Monday, December 29, 2025
Epaper
Home ජ්‍යෙතිෂය2026 ඔබේ ලග්නයට කොහොමද?

2026 ඔබේ ලග්නයට කොහොමද?

by Mavan Perera

මේෂ
තිර අදිටනෙන් කටයුතු කරන්න පොදු තත්ත්වය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරය අනුව ග්‍රහ බලය නව වසර තුළ සුබ – අසුබ මිශ්‍ර අයුරින් ක්‍රියාත්මක වන නිසා උදා වන්නාවූ අලුත් අවුරුද්ද මිශ්‍ර ඵලදායි වන්නේය. එනමුදු මෙය ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීමට සැලකිලිමත් වුවහොත් සැලකිය යුතු වසරක් බවටත් පත්කරගත හැකිවේ. ඔබට මෙම වසරේ මැයි තෙක් කාලය තම දෛනික වැඩ කටයුතු ක්‍රියාකාරකම්වලට බාධක අවහිර ගොඩනැඟුණත් 2026 වසරේ ජූනි සිට අවහිර බාධා අභියෝග මැඬගෙන අරමුණුු සැලසුම් ඉටුකර ගැනීමට පරිසරය සැකසේ. එනමුත් විශේෂයෙන් සෙනසුරු ග්‍රහයා වසර පුරාවටම මෙන් 12වැන්නේ ගමන් කිරීම නිසා අසනීප හා ධන හානිවලටත් හේතු ඇතිවෙයි. අදහස් කරන කටයුතුවලට ඇතැම් අවස්ථාවල කරදර සහ බාධා ඇතිවන නිසාත් ඒවා කෙරෙහිත් අවධානයෙන් පසුවන්න.

අධ්‍යාපනය

විද්‍යාකාරක බුධගේ හා රවිගේ ගමන මුල්කොට මෙම වසර තුළ තමා නිරත අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරකම් හෝ සිත අධෛර්යය වීම ද ඇති නොවේ. එසේ නමුදු පොත පතට සිත ගියද අධ්‍යාපන ආයතන තුළ රහස් විරුද්ධකාරයන් ඇති විම නිසා සිත් සහනයෙන් ඉගෙනීම් කටයුතු කළ නොහැකි වන හෙයින් ඒවා ගැනත් අවධානයෙන් කටයුතු කරන්න. තම ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරගෙන යා හැකිය. මැයි මාසෙන් පසු අධ්‍යාපනයට දැනට බලපෑ යම් යම් බාධා අවහිර පහව යයි.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

ධන – අය භාවාධිපතියන් බලදුබල දෙයාකාරයෙන්ම හැසිරෙන හෙයින් ඔබට නව වසර පුරාවට පැවති නිෂ්ඵල අධික වියදම්කාරී ස්වභාවය පහව ගියද එනමුදු නොසැලකිල්ල මෙන්ම අත්තනෝමතික ක්‍රියා නිසාත් මූල්‍යමය වශයෙන් වංචාකාරයින්ට හසු වීමටත් ඉඩ ඇත. අවශ්‍ය දේට අවශ්‍ය තරම් මිල මුදල් නොලැබෙන ආකාරයක් පිළිබිඹු වේ. කෙසේ වෙතත් ඔබ මෙම මස තුළ අවිශ්වාස අය සමඟ ගනුදෙනු කටයුතු නොකරන්න. නැතහොත් ඒවා මුල්කොට ප්‍රශ්න මතු වේ. ඒත් සමඟම ඔබට මෙම වසරේදී අපේක්‍ෂිත හෝ සැලසුම් කළ මුදලක් අතට නොලැබී බලාපොරොත්තු නොවූ මාර්ගයකින් කිසියම් මුදල් ලාභයක් ලැබෙනු ඇත. ඔබ තම රැකියා, ව්‍යාපාර වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන්න. විනෝදය, විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලිභාවයෙන් කටයුතු කොට රැකියා ව්‍යාපාර ආදියේ වැඩි දියුණුවක්, මුල් මාස හයෙන් පසු සකසා ගනී. ඒ අතරම සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණු ඇති වේ. ආයතන තුළ තිබුණ ගෞරවය නැති වේ. ව්‍යාපාරික වියදම් අධික කරයි. සමහරවිට ව්‍යාපාරික ස්ථානවල හෝ කරගෙන ආ කටයුතුවල වෙනසක් ද ඇති කළ හැකියි. කෙසේ නමුත් ඔබ මෙම වසරේ මුල් මාස හය අවිශ්වාස අය සමඟ ගනුදෙනු නොකරන්න. පොදුවේ ඔබට මෙම වසර තුළ ආදායම් තත්ත්වයේ තරමක ප්‍රගතියක් පෙන්නුම් කරයි.

ආදරය සබඳතා සහ ගෘහ දිවිය

මෙම වසර තුළ ඔබව පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක් වුවත් එසේම ඔබට ආදර සබඳතා හා දැන හැඳුනුම් පහසුවෙන් ගොඩනැඟුණත් මෙවැනි කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ අවශ්‍යතා සපුරාලීමට නිබඳවම සැලකිලිමත් වන්න. මෙම වසරෙ මැද භාගයෙන් පසු සහකරු හෝ සහකාරිය තමන්ගේ වැඩකටයුතුවලට ද බෙහෙවින් උදවු උපකාර කරන පසුබිමක් ගොඩනැඟේ. පොදුවේ යුග හා ප්‍රේම දිවිය සුබ අසුබ මිශ්‍රයි.
සෞඛ්‍යය
සමස්තයක් වශයෙන් බලන කල ඔබ මෙම වසර පුරාවටම මෙන් ඇසේ, හිසේ අසනීප කෙරෙහි වැඩි අවධානයෙන් පසුවන්න. දණහිස හා පාදයේ වළලුකර ආශ්‍රිත අසාදන ද පහසුවෙන් ඇති කරන වසරකි.

සුබ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවාදා
සුබ අංක :-1-2-4-7
සුබ වර්ණ :- රතු සහ දීප්තිමත් සුද
සුබ මැණික් :- රතු කොරල් හා පද්මරාග
අය :- 14 වැය :- 02

*****************************************************************************

වෘෂභ
අත මිට මිල මුදල් ගැවසෙන වසරක්

පොදු තත්ත්වය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සමස්තයක් වශයෙන් වසර පුරාවටම මෙන් සුබ ඵල වැඩි වශයෙන් ගෙන දෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් කලක් නොවිසඳී පැවති මූලික ප්‍රශ්න විසඳෙන සාර්ථක පෙරනිමිති පහළ වන්නේ අලුත් අවුරුද්ද උදාවත් සමඟමය. කරන කියන අතගසන බොහෝ දේ බාධක බිඳගෙන ඉෂ්ට සිද්ධ වනු ඇත. වසරේ මුල්මාස 6 තුළ ජීවන වටපිටාව පරිසරය යහපත් බවට පත්වන අතර එහිදී ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාබ ලැබේ. ආදායම වැඩි වේ. වැටුප් වැඩි වේ. ඥානය වැඩි වේ. අමුතු දේ ඉගෙන ගැනීමට දැන ගැනීමට ඉඩ ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම බීම, සංග්‍රහ ආදිය ලැබෙන අවස්ථාත් යෙදේ. වාසනාව මතු වේ. එසේම ඔබ උද්‍යෝගයෙන් කාර්ය ශූරත්වයෙන් කටයුතු කරන වසරක් ද වනු ඇත. මෙවැනි සුබපල මධ්‍යයේම මෙම වසරේ අවසන් මාස 6 තුළ අනුමානයට කරන කටයුතුවලින් පාඩු ද පරාජය ද සිදු වේ. තනතුරුවලින් පහළ යා හැකියි. වරෙක ජීවනෝපාය ස්ථාන හැර යාමට සිතෙයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේසම් විය යුතුයි.

