කුඩා දරුවන් සිටින මවුපියන්ට දරුවන්ගේ අධික ක්‍රියාකාරිත්වය ගැටලුවක් බවට පත්ව තිබේ. සැබවින්ම මේ රෝගී තත්ත්වයක්ද, එසේ නැතිනම් සාමාන්‍ය තත්ත්වයක් ද ඒ පිළිබඳ නිසියාකාරව දැන ගැනීමට ළමා හා යොවුන් මනස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය ඉෂිනි ආරියචන්ද්‍ර මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියන ලද සටහනකි.
ADHD එහෙමත් නැත්නම් අධි ක්‍රියාකාරීත්වය කියන්නේ මොකක්ද?
අධි ක්‍රියාකාරීත්වය එහෙමත් නැත්නම් ADHD කියන්නෙ ඌන අවදාන ක්‍රියාකාරී තත්ත්වයන් සඳහා එමෙන්ම මොළයේ ස්නායු සෛලවල තියෙන ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයේ වෙනස්කමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙය කුඩා ළමුන්ගේ ස්නායු සංවර්ධනය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වයකි.
මෙවැනි දරුවෙක්ගේ දකින්නට ලැබෙන්න ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද?
මෙම ඌන අවදානම කියන තත්ත්වය ගත්තම සමහර අවස්ථාවලදී පන්තියේ ගුරුවරයා කියනවා මේ දරුවා අනිත් අයට කරදර කරනවා. දඟලනවා වැඩියි කියලා. ඒ වගේම මෙයාලගේ අවධානයත් නිතර නිතර වෙනස් වෙනවා. අවධානය අඩුකම නිසාම මේ දරුවෝ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ බාගෙට. සමහර දරුවෝ ගොඩක් වෙලාවට පොත්, පැන්සල්, පාට පෙට්ටි ඉස්කෝලෙ දාලා යනවා. ඒ වගේම අධි ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මෙයාලා හයියෙන් කතා කරනවා, කෑගහනවා. අනිත් ළමයින්ට බාධා කරනවා වගේ දේවල් කරන නිසා අධි ක්‍රියාකරීත්වය සහ ආවේගශීලීත්වය කියන ගුණාංග දෙකම එකට යන ගුණාංග දෙකක්. ඉතින් මෙයාලා තමන්ගේ වාරය එනකම් පෝලිමේ ඉන්න කැමැති නැහැ. එයාලට මොකක් හරි දෙයක් කරන්න හිතුණොත් ආවේගශීලීත්වය නිසා ඒක කරනවා. නමුත් අවධානය පවත්වාගෙන යන්න බැරි නිසා ඒක මඟදී නවත්තන්නත් ඉඩ තියෙනවා. මෙවැනි තත්ත්වයන් තුළින් නිෙවසේදී පමණක් නොව පාසලේදිත් දරුවාගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කරමින් මේ තත්ත්වය හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.
ඒ වගේම අපිට කොටස් දෙකක් යටතේ රෝග ලක්ෂණ කතා කරන්න පුළුවන්. අවධානය සහිත රෝග ලක්ෂණ සහ අධි ක්‍රියාශීලීත්වය, ආවේගශීලීත්වය කියන රෝග ලක්ෂණ ප්‍රධානව දැකගන්න පුළුවන්. ආවේගශීලිත්වයේ තියෙන දරුවො අපිට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් අනාවබෝධය තියෙන දරුවෝ ටිකක් අඳුනගන්න අමාරුයි. මේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට හැකි වයස වන්නේ අවුරුදු 5 – 12ත් අතරේදීය. මේ තත්ත්වය සාමාන්‍ය උපතේ සිට ඇතිවන තත්ත්වයක්. එමෙන්ම ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් තුළ වැඩි වශයෙන් දකින්නට ලැබෙන තත්ත්වයකි.
සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයන් නිසියාකාරව තිබේදැයි හඳුනා ගත හැකි පරීක්‍ෂණ තියෙනවාද?
