ක්‍රොෂේ කලාවේ නිශ්චිත ආරම්භය පිළිබඳ විවිධ මත තිබේ. සමහර ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ එය 16 වැනි සියවසේ අයර්ලන්තයේ ඇති වූ Needle-Weaving නම් වූ ක්‍රමයකින් බිඳී ආ බවයි. තවත් සමහරුන් කියා සිටින්නේ මෙම තාක්ෂණය ඊටත් පෙර තුර්කිය, ඉන්දියාව සහ දකුණු අමෙරිකාවේ ආදිවාසීන් අතර පැවති බවයි. කෙසේ වෙතත්, ක්‍රොෂේ කලාව ප්‍රබල ලෙස ජනප්‍රිය වීමට පටන් ගත්තේ 19 වැනි සියවසේ යුරෝපයේ දීය.
විශේෂයෙන්ම, 1845 පමණ වන විට අයර්ලන්තයේ ඇති වූ මහා සාගතය සමයේ, දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාවට මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස ක්‍රොෂේ කලාව යොදා ගන්නා ලදී. එම කාලයේදී යුරෝපයේ ඉහළ පෙළන්තිය අතර අයර්ලන්ත ක්‍රොෂේ ලේස් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. මෙම සියුම්, අතිශයින් සංකීර්ණ රටා සහිත ලේස් නිර්මාණය ඇත්ත වශයෙන්ම මිල අධික ඉදිකටු ලේස්වලට ලාභදායී ආදේශකයක් විය.
20 වැනි සියවස වන විට, ක්‍රොෂේ කලාව සාමාන්‍ය විලාසිතාවලට ද ඇතුළත් විය. 1960 සහ 1970 දශකවලදී, හිපි සංස්කෘතියේ නැඟීමත් සමඟ දීප්තිමත් වර්ණ, සංකීර්ණ රටා සහිත ග්‍රැනී ස්කොයාර් නිර්මාණ ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණියේය. මේ අනුව, ක්‍රොෂේ එහි ආරම්භයේ වූ අත්‍යවශ්‍ය කර්මාන්ත ශිල්පයක සිට, පසුව විලාසිතා ප්‍රකාශන මාධ්‍යයක් දක්වා විකාශනය විය.
ක්‍රොෂේ කලාවේ ඇති වඩාත්ම ආකර්ෂණීය ලක්ෂණය වන්නේ එහි නිර්මාණ නිදහසයි. අවශ්‍ය පරිදි රටා වෙනස් කිරීමට සහ ඕනෑම හැඩයකට පහසුවෙන් හැසිරවීමට ඇති හැකියාව නිසා, සරල දේවල්වල සිට සංකීර්ණ කලා කෘති දක්වා ඕනෑම දෙයක් නිර්මාණය කළ හැකිය.
ශීත ඍතුවට අවශ්‍ය ස්වීටර්, ස්කාෆ්, තොප්පි, සහ ගිම්හානයට අවශ්‍ය ටොප්ස්, බිකිනි සහ බෑග් නිර්මාණය කළ හැකිය. තවද මේස රෙදි, කුෂන් කවර, බ්ලැන්කට්, පාපිසි සහ මල් පෝච්චි සඳහා කවර නිර්මාණය කළ හැකිය. මෙය ක්‍රොෂේ මඟින් සෙල්ලම් බඩු සහ කුඩා රූප නිර්මාණය කිරීමේ හැකියාව පවතී. වලසුන්, බල්ලන්, කාටූන් චරිත වැනි ඕනෑම දෙයක් මෙම ක්‍රමය යටතේ නිර්මාණය කළ හැකිය.
මීට අමතරව, ක්‍රොෂේ තාක්ෂණය භාවිතයෙන් ස්වර්ණාභරණ, පොත් සලකුණු සහ යතුරු දම්වැල් වැනි කුඩා උපාංග පවා නිර්මාණය කිරීමට හැකියාව ඇත. ක්‍රොෂේ වර්තමානයේ විශාල වශයෙන් ජනප්‍රිය වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එය මානසික සුවය සඳහා දක්වන දායකත්වයයි. වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු වී ඇති පරිදි, නැවත නැවත සිදුවන ගෙතීමේ චලනයන් සහ නූල් ගැටගැසීමේ රිද්මයානුකූල බව, ආතතිය සහ කාංසාව අඩු කිරීමට ප්‍රබල ලෙස උපකාරී වේ.