අධ්‍යාපනය

ඔබට වසර පුරාවටම තම සියලුම අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි උද්‍යෝගිමත්ව කරගෙන යාමට හැකි වන්නේය. ඥාන ශක්තිය හා ධාරණ ශක්තිය යහපත් අතට හැරේ. තරග විභාගවලින් ජයග්‍රහණ සැලසෙන ගුරුගෝල සමගිය තහවුරු වන යහපත් වසරකි. එසේම ඔබට මෙම වසර තුළ ශිල්ප ශාස්ත්‍ර විෂයන් හැදැරීමේ ඇති රුචිය වැඩිදියුණු වන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපනයට අදාළව යටපත්ව පැවති දක්‍ෂතාවක් ඉස්මතු වේ.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

ලබා ගන්නා ලද ණය මුදලක් පියවා ගැනීමට අවස්ථාවක් ලැබුණත් උරුම හිමිකම් සම්බන්ධ නීති ප්‍රශ්න ගෙන දෙන අවස්ථාවකට ද හේතුවන ගැටලු පැනනඟී. කුමන අයුරින් හෝ අත මිට මිල මුදල් ගැවසෙන වසරකි. යම් යම් මුදල් ලාභ හිමිවන අවස්ථා යෙදේ. ණය ගනුදෙනු අපේක්‍ෂා සපල වේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමට ද ඉඩ ප්‍රස්ථා සැලසේ. අනාගත යහපතට හේතුවන ස්ථාන මාරුවීමි ඇති කෙරේ. අමතර ආදායම් මාර්ගයක් ද සලසා ගැනීමටත් අවස්ථාව උදා වේ. රැකියාව කෙරේ උනන්දුව වැඩිවීම නිසා රාජකාරිය ගැන උසස් දැනුමක් ලැබීමටත් හැකි වන්නේය. තනතුරු, නිලතල ආදී අපේක්ෂා බාධාවන් ප්‍රමාදතා මධ්‍යයේ නමුදු ඉටුවනු ඇත. විශේෂයෙන් තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියටත් කැඳවීම් ලිපි ලැබේ. ව්‍යාපාරික හා රාජකාරි ස්ථානයන්ට අදාළව බලපෑ අසහනදායි වටපිටාව ස්ථාන වෙනසක් මඟින් පහව යයි. කෙසේ නමුත් ඔබ විදෙස් රැකියා පොරොන්දුවලට මුදල් දීමෙන් වළකින්න. රැකියාවේ දියුණුව පිළිබඳ නව ක්‍රියා මාර්ග කිහිපයකට ඔබේ මනස යොමුවන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට අවැසි සහයෝගය ද අදාළ අංශවලින් ලැබේ. නව රැකියා ලාභ ඉටුවන වසරක් ද වේ.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

මෙම වසරේ මුල් මාස හයට වඩා අවසන් මාස හය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප්‍රශ්නකාරී දෑ කෙරේ. සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න. එනමුදු මෙම වසරේ මුල් භාගය ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සතුට සැනසුම ගෙනදෙන දෑ සිදුවේ. එමඟින් මෙය අවිවාහකයනට විවාහ සැප හිමි කර දෙන වසරක් ද වනු ඇත.

සෞඛ්‍යය

ඔබටද ඇස, හිස, පපුව, පෙනහැල්ල ආශ්‍රිත අසාදන ද පහසුවෙන් ඇති කරන වසරකි. එවැනි ශාරීරික ඉන්ද්‍රියන්ට අදාළ රෝගාබාධ කෙරෙන් සැලකිලිමත් වන්න.

සුබ දවස් :- ඉරිදා- බදාදා – සිකුරාදා
සුබ අංක :-1-8
සුබ වර්ණ :- සුදු සහ රිදීපාට-නිල්
සුබ මැණික් :- ඉන්ද්‍රනීල හා ගෝමේද
අය :- 08 වැය :-11

*****************************************************************************

මිථුන
අරමුණු සැලසුම් ඉටුකර ගනී

පොදු තත්ත්වය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරය අනුව වසර පුරාවටම මෙන් ග්‍රහ බලය සුබදායි අයුරින් ක්‍රියාත්මක වන නිසා ලබන්නා වූ අලුත් අවුරුද්ද වැඩි වශයෙන් සුබ පලදායි වන්නේය. එබැවින් ඔබට මෙම වසර තුළ සිතැඟි පරිදි කාර්යයන් ඉටු වී තනතුරු, නිලතල, වරප්‍රසාද හිමි වී ජයග්‍රාහී පසුබිමක් ජීවන ගමන කෙරෙන් සැකසෙන්නේය. ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන වසරක් ද වේ. ශරීර ශක්තිය වර්ධනය වන සිතට හා කයට සැප ගෙනෙන භාෂා හා කලා ශිල්පාදිය ගැන ලොකු ආශාවක් දක්වන, ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පාත්‍රවන හා දේශපාලන වාසි සැලසෙන වර්ෂයකි. පොදුවේ රවි , ගුරු හා ශනි දශා අනුදශා මෙම වසර තුළ ඔබට පවතින්නේ නම් පැහැදිලි සුබ පල රැසක් ගෙනදේ. එසේම ඔබට නව වසර මුල සිටම මෙන් ශුභ ඵල උදාවන්නේය.

අධ්‍යාපනය

2026-ජනවාරි හා මැයි අතර අධ්‍යාපනයට මෙන්ම තමා නිරත රැකියා ව්‍යාපාරික කටයුතුවලට සුළු සුළු බාධා අවහිර මතුවන බැවින් ඒ කෙරේ සැලකිලිමත් වන්න. කෙසේ නමුත් සතුටුවිය හැකි අධ්‍යාපන ජයග්‍රහණයක් හා වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් ප්‍රගතියක් මෙම වසර අවසන් වීමට පෙර සිදු වන්නේය.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

ඔබට මෙම වසරේ මැයි මාසෙන් පසුව ආර්ථිකයේ වැඩි දියුණුවට කටයුතු සිදු වේ. විකිණීම්මිලයට ගැනීම්වලින් ලාභ ප්‍රයෝජන අත්පත් වේ. කෙසේ නමුත් අවිශ්වාස අය සමඟ ගනුදෙනු නොකරන්න. දුර බැහැර හෝ විදෙස් ගතව සිටින්නන්ගෙන් වුව තම මුදල් අවශ්‍යතා පිරිමැසීමට විශේෂ මුදල් උපකාර ලැබෙන වසරකි. දැන උගත්කමට, හැකියාවට කුසලතාවයට සරිලන පරිදි නව රැකියා අවස්ථාවක් හිමිවනු ඇත.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

මෙම වසර තුළ ඔබව පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක් වේ. එසේම ප්‍රේම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලු නිරාකරණය වනු ඇත. මේවා කෙරෙන් බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්වයන් පහව යයි. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල්ගත වූ විවාහ ගිවිසුම් ස්ථීර තහවුරු වන්නේය. යුග දිවියේ හා ප්‍රේම දිවියේ සමගිය සමාදානයට තර්ජන 2026 ජනවාරි හා මැයි අතර කාලය තුළ මතුවන නිසා එහිදි ඒ කෙරේ නිසි අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ගෙදර දොර වාසනාව සමහරවිට දරු උපතක් හෝ ඇතිවේ. සුදුසු වයස නම් විවාහය ස්ථිර තහවුරුවීම හෝ යුගදිවි සැප හිමිවන අවස්ථාත් ගොඩනැගේ.

සෞඛ්‍යය

සුළු සුළු රෝගාබාධ ගති මතුවන වසරක් වුවත් වැඩ් වශයෙන් නීරෝගි භාවයක් ඇති කරයි. පොදුවේ. සිරුරේ දැඩි උෘෂ්ණාධික බවක් පෙන්නුමි කරන වසරකි. එහෙත් ශරීර සනීපයද ඇතිවේ. මා-පුවපල් -උත්‍රපල් වැනි නැකතින් උපන් අය ශරීර සනීපයේ දුර්වලතා හා හදිසි රෝගාබාධ කෙරෙහි වඩාත් ආරක්ෂා වන්න.

