තද කුණාටු පැමිණේවි. හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තයි. රුසියන් සාහිත්‍යයේ ගුරු ගීතයේ අපට කියා දෙන්නාක් මෙන් සෑම කුණාටුවක්ම පසුපසින්ම වසන්ත කාලයක් පැමිණෙන බව සැබෑවකි. ශ්‍රී ලාංකිකයන් ලෙස එහි අත්දැකීම් අපට නැතිවා නොවේ. එහෙත් දිට්වා අපට කළේ එදා මෙදාතුර ඉතිහාසයේ රටක් ලෙස අප නුදුටු නොවිරූ ව්‍යසනයක් බවද කිව යුතුයි. මීට (වසර විසිඑකකට) පෙරාතුව සුනාමි ව්‍යසනය පවා අප රටක් ලෙස අත්වින්දේ නැත.
එහෙත් දිට්වාගේ බියකරු බව අප රටක් ලෙස සියලු දෙනාම අත්වින්දෙමු. අත් දුටුවෙමු. ඒ සුළි සුළඟ, මහා වරුසාව අපට නැවත රටක් ලෙස එකමුතු වන්නට නැවත ගොඩනැඟෙන්නට කියා දුන් විශිෂ්ට පාඩමකි. පළමුවෙන්ම මේ ව්‍යසනයෙන් අප හැර ගිය අපේම මිනිසුන්, සොහොයුරන්, දරුවන් වෙනුවෙන් අපගේ ශෝකය පළ කරමු. එහෙත් නැවතත් මෙවන් ව්‍යසනයක් ඇති වුවහොත් එබන්දකින් ජීවිත හානියක් නොවන ආකාරයෙන් රට සකස් කිරීමට අප උත්සුක විය යුතුය.
මේ වන විට ව්‍යසනයෙන් වැනසුණු රට ක්‍රමයෙන් ගොඩනැඟෙමින් පවතී. කැඩුණු බිඳුණු මංමාවත්, වාරිමාර්ග, නිවාස, ගොඩනැඟිලි ආදිය නැවතත් ගඩොලින් ගඩොල අලුත් වෙමින් ගොඩ නැඟෙන්නේ අපේම මිනිසුන්ගේ ශ්‍රම ශක්තියෙනි. ඒ සඳහා උතුරින් නැඟෙනහිරින් මෙන්ම දකුණින් අත්වැල් බැඳගෙන සිටින්නේ අපේම රටේ ජනතාවයි. වතුර බෝතලයකින්, බත් පැකට්ටුවකින්, භාවිත කළ හැකි සායම් නොසේදුණු අලුත් පෙනුමක් සහිත පරණ ඇඳුමකින්, රුපියල් දහයකින් හෝ මේ ව්‍යසනයෙන් නැඟී සිටින්නට දායක නොවූවෙක් අපේ රටේ නොසිටින්නේ යැයි අපි විශ්වාස නොකරමු. ඒ තරමටම මේ ව්‍යසනය, ජාති, ආගම්, පක්ෂ පාට බේදයකින් තොරව ඒකරාශී වීමේ පාඩම අපට උගන්වා තිබේ.
මේ අතර ව්‍යසනයෙන් නැඟී සිටින්නට මුදල් පරිත්‍යාග කළ හැකි Rebuilding Sri Lanka අරමුදලට ලොව නන් දෙසින් ආධාර ලබාදුන් සැමට ප්‍රණාමය හා කෘතගුණ දැක්වීම මෙම ලිපියෙහි අරමුණු වේ. පරිත්‍යාග වෙමින් තිබේ. ඒ අතර අපේ රටේ නම් දැරූ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ආධාර ලබා දුන් කිසිවෙක් අමතක කළ නොහැකිය. මෙහිදී ලක්බිම රයිස් මිල්ස් පුද්ගලික සමාගමේ අධිපතීත්වය දරන ඩඩ්ලි සිරිසේන මහතා රුපියල් මිලියන සියයක් මෙම අරමුදලට පරිත්‍යාග කළේය. මේ පරිත්‍යාගය ඔහු සිදු කළේ ඩඩ්ලි සිරිසේන සමාජ සත්කාර පදනම යටතේ මෙම ව්‍යසනයෙන් අවතැන් වූවන් වෙනුවෙන් දියත් කළ අරලිය සහන යාත්‍රා වැඩසටහනට අමතරව වීම ද විශේෂත්වයකි.