මෙම ක්‍රියාවලිය මනස වෙනත් කරදරවලින් මුදා, නිර්මාණය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට ඉඩ දෙයි. එය එක්තරා ආකාරයක සිහිය පුහුණු කිරීමක් ලෙස ක්‍රියා කරයි. තවද, කිසියම් අරමුණක් සහිතව කාර්යයක නිරත වී, අවසානයේ දී තමන්ගේම දෑතින් අලංකාර නිර්මාණයක් බිහි කිරීමෙන් ලැබෙන තෘප්තිය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට ඇති හැකියාව ද අතිමහත්ය. ස්නායු විද්‍යාඥයන් පවසන්නේ, ක්‍රොෂේ කිරීමේදී දෑත් සහ ඇස් සම්බන්ධීකරණය වන බැවින්, එය මොළය උත්තේජනය කිරීමටත්, සමහරවිට ඩිමෙන්ෂියාව වැනි රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී විය හැකි බවයි.
ක්‍රොෂේ කලාව, වර්තමානයේ තාක්ෂණයෙන් පිරුණු ලෝකයක, ‘මන්දගාමී ජීවිතයක්’ සහ අත්කම් දේවල්වල වටිනාකම නැවත අපට සිහිපත් කර දෙයි. එය නූල්, වර්ණ සහ හැඩතල ඔස්සේ අපේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන අතර, අපේම දෑතින් වටිනා දෙයක් නිර්මාණය කිරීමේ සතුට ලබා දෙයි. සරල ගැට කිහිපයක් ඉගෙනීමෙන් පවා ඕනෑම කෙනකුට මෙම සුන්දර කලාව ආරම්භ කළ හැකි අතර, එයින් ලැබෙන සුවදායක අත්දැකීම සහ අලංකාර නිර්මාණ ජීවිතයට වටිනාකමක් එක් කරනු නොඅනුමානය.
පෆ් ස්ට්‍රිච් බෑගයක් ගොතමු
ක්රෝෂේ යනු බෑග් සඳහා ඉතා ජනප්‍රිය සහ අලංකාර රටාවකි. එය බෑගයට හොඳ ඝනකමක් සහ රළු ගතියක් ලබා දෙයි.
බෑගය සෑදීම සඳහා මූලික පියවර සහ උපදෙස්
අවශ්‍ය ද්‍රව්‍ය
නූල් (Yarn): ඝනකම මධ්‍යස්ථ හෝ ටී-ෂර්ට් නූල් (T-shirt yarn) හොඳයි.
ක්රෝෂේ හුක් (Hook): ඔබ තෝරාගත් නූලට ගැළපෙන ප්‍රමාණය (සාමාන්‍යයෙන් 4mm සිට 6mm දක්වා)
කතුර සහ නූල් ඉදිකටුව (Yarn Needle)
මූලික මැහුම්
1. දම්වැල් මැහුම (Chain – Ch)
2. ස්ලිප් ගැටය (Slip Knot)
3. ස්ලිප් මැහුම (Slip Stitch – Sl St)
4. තනි ක්රෝෂේ (Single Crochet – SC) – බෑගයේ පතුල සඳහා
5. පෆ් මැහුම (Puff Stitch – PS)
1. බෑගයේ පතුල ගෙතීම
බෑගයේ පතුල සාමාන්‍යයෙන් SC මැහුම් භාවිතයෙන් ඕවලාකාර හැඩයට ගොතනු ලැබේ. තවද බෑගයේ පතුල සඳහා ලීවලින් සකසා ගත් ලී පතුරක් භාවිත කරනු ලබයි.
1 පියවර: ස්ලිප් ගැටය දමා, ඔබට අවශ්‍ය බෑගයේ දිග අනුව දම්වැල් 15 – 25 ක් පමණ ගොතන්න.
2 පියවර: දම්වැල්වල දෙවැනි මැහුමේ සිට පටන් ගෙන, පේළියේ අවසානය දක්වා SC මැහුම් ගොතන්න.
3 පියවර (වටය හැරවීම): අවසාන දම්වැලේ, එකම ස්ථානයේ තවත් SC මැහුම් 3ක් ගොතන්න. මෙය වටය හැරවීමට උපකාරී වේ.
4 පියවර: දැන් ඔබ ගෙතූ දම්වැල්වල අනෙක් පැත්තේ, සෑම SC එකකටම විරුද්ධව SC ගොතමින් නැවතත් ආරම්භක ස්ථානයට එන්න.
5 පියවර: (වටය සම්පූර්ණ කිරීම): අනෙක් කෙළවරේ, ඔබ ආරම්භ කළ ස්ථානයේ තවත් SC මැහුම් 2ක් ගොතා, පළමු SC එකට Sl St එකකින් සම්බන්ධ කරන්න.