සුබ දවස් :- බදාදා – බ්‍රහස්පතින්දා – සිකුරාදා
සුබ අංක :- 3-5
සුබ වර්ණ :- තැඹිලිපාට සහ කොළපාට
සුබ මැණික් :- පච්ච හා දියමන්ති
අය :- 14 වැය :-03

*****************************************************************************

කටක
දක්‍ෂතාවට තැන ලැබේ

පොදු තත්ත්වය

කටක ලග්නය හිමි ඔබගේ ලග්න නැකත් අධිපතින් සුබ අසුබ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදා වන නව වසර ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද සුබ – අසුබ බවක් ඇති කරයි. බාධා මධ්‍යයේ නමුදු ක්‍රමක්‍රමයෙන් අරමුණු සැලසුමි සාර්ථක කර ගත හැකියි. ඔබට මෙම වසරේ මැයි මාසය පසුවන තෙක් කාලය පැහැදිලි සුබපල රැසක් ගෙන නොදෙනු ඇත. සිත්තැවුල්, තිරිසන් සතුන්ගෙන් කරදර හා පාඩු, උසස් අය තමා සමඟ අමනාප වීම්, ආශ්‍රය කළ අයගෙන් ඈත්වීම් ආදී අපල ද ආරවුල් කර ගැනීම් ද දඬුවම් ලැබීම, ගමන් අධික වීම, සොරුන්ගෙන් පාඩු සිදුවීම්, කරදර අධික වීම් ද, දුක් විපත් ඇතිවීම් සිදුවන අවස්ථාත් පෙන්නුම් කරයි. එසේම මේ කාලයේදී වෙහෙස ඇති ගමන් යාමට ද සිදුවේ. තමාගේ රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්ෂාව හෝ ස්ථාන හෝ වෙනස් කර ගැනීමට තද ලෙස ආශාවකින් ක්‍රියා කරන නමුත් ඒ කරදරවලින් නිදහස් වීමට ඉඩ ලැබෙන්නේ මැයි මාසෙන් පසුවය.

අධ්‍යාපනය

නව වසරේ මුල් මාස පහෙන් පසු ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති නොකරයි. එතෙක් කාලය පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන කෙරෙන්ද කලකිරීම්සහගත දෑ ඇති කරයි. පොදුවේ ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට මෙම වසරේදී උනන්දුවන්න. මැයිවලින් පසු අධ්‍යාපනයට අදාළව අනුමානයට කරන දෙයකින් ඉදිරි දැක්මක් පෙන්නුම් කරයි. ඉගෙනීම් කටයුතුවලට අයහපත්ම නොවේ.

ආර්ථික හා රැකියා – ව්‍යාපාර

ධන අය භාවාධිපතීන් සුබ අසුබ මිශ්‍ර බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම වසර තුළ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙන දේ. ණය ගනුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන්වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. මෙම වසරේ මුල් මාස පහ තුළ අනාගත ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කර යම් යම් වැඩ කටයුතු කිරීමට සිදුවේ. නමුත් ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ මුල් මාස 6 ගත වූවාට පසුවය. (එනම් ගුරු දෙවැන්නට පැමිණි කාලයේදීය. අප්‍රසිද්ධව අසරණයන්ට උදවු කරයි. එහෙත් නිතරම සිත් තැවුලෙන් කාලය ගත වේ. සතුරු කුමන්ත්‍රණ විරුද්ධවාදිකමි නිසා සිතේ සහනයෙන් තෘප්තිමත්ව මේවායේ නිරතවීමට අසීරු වන හෙයින් උපේක්‍ෂාවෙන් සිතා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. කෙසේ නමුත් දක්‍ෂතාවට තැන ලැබෙන වසරකි. රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකි වුවත් සුවිශේෂි වගකීම් වැනි දෑ භාර නොගැනීමට වග බලා ගන්න. රැකියා අවස්ථාවක් වෙනුවෙන් දුර ගමන් බිමන් යෙදේ.

ආදරය සබඳතා සහ ගෘහ දිවිය

මෙම වසර තුළ තමන් අදහස් කළ අන්දමට, සැලසුම් කළ පරිදි ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදු නොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. අවිවාහක අයට ඇතැම් හිතවතුන් හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන් ද ගෙන දේ. අපවාද චෝදනාවලට ලක්වන දෙයින් ද ඔබ මෙම වසර තුළ සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. ඒ අතරට රහස් මිත්‍ර සම්බන්ධයක් හෝ රහස් ආලය බැඳීමක් ඇතිවෙන දේත් සිදුවේ. එසේම මෙම කාර්යයන්ට අදාළව රහසිගතව හෝ අප්‍රසිද්ධව යම් යම් කටයුතුවලට මුදල් වියදම් කරන්නට සිදු වේ.

සෞඛ්‍යය

රත් පිත් රක්ත දෝෂ, අාමාශය ආශ්‍රිත ආසාදන, අර්ශස්, මුලාග්නියට සම්බන්ධ රෝග වැඩි වශයෙන් ඔබට මෙම වසරේදි හටගනී. එසේම වකුගඩු, මුත්‍රා ආසාදන වැනි රෝගාබාධ ඇති අයත් එම රෝග කෙරෙහි හා මෙවැනි ශාරීරික ආබාධ කෙරෙහි සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න.

සුබ දවස් :- සඳුදා –අඟහරුවාදා -සිකුරාදා
සුබ අංක :- 2-7-9
සුබ වර්ණ :- ක්‍රීම් පාට සහ දීප්තිමත් සුද
සුබ මැණික් :- මුතු හා පුෂ්පරාග
අය :- 08 වැය :-05

*****************************************************************************

සිංහ
කාර්ය‍ ශූරත්වය වසර පුරාම

පොදු තත්ත්වය
ඔබට මෙම උදාවන නව වසර සුබ පල මෙන්ම අසුබ පල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ මුල්මාස පහ තුළ ඔබේ කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාන ශක්තිය පහළ වෙයි. සතුරු කරදර පහව යයි.- කාර්ය ශූරත්වය ඔබ වෙත ඇතිවන නිසා ජනප්‍රියත්වයටත් මෙම කාලය තුළ පත් වේ. විශේෂයෙන් 2026 මැයි මාසෙන් පසු විවිධ අවහිර බාධා ප්‍රශ්නකාරී ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන බැවින් උපේක්‍ෂාවෙන් සිතා කටයුතු කරන්න. එතැන් සිට තම වැඩවලට අන්‍යයන්ගෙන් අපේක්‍ෂා කරන සහයෝගය නිසි පරිදි ලබා ගැනීමටත් ඔබ උපක්‍රමශීලිව ඥානාන්විතව ක්‍රියා කරන්න.

අධ්‍යාපනය

මෙම වසරේ මුල් මාස පහ තුළ ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. මෙහිදී පොතට පතට ඇති උනන්දුව වැඩි වනු ඇත. එනිසා නව වසර ආරම්භ මාස පහ ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය වර්ධනය කරගැනීමට උනන්දු වන්න, මෙහිදී ඔබට තරග විභාගාදියෙනුත් ජයග්‍රහණ අත්කර ගැනීමටත් පිළිවන්කම ලැබේ. අවසන් මාස 6 විටෙක තමාට මෙන්ම අනුන්ට වුව සිදුවන කරදරවලට මුහුණ දෙන්නට සිදු වීමෙන් ඉගෙනීම් කටයුතු අතපසු වී යයි.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