අරලිය සහන යාත්‍රා වැඩසටහන යටතේ ආපදාවෙන් විපතට පත් පොලොන්නරුවේ ජනතාවට අවශ්‍ය වියළි ආහාර, පිසූ ආහාර සහ පානීය ජලය නොඅඩුව ලබා දීමට කටයුතු කළ බව වාර්තා විය. ඒ අතර අල්මාස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, නේචර්බ් ගෲප් ඔෆ් කම්පැනීස් සමූහය, කලම්බු වෙස්ට් ටෙක්නොලජි සමූහය විසින්ද රුපියල් මිලියන සියය බැගින් මෙම අරමුදලට පරිත්‍යාග හිමි විය.
අපේ රටේ ප්‍රමුඛතම රෙදිපිළි වෙළෙඳ සන්නාමයන් වන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්, ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතන පිළිවෙළින් රුපියල් මිලියන 25 සහ මිලියන 20 බැගින් මුදල් පරිත්‍යාග සිදු කර තිබේ. නෝලිමිට් ආයතනය ද රුපියල් මිලියන 15ක මුදලක් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි. එසේම යාදෙන් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් ද ඇසරියෙල් මාකටින් පුද්ගලික සමාගම රුපියල් මිලියන 5ක් ද මෙම අරමුදලට බැර කර ඇත. ඊට අමතරව ලක්මිණී කැන්ඩි පුද්ගලික සමාගම රුපියල් මිලියන 25කින් දායකත්වය දක්වද්දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ද රුපියල් මිලියන 25කින් රජයේ ගිණුමට ආධාර එක් කළේය. සුපර් ෆීඩ් පුද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ භාරකාර මණ්ඩලය විසින් රුපියල් මිලියන 10ක්ද ක්ලැසික් ඉම්ප්‍රෙෂන්ස් පුද්ගලික සමාගම රුපියල් මිලියන 10ක් ද පරිත්‍යාග කර තිබේ.
එසේම ජපන් සමාගමක් වන අසුනාරේ අකි ඉදිකිරීම් සමාගම විසින් ජපන් යෙන් මිලියනයක ආධාරයක් ද පරිත්‍යාග කර ඇත. එදිරිසිංහ ඔඩිබල් ඔයිල් පුද්ගලික සමාගම රුපියල් මිලියන 2.5ක් පරිත්‍යාග කරද්දී සීබීඑල් සමූහය රුපියල් මිලියන 100ක ආධාරයක් ද ලබා දී තිබේ. ගිෆ්ට් ශ්‍රී ලංකා පදනම සහ අමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා බෞද්ධ විහාරයෙන් ද අමෙරිකන් ඩොලර් 16000ක මුදලක් මෙම ගිණුමට බැර කර ඇත. එපමණක් නොව අපේ රටේ ප්‍රමුඛතම දුරකතන ජාල සන්නාමයක් වන හච් දුරකතන සමාගම රුපියල් ලක්ෂ 600ක මුදලක් මේ සඳහා පරිත්‍යාග කළේය. බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය රුපියල් මිලියන 1.5ක මුදලක් ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය රුපියල් මිලියන 1.35ක දායකත්වයක් ද පසුගිය සතියේදී දක්වා තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය බණ්ඩාරනායක අනුස්මරණ පදනමෙන් රුපියල් කෝටි 25ක මුදලක් Rebuilding Sri Lanka අරමුදලට පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමද කැපී පෙනුණි.
මේ අතර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපති ඉන්ද්‍රා සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කර තිබේ. එපමණක් නොව ඔවුහු අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් වෙනුවෙන් ද රුපියල් මිලියන 900ක පරිත්‍යාගයක් සිදු කිරීම විශේෂත්වයකි. ඒ අනුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත පරිත්‍යාගය රුපියල් බිලියනයකි.