ඇත්තටම එහෙම පරීක්ෂණ ක්‍රියාවලියක් නැහැ. සායනිකව තහවුරු කර ගැනීමක් කරන්න පුළුවන්. දරුවාගේ හැසිරීමෙන් තමයි අපි මේ තත්ත්වය ගැන තීරණයකට එළඹෙන්නේ. ඒ වගේම මේ හැසිරීම ගෙදරදී විතරක් තිබිලා මදි. දරුවාගේ පාසලේදී වගේම අනෙකුත් ස්ථානවලත් එම හැසිරීම තියෙන්න ඕනේ.
මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් බලපාන හේතු මොනවාද?
ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොළේ තියෙන ස්නායුවල රසායනික ද්‍රව්‍ය අසමතුලිතභාවයක් තිබීම නිසා. නිදසුනක් ලෙස මෙවැනි තත්ත්වයන් පාලනය කරන්න බෙහෙත්වලින් බැහැ. නමුත් ADHD තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. මේ තත්ත්වය පාලනය කරන්න බෙහෙත් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් ගොඩක් මවුපියෝ මිථ්‍යා මත විශ්වාස කරමින් බෙහෙත් ගන්න අධෛර්යවත් කරනවා. ඒ හේතුවෙන් රෝග තත්ත්වය උත්සන්න වෙන්නත් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් ගර්භිණී සමයේදී දුම්කොළ භාවිතය නිසා, මත්ද්‍රව්‍ය භාවිතය, මොළට සිදුවන යම්කිසි ස්නායු හානියක් වීමට පුළුවන්. අඩු මාස ගණනකින් දරුවා ඉපදීම, ජානමය ප්‍රශ්න නිසාවෙන් වගේ හේතු නිසාවෙන් ද මේ තත්ත්වය ඇතිවිය හැකිය. එමෙන්ම මවුවරුන් මිථ්‍යා මත විශ්වාස කරන අතර දරුවෝ දුරකතනයට ඇබ්බැහි වීම, දරුවාට ලබා දුන් ආහාර නිසා මෙලෙස සිදුවන බවට මිථ්‍යා විශ්වාස ද පවතිනවා. නමුත් සැබැවින්ම මෙවැනි තත්ත්වයකට බලපානු ලබන්නේ ස්නායු ජීව විද්‍යාත්මක කරුණුය.
මෙවැනි දරුවන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?
අපි මුලින්ම සිදුකළ යුත්තේ ADHD බවට තහවුරු කර ගැනීමයි. ඉන් පසුව ඊට වෙනත් රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කළ යුතුයි. එසේ තහවුරුකර ගත් පසු මුලින්ම සිදුකරන ප්‍රතිකාර ක්‍රමය නම් ඖෂධ ප්‍රතිකාර ලබා දීමයි. ඒ වගේම ඖෂධීය නොවන ප්‍රතිකාර ක්‍රමත් මීට සම්බන්ධ කිරීමට අවශ්‍ය වෙනවා. එම ද්විත්වයේම එකතුවක් මඟින් දරුවාගේ ප්‍රශස්ත මට්ටම ළඟා කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී මුලින්ම මවුපියන්ව නිසි දැනුවත් කිරීම සිදුකරනවා. මවුපියන්ට ද දරුවා සමඟ සිටිය යුතු ආකාරය අවබෝධ කර දිය යුතුයි. ඒ වගේම දරුවාගේ පන්තිභාර ගුරුවරයාද අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕනි. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන් පන්තියේ ජනේලය සීමාවෙන් හෝ අවධානය වෙනස් වන සීමාවට යොදවන්නේ නැහැ. මොකද දරුවාගේ අවධානය වෙනස් වුණාම එළිය වටපිට බලාගෙන පන්ති කාමරයට ඇහුම්කම් නොදී ඉන්න පුළුවන්. ඒ වගේම මෙයාලා කරන හොඳ වැඩ නරක වැඩ අනුව එයාලට ප්‍රශංසා කිරීම් කරන්න පුළුවන්. ඒ වගේම ගෙදරදි වුණත් එවැනි වැඩසටහන් ඔස්සේ දරුවා සිදුකරන හොඳ වැඩ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මෙවැනි දරුවන්ට නිසි ප්‍රතිකාර සිදුකරන්න ඕනෙ. ඒ වගේම ඔබගේ දරුවාටත් මෙවැනි තත්ත්වයක් තිබේදැයි ඔබට දැනේනම් මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් උචිතය.
TEXT – සචිනි මහේෂිකා