පසුගිය කාලයේ පසු බැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක්‍රමවත් වර්ධනයක් මෙම ජූනිවලට පෙර ගොඩනැඟේ. යම් යම් මුදල් හා ද්‍රව්‍යමය ලාභයන්ද මෙහිදි හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. අගෝස්තුවලින් පසු ගනුදෙනුවලදී පරිස්සම් වන්න. වසර පුරාවටම මිල මුදල් අතමිට ගැවසුණත් මූල්‍යමය ලාභ හිමි වුණත් වසර අවසන් වන විට කිසිදු ඉතිරි කිරීමක් සිදු නොවී තිබේ. මෙම වසරේ වැඩි වශයෙන් ඔබගේ අතේ මිල මුදල් ගැවසෙන්නේ ජනවාරි මැයි අතර කාලයේ දීය. පොදුවේ මෙම වසර තුළ ඔබගේ වෘත්තිය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට විවිධ බාධක අවහිර පැන නැඟුණත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඬගෙන ඉදිරියට යා හැකිය. විශේෂයෙන් රැකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට මෙම වසර තුළදී කරගෙන යාමට සිදු වන්නේ බාධා ප්‍රමාදතා හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. එනිසා ආයතන තුළ ඒ කෙරෙන් සැලකිල්ලෙන්, විමසිල්ලෙන් කටයුතු කරන්න. මෙම වසරේ අප්‍රේල් – මැයි – ජූනි මාස 3 හා සැප්තැම්බර්- ඔක්තෝම්බර් මාස දෙක යන කාලවලදි ඔබගේ රැකී රක්‍ෂා ව්‍යාපාරික කටයුතු දියුණුවන අතර රැකියා විරහිත වුවන්ට රැකී රක්ෂා ලබා ගැනීමටත් හැකිවන බැවින් ඒ ගැන උනන්දු වීම වඩාත් යෙහෙකි. සෙසු මාසවලදි මේ කෙරෙන් ප්‍රශ්න ගැටලු ද මතු කරයි.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට සුබදායි වාතාවරණයක් පෙන්නුම් නොකරන අතර, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සංකා මතුවීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. එනමුදු අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. ඔබගේ විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත්‍රණ කෙරේ අවධානයෙන් පසුවන්න. විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු කෙරෙන් යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නේ 2026 ජනවාරි මැයි අතර හා අගෝස්තු – සැප්තැම්බර් මාසවල පමණි. සෙසු මාසවලදී ප්‍රේම දිවිය හා යුග දිවියේ හට ගන්නා අවුල් වියවුල් කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. එහිදී සිතට වද දෙන ප්‍රශ්න වුව ඇති වේ.

සෞඛ්‍යය

මූත්‍රා ආසාදන රෝග ගති මෙන්ම ආමාශගත ආහාර දිරවීමේ දුර්වලතාත් වැඩි වශයෙන් වසර පුරාවටම ඇති කරයි. ශාරීරික පීඩා, අසනීප, හෘදයාබාධ, ලේ දෝෂ, බෝවෙන රෝග මෙන්ම මලබද්ධය අර්ශස් ආදී අසනීප සෑදෙන්ට පුළුවනි. එය සමහරවිට තමාටම හෝ තම පවුලේ අයට හෝ සෑදේ. දෙනට-සියාවස-පුවපුටුප නැකතකින් ඉපදුණේ නම් මෙවැනි රෝගාබාධ මෙන්ම ගෘහ ජීවිතයේ ගැටලුත් විටින් විට මතුකරයි.

සුබ දවස් :- ඉරිදා – සඳුදා – සිකුරාදා
සුබ අංක :- 1-4
සුබ වර්ණ :- තද රතු සහ රිදීපාට
සුබ මැණික් :- දියමන්ති හා පද්මරාග
අය :- 11 වැය :- 02

*****************************************************************************

කන්‍යා
නිශ්චල චංචල දේපළ මිල දී ගැනීම්

පොදු තත්ත්වය

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුධ හා ලග්න නැකත් අධිපතීන් සුබ අසුබ බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන මෙම වසර තුළ ඔබට සිය කාර්යය කටයුතු කර ගැනීමට සිදු වන්නේ ද නොයෙකුත් අවහිරතා මධ්‍යයේය. අවබෝධයෙන් කටයුතු කළ හොත් අනාගත අභිවෘද්ධියට හේතුවන ප්‍රයෝජනවත් දෑ රැසක් සිදුකර ගත හැකිය. ජූනි මුල් සතිය පසුවන තෙක් තමාගේ අත්‍යවශ්‍ය වැඩවලට විවිධ අවහිර බාධක යෙදේ.

අධ්‍යාපනය

විද්‍යස්ථානාධිපති බලවත් නිසා මෙම වසර තුළ ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන්නේය. සිතේ සහනයෙන් ක්‍රියාශීලිත්වයෙන් පොතපතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම හැකිවනු ඇත. අධ්‍යාපන ආයතනයන්ට අදාළව අහිමි වූ නේවාසික පහසුකම් වැනි දෑ වුව නැවත ලැබේ. ඉගෙනීමට යහපත් වසරකි. අවබෝධ ඥානය ධාරණ ශක්තිය මැනවින් ගොඩනැගේ.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

ඔබට ආර්ථික වශයෙන් අගහිඟතා මෙම වසරේදී ඇති නොවන්නේය. එසේම ආදායම් වැඩිකර ගැනීමටත් ඔබ වෙහෙසී ක්‍රියා කරයි. ස්ථිර ලෙස ආදායම් ලැබෙන සේ කටයුතු පිළියෙල කර ගනී. අනවශ්‍ය වියදම් සීමා වී මූල්‍ය පාලනයක් සිදුවන වසරක් ද වේ.
උරුම හිමිකම් ලාභ, නිශ්චල චංචල දේපළ මිල දී ගැනීම්වලටද යෝග්‍ය වන්නේය. 2026- ජූනි මාසෙන් පසු කිසියම් වැඩ පිළිවෙළක් සැකසී ලැබීමට ඉපැයීමට වාසනාව මතුවන්නේය. එතෙක් කාලය සමස්තයක් වශයෙන් මෙම සෑම දෙයකටම මෙන් සුළු වශයෙන් බාධක අවහිර මතුකරයි. එසේම මෙය දෛනික මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන යම් යම් ආර්ථීක ලාභ ලැබෙන හිමිවන, අනපේක්‍ෂිත අන්සතු මුදල් හෝ රැකියාවේ හිඟ මුදලක් හෝ ලැබෙන වසරක් ද වනු ඇත.
මෙම වසරේදී ඔබේ රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට සුළු සුළු අවහිර බාධාවන් මතු කළත් එම සියලු අවහිර බාධා අභියෝග මැඬගෙන අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටත් වාතාවරණය සැකසෙන්නේය. ඒ ජූනිවලින් පසුවයි.
විශේෂයෙන් මෙම වසරේ මුල් මාස හයෙන් පසු පවතින තත්ත්වයට වඩා රැකියාවේ හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප්‍රගතියක් සැලසෙන්නේය. රාජකාරී ස්ථානය තුළ ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන අන්‍යයන්ගෙන් පරිස්සම් වී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ. එසේම උසස් නිලධාරීන් තමා සමඟ වැඩිපුර කුලුපග වන වසරක්ද වනු ඇත.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවන නමුත් වසරේ මුල් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත් තැවුල් මතු වන දෑ වුවත් සිදු වේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම්වලදී කල්පනාකාරි වන්න. කෙසේ නමුත් හැඟීම්වලට වහල් නොවිය යුතු වසරකි. යුගදිවියේ අසමගිකම් ඇතිවීමට ඉඩ තිබේ. පෙම් සබඳකම් වැනි ප්‍රශ්නවලදී ද ඉතාමත් සැලකිලිමත් වන්න. අවසන් මාස 6 තුළ අනපේක්ෂිත අයුරින් ප්‍රේම සබඳතාවක් වුව ඇති වේ. එසේම එහිදී මීට සම්බන්ධ කාර්යයන් සිතැඟි පරිදි සිදු වේ.

සෞඛ්‍ය

විශේෂයෙන් මුත්‍රාශයේ රෝගාබාධ, වාතාබාධ, හිරිවාත, අජීර්ණ වැනි රෝග ආදී අසනීපවලට මෙම වසරේ දී වැඩි ඉඩක් තිබේ.

සුබ දවස් :- බදාදා -බ්‍රහස්පතින්දා හා සිකුරාදා
සුබ අංක :- 2-3-5-7
සුබ වර්ණ :- කොළ සහ කහ පාට
සුබ මැණික් :- පච්ච හා පුෂ්පරාග
අය :- 14 වැය :-03

*****************************************************************************

තුලා
දියුණුව පිළිබඳ අලුත් සැලසුම්

පොදු තත්ත්වය
තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති මෙන්ම ලග්න නැකත් අධිපතීන් දැඩි පීඩාවකින් තොරව වසර ආරම්භය තුළ ගමන් කරන නිසා කරදර බාධක විඳ දරාගෙන අභියෝග මැඬගෙන ඉදිරිය කරා ගමන් කළ හැකියි. දුරදිග බලා තීරණ ගැනීමටත්, අනාගතය සම්බන්ධ පැහැදිලි සැලසුමකින් යුතුව කටයුතු කරගෙන යෑමටත් අවස්ථාව සැලසෙන වසරක් වනු ඇත. අවහිර බාධා මැඬගෙන තම අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකි වන්නේය.

