක්ටීරියා වර්ධනය පාලනය කරයි. අමු කොහොඹ කොළ, අමුකහ, අමු පොල්කොළ, හල්දුම්මල ගෙන පොල්කටු , අඟුරු සමඟ එකතු කර දුම් ඇල්ලීම මේ සඳහා සුදුසු එක් සරල ප්‍රතිකර්මයකි.
ශ්වසන පද්ධතියේ යහ පැවැත්ම උදෙසා දෙහි, දොඩම්, දෙළුම්, යකිනාරං, නික කොළ වාෂ්ප ඇල්ලීම උචිතය.
කුඩා දරුවන් සිටින නිෙවසක නම් වෛද්‍ය උපදෙස් මත රත කල්කය නිවැරදි මාත්‍රාවෙන් නිසියාකාරව ලබාදීම කුඩා දරුවන් රෝගවලින් ආරක්ෂා කරවයි. ස්වාභාවික ආපදා අපට අභියෝග ගෙන එන බව යථාර්ථයක් වුවද නිවැරදි සෞඛ්‍ය පුරුදු, චර්යා රටා, පවිත්‍රතාව, ආහාර පාන කෙරෙහි සැළකිලිමත් වීම, සහ සරල ආයුර්වේදීය රැකවරණ ක්‍රම පිළිපැදීමෙන්, බෝවන රෝගවලින් අපේ පවුලත්, අපේ ප්‍රජාවත් ආරක්ෂා කළ හැකිය.
තවදුරටත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති පාරිසරික අවදානම් තත්ත්වය යටතේ සියල්ලන්ම සුරක්ෂිත පියවර ගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩ නැඟීම මහජනයාගේ වගකීමයි.