6 පියවර: අවශ්‍ය ඝනකම සහ ප්‍රමාණය ලැබෙන තෙක් SC මැහුම් යොදා ගනිමින් වැඩි කිරීම් කරමින් වට 2-4ක් ගොතන්න. මෙය ඕවලාකාර හැඩය ලබා දෙනු ඇත.
2. පෆ් මැහුම ගොතන ආකාරය
බෑග ගෙතීමට පෙර Puff Stitch මැහුම ඉගෙන ගත යුතුය. මෙය එක් එක් මැහුම ඊළඟ වටයේ මැදට ගොතන ආකාරයකි.
Puff Stitch (PS) එකක්
ගොතන ආකාරය:
1. හුක් එකට නූල් දවටන්න.
2. ගොතන ස්ථානයේ ඇති හිඩැස/මැහුම තුළට හුක් එක දමා නූල අදින්න. (දැන් හුක් එකේ ලූප්ස් 3ක් ඇත).
3. නැවතත් යාන් ඕවර් (නූල ගෙතුම් කටුවේ කරකවා ගන්න)කර, එම හිඩැස තුළටම හුක් එක දමා නූල අදින්න. (දැන් හුක් එකේ ලූප්ස් 5ක් ඇත).
4.(අවශ්‍ය නම්, නැවතත් යාන් ඕවර් කර, හිඩැස තුළට දමා නූල අදින්න. – ලූප්ස් 7ක් ඇත).
5.අවසානයේ යාන් ඕවර් කර, හුක් එකේ ඇති සියලුම ලූප්ස් හරහා නූල අදින්න.
6.මැහුම අගුළු දැමීමට Ch 1ක් ගොතන්න.
3. බෑගය ගෙතීම
ඔබේ පතුල ගොතා අවසන් වූ පසු, Puff Stitch රටාව ආරම්භ කරන්න.
1 වටය (Setup Round): පතුලේ අවසන් වටය SC මැහුම්වලින් අවසන් කළ පසු, දැන් ඔබ ගොතන්නේ පළමු Puff Stitch වටයයි.
2 වටය: Ch 2ක් ගොතා, පළමු Puff Stitch එක ගොතන්න. ඉන්පසු ඊළඟ මැහුම මඟ හරින්න.
3 වටය: මඟ හැරිය මැහුමෙන් පසු ඇති ඊළඟ මැහුම මත දෙවැනි Puff Stitch එක ගොතන්න.
4 වටය: “ඊළඟ මැහුම මඟ හරින්න, ඊළඟ මැහුම මත Puff Stitch එක ගොතන්න” යන රටාව වටය පුරාම දිගටම කරගෙන යන්න.
5 වටය (ඊළඟ වට): දෙවැනි වටයේදී, ඔබ Puff Stitch එක ගොතන්නේ පෙර වටයේ Puff Stitch දෙක අතර ඇති හිඩැසටය. මේ රටාව එකිනෙක මාරුවෙන් මාරුවට පවතින අයුරින් අලංකාර පෙනුමක් ලබා දෙයි. අවශ්‍ය උස ලැබෙන තුරු මෙම Puff Stitch වටයන් දිගටම ගොතන්න.
4. පටිය සහ නිම කිරීම
ඉහළ දාරය : Puff Stitch රටාවෙන් පසු, බෑගයේ ඉහළ දාරය SC මැහුම් වට 1-2ක් ගොතා පිළිවෙළට නිම කරන්න.
පටිය (The Strap):
ක්රෝෂේ පටිය: බෑගයේ අවශ්‍ය ස්ථානයේ Sl St එකකින් සම්බන්ධ කර, ඔබට අවශ්‍ය දිග අනුව (උදා: 70 – 100) දම්වැල් ගොතන්න. ඉන්පසු එම දම්වැල් හරහා නැවත SC/Sl St පේළි 1-2ක් ගොතා බෑගයේ අනෙක් පැත්තට සම්බන්ධ කරන්න.
වෙනත් පටියක්: ඔබට වෙනම මිලදී ගත් සම් පටියක් හෝ ලෝහ දම්වැලක් බෑගයට සම්බන්ධ කළ හැකිය.
නිම කිරීම: සියලුම නූල් අග, නූල් ඉදිකටුව භාවිතයෙන් ගෙතුම ඇතුළතට හොඳින් සඟවන්න.
මෙම සරල ක්‍රමය මඟින් ඔබට අලංකාර සහ ඝනකම් Puff Stitch බෑගයක් සාදා ගැනීමට පුළුවන්.