අධ්‍යාපනය

විශේෂයෙන් තාක්ෂණික හා කාර්මික ක්ෂේත්‍රයේ විෂයන්ගෙන් විවිධ දක්‍ෂතා පෙන්නුම් කිරීමට ඉඩ ලැබේ. කෙසේ වෙතත් ඔබට මෙම වසරේ අධ්‍යාපනික පාඨමාලා හා අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධව බලපෑ ප්‍රශ්න විසඳා ගැනීමට සිදුවේ. මෙම වසරේ මුල් මාස හය තුළ ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් නොකරයි. එසේම මුල් මාස හය තුළ පොතට පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. අවසන් මාස 6 අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට පසුබිම සැකසෙයි.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක්‍රමවත් වර්ධනයක් මෙම මැයි මාසයෙන් පසු ගොඩනැඟේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභයන් ද මෙහිදී හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින් ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. ජුනි පසුවන තෙක් ගනුදෙනු හා විකිණීම්, මිලයට ගැනීම් වැනි කටයුතුවලදී පරෙස්සම් වන්න. පොදුවේ ඔබට ගතවූ වසරට වඩා මෙම වසරේදී ආර්ථික වශයෙන් අගහිඟතා ඇති නොවනු ඇත.
රැකියා රාජකාරිය තෘප්තිමත්භාවයෙන් කරගෙන යා හැකියි. ආයතනය තුළ තමාට විරුද්ධව යොමු වූ චෝදනාත්මක ලිපි පෙත්සම් අහෝසි වී යයි. එමෙන්ම රැකියා ව්‍යාපාරාදියට එල්ලව පැවති බාහිර කරදර බාධාවන් ද ක්‍රමයෙන් ඉවත්ව යනු ඇත. විරැකියාවට පිළියමක් තාවකාලික වශයෙන් හෝ ලැබේ. ඔබගේ රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදියේ දියුණුවක් ඇතිවන අතර ඒවාට බලපෑ විරුද්ධවාදීකම් ද පහව යනු ඇත. කල්ගත වූ තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියකට නැවත කැඳවීමක් ලැබේ. ව්‍යාපාරික ක්ෂේත්‍ර්‍රයේ අලුත් යමක් කෙරෙන වසරක් ද වේ. පොදුවේ මෙම වසරේ අවසන් මාස 6 තුළ මෙම සුබ පල වැඩි වශයෙන් ගෙනදෙනු ඇත.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට සුබදායී වාතාවරණයක් ගොඩනැඟීම සිදුවේ. සුදුසු වයසේ නම් විවාහ යෝජනා ගෙන එනු ලැබේ. විරුද්ධ ලිංගිකයින් සමඟ නව සබඳතාවන් ගොඩනැඟේ. මෙම වසරේදී ඔබට වැඩි වශයෙන් විරුද්ධ ලිංගික ඇසුර ලැබේ. එසේම දැන හැඳිනුම් ප්‍රේම සබඳතා පහසුවෙන් ඇතිවන වසරක් ද වේ. ප්‍රේමය හා විවාහ දිවියට සම්බන්ධව කියන කරන දේ සාර්ථක වන වසරක් වනු ඇත.

සෞඛ්‍යය

මුත්‍රා ආසාදන, මල බද්ධය, වාතආබාධ ආමවාතය වැනි රෝග පවතින ඔබ මෙම වසර පුරාවට ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න. උණ මෙන්ම බෝවන වයිරස් ආසාදනයන්ටත් ඔබ මෙම වසරේදී පහසුවෙන් ලක්වේ.

සුබ දවස් :- අඟහරුවාදා – සිකුරාදා හා සෙනසුරාදා
සුබ අංක :-1-4-6
සුබ වර්ණ :- ක්‍රීම් පාට සහ දීප්තිමත් සුදු
සුබ මැණික් :- සුදුනිල හා ඉන්ද්‍රනීල මැණික්
අය :- 08 වැය :- 11

*****************************************************************************

වෘශ්චික
මුදල් පරිහරණයේදි සකසුරුවමි වන්න

පොදු තත්ත්වය
සමස්තයක් වශයෙන් බලන කළ ඔබගේ ග්‍රහ ගමන එතරම් බලවත්ව ගමන් නොකරන නිසා ඔබට මෙම උදාවන නව වසර තුළ සිය දෛනික කටයුතු කරගෙන යාමට සිදු වන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. දිගු කලක් බලාපොරොත්තු තබා සිටි යහපත් අරමුණක් අත්‍යවශ්‍ය වැඩ කටයුත්තක් අවසන් මොහොතේ වෙනස් වී යාම නිසා සිතෙහි මානසික අසහනය ඇති කළත් ඒ කිසිවක් බාහිරව පෙන්නුම් නොකරමින් අන්‍යයන් අතරේ හැසිරීමට තරම් ඔබ සිත ශක්තිමත්ව තබාගනී. මනසින් පසුතැවිලි වන වසරකි. අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළත් ඒ කිසිවකුත් කෙරෙහි ඔබට පැහැදීමක් ඇති නොවේ. කළයුතු නිසා කරයි. 2026 ජුනිවලින් පසු කාලය සෑම දෙයක් කෙරෙන්ම සුබදායක බලාපොරොත්තුවක් ඔබ කෙරෙන් පිළිබිඹු වේ.

අධ්‍යාපනය

ගත වූ වසරට වඩා මෙම වසර තුළ ඉගෙනීම් කටයුතුවල උදාසීනභාවය ඇති වේ. පොතට පතට යොමු නොවේ. එනිසා එවැනි තත්ත්ව මඟ හැරගෙන උනන්දුවෙන් උද්‍යෝගයෙන් ඉගෙනීම් කටයුතුවල නිරත වන්න. දෙස් විදෙස් අධ්‍යාපන සැලසුමි ඉවත දමා තාවකාලික රැකියාවක් කෙරේ අවධානය යොමු කරයි. ඉගෙනීම එපාවන යම් යම් දෑ සිදුවන නිසාත්, ආත්ම විශ්වාසයෙන් යුතුව ඉගෙනීම් කටයුතුවල නිරත වන්න. ධාරණ ශක්තීන් දුබල වීම ලෞකික සැපයන්ට සිත් ඇදී යාම නිසාත් ඉගෙනීම් අඩාළ වේ.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

ඔබට මෙම වසර තුළදී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, වියදම් පසද ඒ අයුරින්ම ගෙන දේ. එම නිසා අනවශ්‍ය වියදම් ඇතිවන වැඩවල නිරත නොවන්න. නැතහොත් හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගනුදෙනුවලද පැටලීමට වුවත් සිදු වේ. ගනුදෙනුවලදී හා මුදල් පරිහරණයේදි වඩාත් කල්පනාකාරී විය යුතු වසරකි. ඔබ මෙම වසරේදී ණය ගැනීම් සිට්ටු දැමීම්, ඇපවීම් නොකළ යුතුය. එවායින් ප්‍රශ්න ඇතිකෙරේ. තමා සතු දෑ විකුණා දමා ආර්ථික දුෂ්කරතාවන් මඟහැර ගැනීමටත් සිදුවේ. එසේම මුදල් පරිහරණයේදි වසර පුරාවටම ඔබ සකසුරුවම් වන්න.
ඔබගේ රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් සුබ අසුබ මිශ්‍ර බවක් ඇති කරයි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාර කටයුතුවලටද විවිධ බාධාවන් මතුවන නිසා මේවාට අදාළ වැඩ කටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කරන විට දෙවරක් තෙවරක් සිතා කටයුතු කරන්න. රැකියා ස්ථාන මාරුවීම්, තනතුරු නිලතල වෙනස්වීම් වැනි දෑ සිදුවේ.
ප්‍රශ්න අවම කරගෙන කටයුතු කිරීමට උනන්දු වන්න. හවුල් ව්‍යාපාරවල අවුල් ඇති නොවන ලෙසට එකඟතාවෙන් කටයුතු කරන්න. ස්වයං රැකියාවන්හි නියැළෙන්නන් දේපළ වෙ‍ෙළදාම් කරන්නන්, බ්‍රෝ්කර් කටයුතු කරන අය වඩාත් ප්‍රවේශම් විය යුතු වසරකි. කලාත්මක සෞන්දර්යාත්මක නිර්මාණාත්මක අංශයන් හි නිරත වූවන්ට යහපත්ය. දේශපාලන පරිපාලන ක්ෂේත්‍රවල නිරත වූවන්ට විවිධ ප්‍රශ්න ගැටලු මතුෙව්. රවි , ගුරු – රාහු කේතූ දශා ගෙවන්නන්ට අපල පීඩා බහුල වන වසරක් ද වන්නේය.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

