පසුගිය දිනෙක සමාජ මාධ්‍යයේ සැරිසරද්දී දක්නට ලැබුණු සිදුවීමකින් මා හද සසල විය. ඒ වයස අවුරුද්දයි මාස හතරක් වයසැති කිරිසප්පයෙකු වතුර බේසමක මුහුණ සිරවී අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටීමය. එම නොදරුවාට ජීවිතය අහිමි වූවා නොව, අහිමි කළා යැයි මට සිතේ. මෙම බිලිඳාගේ මරණයට ඒ පවුලේ සමීපතමයින් සහමුලින්ම වගකිව යුතුය. අම්මා, තාත්තා ඇතුළු ඒ මොහොතේ නිෙවසේ සිටි සියලු වැඩිහිටියන් මේ මරණයට වගකිව යුතු අතර, එම වගකීමෙන් ඔවුන්ට බැහැර විය නොහැක.
වැඩිහිටියන්ගේ නොසැලකිල්ලෙන් මෙලෙස ළමා ජීවිත අහිමිවීම් වසරකට කොතෙක් නම් සිදුවේද? මාධ්‍ය මඟින් කොතෙක් දැනුවත් කළත්, මෙවැනි අකල් මරණ වළක්වා ගැනීම සඳහා කරන දැනුවත් කිරීම් ගඟට කපන ඉනි වැනිය. දරුවකු මෙලොවට බිහි වූ පසු, මහ කාලයක් යන්නට මත්තෙන් දරුවාගේ සියලු වගකීම් බර මවට දී ලිස්සා යන පියවරුන් අද සමාජයේ ඉතා බහුලවීමද මෙවැනි කිරිසප්පයන් අනාරක්ෂිත වීමට බෙහෙවින් බලපාන්නකි.
ආර්ථික ප්‍රශ්න, ස්වාභාවික විපත් වැනි දේ නිසා බොහෝ වැඩිහිටියන් හෙම්බත් වී සිටියත්, එවැනි මොහොතකදී මව-පියවරුන් වන ඔබ අතිශය සැලකිල්ලකින් ඔබේ දරුවා පිළිබඳ සොයා බැලිය යුතුය. කිරිසප්පයන් ඔබේ ඇස් මානයේම තබා ගත යුතුය. දරුවකු මෙලොවට බිහි වූ දා සිට වයස අවුරුදු පහක් පමණ වන තුරු මවුපිය වැඩිහිටි ඇල්ම බැල්ම නිරතුරුවම දරුවා වෙත යොමු විය යුතුමය. ‘අලියාටත් ළමයාටත් නිකම් ඉන්නට බැරිය’ යන කතාවේ සඳහන් වන පරිදි, ඔවුන් කරන කියන දේ ගැන ඔවුන්ට හැඟීමක් නැති නිසා, ඔවුන් රැකබලා ගැනීම මවුපිය වැඩිහිටි ඔබ හැමගේම පරම වගකීමකි.
ඔබේ මොහොතක නොසැලකිල්ල මුළු ජීවිත කාලයක්ම ඔබව හඬවන්නට ඉඩ ඇත. ලෙඩක් දුකක් සෑදී, ස්වාභාවික විපතකින් යම් කෙනකු අහිමි වුවහොත් ඒ වේදනාව අපට අමාරුවෙන් වුවද දරාගත හැකියි. එහෙත් මෙවැනි අවාසනාවන්ත ලෙස අහිමිවන ජීවිත ගැන අපට හිත හදා ගත හැකිද? ව්‍යංගයෙන් තමන් වැරදිකරුවකු වීම, ඒ ඛේදවාචකය තවත් බරපතළ කරනු ඇත. දරුවන් රැක ගැනීම මවුපියන් වන අප සතු පරම වගකීමයි.