විවාහය කෙරේ බලපාන ග්‍රහ බලයද සුබදායි නොවන හෙයින් පොදුවේ ආදර දිවියේ හා විවාහ දිවියේ අරමුණු සැලසුම් ඉෂ්ට සිද්ධ වීම ප්‍රමාද කරයි. කෙසේ වෙතත් හැඟීම්වලට වහල් වී ක්‍රියා නොකළ යුතු වසරකි. ගෘහ ජීවිතයේ පවතින බැඳීම් එතරම් ශක්තිමත් නොවුණද ප්‍රේම සබඳතා, අනියම් සබඳතාවලට බලවත් ලෙස සිත් ඇදීයයි. දුරදිග නොබලා තම සතුට සැනසුම පමණක් සිතා ක්‍රියා කරන්නට යෑම නිසාත් ගෙදර දොර යුග දිවියේ ප්‍රශ්න හටගනී. ඒවා කෙරේ ඥානාන්විත වන්න. 2026 ජුනි තෙක් ප්‍රේම දිවියේ හා යුග දිවියේ පැවැත්ම කෙරේ වගකීමෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යය

සුළුවෙන් පැවති අසනිප ගති වර්ධනය වන වසරකි. හදිසි පීඩා, අනතුරු අාබාධ, වැටීම්, තැළීම් වැනි දේවලින් ද ආරක්‍ෂා වන්න. නිබඳව කුමන හෝ අසනීපයක් මඟින් ශරීර සනීපය දුර්වල කරන වසරක් ද වන හෙයින් ශරීර සෞඛ්‍යය ගැන වැඩිපුර සිත යොමන්න. විශේෂයෙන් පපුවේ වියළි කැස්ස, හතිය වැනි රෝග පවතින අය ඒවා කෙරෙහි වඩාත් සිත යොමන්න.

සුබ දවස් :- ඉරිදා – අඟහරුවාදා -බ්‍රහස්පතින්දා
සුබ අංක :- 1-2-4-5-7
සුබ වර්ණ :- රතු සහ දීප්තිමත් කහ
සුබ මැණික් :- රතු කොරල් හා පුෂ්පරාග
අය :- 14 වැය :- 02

*****************************************************************************

ධනු
අලුුත් දේ ඉගෙනීමට ලැබේ

පොදු තත්ත්වය
ධනු ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලයද ලබන්නා වූ නව වසරේ මුල් මාස 6 තුළ අසුබ සුබ මිශ්‍ර අයුරින් බලපවත්වන නිසා එතෙක් කාලය ඔබට ගතවන්නේ සුබ අසුබ මිශ්‍ර අයුරිනි. මැයි මාසය තෙක් ඔබේ වැඩ කටයුතුවලට යම් යම් අයගේ සහයෝගය, උදවු උපකාර ලැබේ. 2026 මුල් මාස 5 තුළ විදෙස්ගතවීමේ බලාපොරොත්තු සාර්ථක වන අතර ඊට බලපෑ බාධක අවහිර පහව යයි. පසුගිය වසරට වඩා බොහෝ දෙනා සමඟ සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟේ. අන්‍යයන් තමන්ට ගරුකරන ස්වභාවයක් මෙම වර්ෂය පුරාවට ඔබට අත් විඳිය හැකියි. විශේෂයෙන් කිවයුතු වන්නේ ඔබට පැහැදිලි සුබ පලයන් ගෙනදීම සිදුවන්නේ මෙම වසරේ ජනවාරි හා ජුනි අතර කාලපරිච්ඡේදයේදීය.

අධ්‍යාපනය

අධ්‍යාපනික කටයුතු කෙරෙන් බලපෑ අවහිර බාධාවන් ජුනිවලට පෙර ක්‍රමයෙන් පහව යයි. මෙම කාලයේදී තරග විභාගවලට ඉදිරිපත් වන්නේ නම් බලාපොරොත්තු ඉටුවීම සිදුවේ. එතැන් සිට නව විෂයන් ප්‍රගුණ කිරීමටත්, උසස් අධ්‍යාපනයට සම්බන්ධ වීමටත් පසුබිම සැකසේ. විදෙස් අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධ වීමේ අදහස් තිර වශයෙන්ම 2026 ජූලි සිට සාර්ථක වේ.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

මෙම වසරේදී ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම් යෙදේ. 2026 ජුනි තෙක් ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. එසේම එහිදී ඔබ බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. පොදුවේ වසර පුරාවටම ගනුදෙනුවලදී හා මුදල් පරිහරණයේදී කල්පනාකාරි වන්න. විටෙක ශරීර සනීපය රැක ගැනීමටත් අමතර මිල මුදල් වියදමි කරන්නට සිදුවේ. උරුම හිමිකම් කෙරෙන් ප්‍රශ්න ඇති කර ගැනීමට නොයන්න. ඊට අදාළ දේවල් නීතිය මඟින් බේරුම් කර ගැනීමට මෙම වසරේදී ඔබ නොයා යුතුය. ඉන් අවාසි සහිතයි.
ඔබේ රැකීරක්‍ෂා රාජකාරියට පීඩාකාරී තත්ත්වයක් මෙම වසර තුළ ඇති නොවුණත් ආයතනය තුළ අනවශ්‍ය අය සමඟ කටයුතු නොකිරීමට සැලකිලිමත් වන්න. තමාගේ හැකියාවට දක්‍ෂතාවට මැනවින් තැන ලැබේ. උසස් අයගේ සහයෝගයෙන් තනතුරු ලාභයන්ට මඟ පෑදේ. රාජකාරී හා ව්‍යාපාරික දැනුම වැඩි දියුණු වන වසරකි.
රාජකාරිය කෙරෙන් දක්‍ෂතා පෙන්විය හැකියි. තරගකාරී ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවන වසරක් වන අතර රැකියාවට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නියුතු වීමටත් ඉක්මනින් මුදල් ඉපැයීමටත් හැකි ක්‍රම පිළිබඳ අධ්‍යයන කරමින් ඔබ ඒ අනුව කටයුතු කරන වසරක් ද වනු ඇත.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

මෙම නව වසරේ මුල් මාස 5ට වඩා අනෙක් මාසවලදී විවාහ ප්‍රේම දිවියේ කටයුතු කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැඟේ. විශේෂයෙන් මෙහිදී ඔබට නුසුදුසු හා නොගැළපෙන සබඳතා ගොඩනැඟීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක කටයුතු උපදවන දෑ සිදු නොවන ලෙස අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. එහෙත් ජුනිවලින් පසු දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් හොඳ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමත් නිසා පවුලේ වැඩි දියුණුවක් සැලසේ. බිඳ වැටුණු ප්‍රේම සබඳතාවන්ද නැවත සැකසේ. විවාහ පමා වූවන්ට සාර්ථක මංගල යෝජනා ජුනි තෙක් ගෙන දේ.

සෞඛ්‍යය

ශරීර සනීපයද විටින් විට දුර්වල කරයි. නින්ද නොයෑමේ දුර්වලතාවයන් ද විටින් විට මතු කරයි. බාහුවල රෝග, උදර රෝග වැඩි වශයෙන් හටගන්නා අතර අර්ශස් ආබාධ හෝ එවැනි ගුද මාර්ග ආබාධ සෑදෙන්නට ඉඩ තිබේ.

සුබ දවස් :- ඉරිදා – අඟහරුවාදා -බදාදා
සුබ අංක :- 3-5-6-8
සුබ වර්ණ :- තැඹිලි පාට සහ දීප්තිමත් සුදු
සුබ මැණික් :- පච්ච හා පුෂ්පරාග
අය :- 11 වැය :-08

*****************************************************************************

මකර
සැලකිය යුතු පිරිස් ඇසුරක්

පොදු තත්ත්වය
උදාවන නව වසර ඔබට සුබ පල ගෙනදෙන අතර තමන්ගේ පරිපාලන නායකත්වය යටතේ පවතින හැම දෙයකම ප්‍රතිසංස්කරණයක් වැඩිදියුණුවක් ඇතිවෙයි. සමාජ සම්බන්ධකම්, සැලකිය යුතු පිරිස් ඇසුරකට අවස්ථාව සැලසේ. එසේම ඔබ නිර්භීත එඩිතර නොපසුබස්නා ගතියෙන් යුතුව ක්‍රියාකරන වර්ෂයකි. විශේෂයෙන් ඔබ මෙම වසර තුළ බොහෝ අයගේ ප්‍රසාදයටත් පත්වන්නේය. 2026 ජූනි යෙදෙන ගුරු ග්‍රහයාගේ මාරුව ඔබට අපල ඇති නොකෙරේ. 2026 වසර තුළ සඳු මහ දශාව ගුරු කුජ මහ දශාවන් ගත කරන්නේ නමි සුබ පල වඩාත් පැහැදිලි ලෙස ගෙන දෙන්නේය. ඔවුනට මෙම වර්ෂය බෙහෙවින් සුබ පලදායි වේ. විශේෂයෙන් කිවයුතු වන්නේ වසර පුරාවටම ඔබ වචන පාවිච්චියේදීත් අදහස් හුවමාරුවේදීත් අන්‍යයන්ගේ උදහසට ලක් නොවන පරිදි හැසිරෙන්න. කටයුතු කරන්න.

අධ්‍යාපනය

ඔබගේ අධ්‍යාපනික කටයුතුවලට නව වසර බෙහෙවින් සුබ පලදායි වේ. අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට හැකියාවද ලැබේ. සිය අධ්‍යාපනික කටයුතුවලට අවශ්‍ය මූල්‍ය සම්පත් හා ද්‍රව්‍යමය සම්පත් අඩුවකින් තොරව ලැබෙන නිසා සිතේ සතුටින් සහනයෙන් ඉගෙනීම් කටයුතුවල නිරත වීමටත් හැකියාව ලැබෙනු ඇත.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

මෙම වසරේ අවසන් මාස හයේදී ඉපැයීම් කටයුතුවල ක්‍රමවත්භාවයක් ඇති කරයි. විටෙක වැඩි මහන්සියක් නැතිව යම් යම් මුදල් ලාභ හිමිවන අතර එය අතමිට වැඩිපුර මුදල් ගැවසෙන කාලයක් ද වේ. එසේම ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට ඔබ යම් යම් ක්‍රියාදාමයන්හි නිරතවන සැටියක් ද පෙන්නම් කරන වසරකි. ආයෝජනයකට අවශ්‍ය වූ මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගත හැකියි. ණය මුදලකින් නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. පොදුවේ ඔබට මෙම වසරේදී ආර්ථික වශයෙන් අගහිඟතා ඇති නොවේ.

මෙය ඔබේ රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාර අාදී කටයුතුවල කාර්යක්‍ෂමතාව සිදුවන වසරකි. පොදුවේ ඔබට මෙම වසර තුළ ස්වයං හා හවුල් ව්‍යාපාර කටයුතුවල දියුණුව ද ඇති වේ. නව ආයෝජනයන්ට ද කටයුතු පිළියෙල වන වසරක් බවට පත්වේ. ජීවනෝපාය මාර්ග හා බුද්ධි වර්ධනය සම්බන්ධිත අංශවල දියුණුවක් ඔබට හා පවුලේ අයටත් පැහැදිලිව දක්නට ලැබෙනු ඇත. දෙස් විදෙස් රැකියා අපේක්‍ෂා ඉටු වී සතුටින් දිවිය ගත කිරීමටත් අවස්ථාව සැලසේ. රැකියා තහනමකට ලක් වූ අයටත් ඒවා ඉවත් වී වැටුප් සමඟ නැවත රාජකාරියට කැඳවීම් ලැබේ. 2026 නොවැම්බර් මාසයේ දී විදෙස් රැකියා අපේක්‍ෂාවන්ට බල පෑ බාධාවන් ද ඉවත් වී ඊට අවස්ථාව සැලසේ.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මෙම වසරේ අවසන් මාස හය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ. අවිවාහක අයට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. මේවා කෙරෙන් බලපෑ ප්‍රශ්නකාරී ගති මඟහැරෙන වසරක් ද වේ. පොදුවේ වසරේ වැඩි මාස ගණනක් යුග දිවිය ඉතා සාමයෙන් හා සතුටින් ගත කිරීමට පසුබිම සැකසෙන්නේය.

සෞඛ්‍යය

ආහාර දිරවීමේ දුර්වලතාවන් උදරාබාධ විටින් විට ඇති කළත් වැඩි වශයෙන් නීරෝගිභාවයක් ගොඩනැඟෙන වසරකි. ඇසේ, හිසේ අසනීප මෙන්ම මුඛ රෝග ඇති අය ජනවාරි සිට මැයි අතර ඒ කෙරෙන් වඩාත් ආරක්‍ෂා වන්න.

සුබ දවස් :- අඟහරුවාදා -බදාදා-සිකුරාදා
සුබ අංක :- 6-8-9
සුබ වර්ණ :- කහ සහ නිල්
සුබ මැණික් :- නිල් හා පුෂ්පරාග
අය :- 05 වැය :-11

*****************************************************************************

කුම්භ
හික්මීමෙන් වැඩ කළ යුතු වසරක්

පොදු තත්ත්වය

කුම්භ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක ග්‍රහයින් මෙම නව වසර තුළ සුබ අසුබ මිශ්‍රව හැසිරීම මුල්කොට ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු හා වැඩ කොටස්වලට ද සුබ අසුබ මිශ්‍ර බවක් ගෙන දෙන්නේය. ඒ නිසා ඔබ නව වසර පුරාවටම මෙන් සෑම දෙයක්ම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කිරීම වඩාත් යෙහෙකි. කාලයට ඉඩ දී කටයුතු කළ යුතූ වසරකි. ඔබ සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කරගැනීමට කැපවන්න. අනාගත යහපත උදෙසා කිසියම් සුබපලදායී බවක් ගොඩනැඟුණත් අත්තනෝමතික හිතුවක්කාර ක්‍රියා නිසා විවිධ පාඩු සිදු වීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන්, විමසිල්ලෙන් ක්‍රියා කරන්න. නොසොයා නොබලා කටයුතු කරන්නට යෑමෙන් පසුතැවීමට ලක් වන දෑ වුවත් යම් යම් වැදගත් තීන්දු තීරණ ගැනීමේදි වඩාත් සැලකිලිමත් වන්න. ආවේග පාලනය කරගන්න. මෙය ඇසුරට ලැබෙන අයගෙන් පරිස්සම් වියයුතු වසරකි.

අධ්‍යාපනය

විශේෂයෙන් ඔබට මෙම වසරේ මුල් මාස හය තුළ පැහැදිලි මනසින් ඉගෙනීම් කටයුතුවල නිරත වීමට හැකි වේ. පොතපතෙහි කටයුතු ක්‍රමවත්භාවයට පත් වේ. ඉගෙනීම් කටයුතුවලට බාධා ඇති නොවේ. අවසන් මාස හය සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදු වන්නේ විවිධ අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. එමෙන්ම උනන්දුව අඩු වී උදාසීන බවක් ද මතුවේ. ඒවා නිසිපරිදි සකසාගෙන අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දී අවසන් මාස හය කටයුතු කරන්න.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

පොදුවේ බලන කළ ඔබට මෙම වසරේදී යම් යම් මූල්‍ය ලාභයන් ගෙන දුන්නත්, විකිණීම්, මිලයට ගැනීම්වලින් ලාභ ප්‍රයෝජන සැලසුවත් හදිසි තීරණ ක්‍රියාවට නැංවීම හේතුවෙන් මුදල් අවහිරතා මතු වේ. රැකියා හෝ ව්‍යාපාරික ස්ථානයන්ට අදාළ ස්ථාන වෙනස්වීම්වලට ඉඩ ඇත. එනමුදු ඔබ මෙම වසර තුළදී ආර්ථික හා රැකියා ව්‍යාපාරාදියේ ප්‍රගතිය උදෙසා සිත, කය දෙකම එක සේ වෙහෙසා ක්‍රියා කරන්න. ස්වයං හා හවුල් ව්‍යාපාරික වශයෙන් අලුුත් යමක් ක්‍රියාත්මක කිරීමේ බලවත් ආශාවක් මතුවෙයි. හිඟ මුදල් ලාභයක් ද අතට ලැබේ. ඒත් සමඟම පැවති ඇතැම් ව්‍යාපාරික ගැටලු නිරාකරණය වීමක් ද සිදුවෙයි.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

ප්‍රේම සබඳතා, විරුද්ධ ලිංගික ඇසුර මැනවින් ගොඩනැඟෙන වසරක් වුවත්, ඔබ නොසොයා නොබලා හදිසි තීන්දු තීරණ ගෙන ක්‍රියා කරන්නට යෑමෙන් මෙම කටයුතුවලදි අනවශ්‍ය මෙන්ම අනපේක්‍ෂිත ප්‍රශ්නයන්ට ලක්වීමට ඉඩ ඇත. විශේෂයෙන් ඔබ හැඟීම් පාලනය කර ගනිමින් හැසිරිය යුතුයි. යෝජනාවක් හෝ හදිසි හමුවීමක් හේතුකොට ගෙන විවාහ ගිවිසුමකට වුවත් සම්බන්ධවීමේ ඉඩ ප්‍රස්ථාව පවතී. ගත වූ වසරට සාපේක්‍ෂව ප්‍රේම දිවිය හා යුග දිවිය සාමාන්‍ය මට්ටමෙන් තෘප්තිමත්භාවයට පත් නොවේ. එනිසා ඔබ මෙම වසර පුරාවටම යුග දිවියේත්, ප්‍රේම දිවියේත් වගකීම් යුතුකම් තේරුම්ගෙන වගකීම්සහගතව කටයුතු කරන්න.

සෞඛ්‍යය

උදරාබාධ සහ හිස, පපුව, උගුර, පෙණහැල්ල ආශ්‍රිත සෙම් අසාදන පහසුවෙන් ඇති කරන වසරකි. හිසෙහි කරකැවිල්ල, ක්ලාන්තය වැනි රෝගාබාධ නිතර නිතර පවතින අතර නිසි පරිදි වෛද්‍ය උපදෙස් ගන්න. මා – පුවපල් – උත්‍රපල් හා දෙනට – සියාවස – පුවපුටුප වැනි නැකතකින් උපන් කුම්භ ලග්න හිමියන් මෙවැනි රෝග කෙරෙන් හා හදිසි කේන්ති ආවේගයන්ට නොපැමිණෙන්න. මනස සන්සුන් වන සිත සැහැල්ලු වන අයුරින් ක්‍රියාකරන්න.

සුබ දවස් :- ඉරිදා – සිකුරාදා – සෙනසුරාදා
සුබ අංක :-1-4-6-8
සුබ වර්ණ :- රතු සහ දීප්තිමත් නිල
සුබ මැණික් :- පව්ච හා කාකනිල
අය :- 05 වැය :-11

*****************************************************************************

මීන
දේපළ ගනුදෙනුවක් විසඳේ පොදු තත්ත්වය
මීන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතින් සුභදායක අයුරින් සිටින මොහොතේ උදාවන මෙම වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. එසේම මෙය ඔබට උසස් පුද්ගලයන්ගෙන් ගරු සරු වැඩි වශයෙන් හිමිවන වසරක් වන අතර කරන කියන කටයුතු සපල වන්නා වූ වසරක් ද වනු ඇත. නිර්මාණශීලි කටයුතු සැලසුම්සහගත වීම නිසා බොහෝ විට ඉතාමත් ක්‍රමානුකූල අන්දමට නිමා කරගත හැකි වන්නේය. නව වසරේ මැයි මාසය තෙක් විවිධ බාධක, ගැටුම් සිත්පීඩා මධ්‍යයේ දෛනික වැඩකටයුතු කරගෙන යාමට සිදුවන බවත් සිතට ගෙන කටයුතු කරන්න. මා- පුවපල් – උත්‍රපල් හා දෙනට – සියාවස – පුවපුටුප වැනි නැකතකින් උපන් මීන ලග්න හිමියන් හදිසි පීඩා, අනතුරු ආබාධ මෙන්ම නීතිමය ගැටලු ආදියට ලක් නොවන පරිදි වැඩකරන්න.

අධ්‍යාපනය

ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක් ගොඩනැඟෙනු ඇත. වෘත්තිය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවන අතර උසස් අධ්‍යාපන කාර්යයකට ද සිත යොමු වේ. විශේෂයෙන් මෙය ඔබට අධ්‍යාපනික විශේෂ ජයග්‍රහණ ගෙන දෙන වසරකි. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව හිමිවීමටත් බලය ඇත. අලුත් හා ගැඹුරු විෂයන්ට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය ම්ල මුදල් ලැබෙනු ඇත.

ආර්ථික හා රැකියා, ව්‍යාපාර

පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමට ද ඉඩ ප්‍රස්ථා සැලසේ. මෙය පොදුවේ ඔබට නිශ්චල චංචල දේපළ ලාබයන් ද ගොඩනඟාගත හැකි වසරකි. තනතුරු නිලතල ආදී අපේක්ෂා බාධාවකින් තොරව ඉටුවනු ඇත. විශේෂයෙන් තරග විභාග, සම්මුඛ පරීක්ෂණාදියටත් කැඳවීම් ලිපි ලැබේ. කුමන අයුරින් හෝ විරැකියාවට පිළියමක් ලබාගත හැකියි. ව්‍යාපාරික හා රාජකාරි ස්ථානයන්ට අදාළව බලපෑ අසහනදායි වටපිටාව පහව යයි. ඔබට වෙ‍ෙළඳ ව්‍යාපාරික අත්දැකීම් හා පළපුරුද්ද ඇති උපදේශකයකුගෙන් ප්‍රයෝජනවත් වැඩ කොටසක් තම ව්‍යාපාරයට ලබා ගැනීමට හැකි වන්නේය. අපේක්‍ෂිත දෙස් විදෙස් රැකියාවක් සඳහා මූලික දෑ සිදුවේ. ඒ සඳහාත් පසුබිම සැකසේ.

ආදර සබඳතා සහ ගෘහ දිවිය

ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තමා ඇසුරු කරන පෙම්වතා/ පෙම්වතිය සමඟ ප්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇති වේ. එසේම මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි. එසේ වුවත් රාහු- කේතුගේ හා ශනිගේ මහදශා අතුරු දශා ගතකරන අය මෙම වසරේ මුල් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් මෙන්ම හවුල් ව්‍යාපාර කෙරෙන්ද ඇති කරන යම් යම් ප්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත්වන්න. නැතහොත් ඒවාට අධිකරණ පිහිට පැතීමටත් සිදු වේ.

සෞඛ්‍යය

උදරාබාධ සහ හිස පපුව, පෙණහැල්ල ආශ්‍රිත සෙම් අාසාදන පහසුවෙන් ඇති කරන වසරකි. හිසේ රෝග බහුලයි. මුල් මාස පහ තුළ නින්ද නොයෑමද ඇතිවන නිසා අනවශ්‍ය බර හිසමත තබා කටයුතු නොකරන්න. රුධිර පීඩනය ඇති අය නිසි පරිදි ඖෂධ මාත්‍රාව ගන්න. වරින් වර අලුත් අසනීප මතුවූවොත් ඒ කෙරෙහි අවධානය යොමුකරන්න.

සුබ දවස් :-අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා
සුබ අංක :-2-3-9
සුබ වර්ණ :- රතු – දීප්තිමත් සුදු සහ කහපාට
සුබ මැණික් :- වෛරෝඩි හා පුෂ්පරාග
අය :- 11 වැය :-08

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?