එසේම රේඛාස් ශ්‍රී ජුවලරි විසින් රුපියල් මිලියන 5ක් ද යුනියන් කෙමිකල්ස් විසින් රුපියල් මිලියනයක් ද හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක් ද සදර්න් කන්ට්‍රක්ෂන් විසින් රුපියල් මිලියනයක්ද පරිත්‍යාග කර ඇත. සෙනුර සිවිල් ඉංජිනේරු පුද්ගලික සමාගම සහ රැන්ක් කන්ටේනර් ටර්මිනල් පුද්ගලික සමාගම රුපියල් මිලියන 50ක් ද කොළඹ ජාත්‍යන්තර පර්යන්ත පුද්ගලික සමාගම රුපියල් මිලියන 100ක් ද පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් පුද්ගලික සමාගම රුපියල් මිලියන 10ක් ද පරිත්‍යාග කර තිබේ.
එපමණක් නොව මාගා ඉංජිනේරු පුද්ගලික සමාගම රුපියල් මිලියන 25ක් ද ශ්‍රී ලංකා මෙමන් සංගමය රුපියල් මිලියන 20ක් ද නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගම සහ සිටිහෙල්ත් ඉම්පෝට්ස් පුද්ගලික සමාගම රුපියල් මිලියන 10ක් ද ගිණුමට එක් කර තිබේ.
එසේම සිසිලි ප්‍රොජෙක්ට්ස් කන්සෝටර්ටියම් සමාගම රුපියල් මිලියන 2ක් වටිනා ළදරු සත්කාර සැපයුම් පරිත්‍යාග කර ඇත.
එසේම අවොන් ෆාමෝ චෙම් පුද්ගලික සමාගම රුපියල් මිලියන 2ක්ද සෙලින්කෝ හෝල්ඩින්ග්ස් රුපියල් මිලියන 30ක් ද අනුනින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 25ක් ද මැක්සන්ස් පේන්ට් ලංකා පුද්ගලික සමාගම රුපියල් මිලියන 15ක් ද සිරිලක් සී ෆුඩ් පුද්ගලික සමාගම රුපියල් මිලියන 5ක්ද නර්මධා ගෝල්ඩ් සෙන්ටර් රුපියල් මිලියන 2.5ක් ද අයි.ඩබ්ලිව්. ඩබ්ලිව් වානේ කර්මාන්ත සමාගම රුපියල් මිලියන 2.5ක්ද පරිත්‍යාග කළේ මීට සති දෙකකට පමණ පෙරාතුවය. ඊට අමතරව නැචුරබ් සමාගම රුපියල් මිලියන 100ක් ද ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් රුපියල් මිලියන 20ක්ද පරිත්‍යාග කර තිබේ.
ව්‍යාපාරිකයන්ගේ පැවැත්ම තහවුරු වන්නේ පාරිභෝගිකයන් සිය සන්නාම යටතේ අලෙවි වන ද්‍රව්‍ය මිලදී ගැනීම් නිසා බව සත්‍යයකි. ඒ නිසා ජනතාව ආපදාවට ලක් වෙද්දී ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ව්‍යාපාරිකයන්ගේ යුතුකමක් ලෙසද අයෙකුට තර්ක කළ හැකිය.
එහෙත් මේ අවස්ථාවේදී ආපදාවෙන් අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාගශීලි වන්නට හැම ව්‍යාපාරිකයකුටම සිත් පහළ වන්නේ නැත. එය මේ ව්‍යසනයේදීත් පොදු කාරණාවකි. මහා ව්‍යසනයක් හමුවේ ඉවත බලා නොසිට අත් හළ නොහැකි වගකීමක් ලෙස එහි බර කරට ගත් ව්‍යාපාරිකයෝ රැසක් මේ වන විට Rebuilding Sri Lanka අරමුදලට මුදල් පරිත්‍යාග කර තිබේ. ඔවුන් සිය සත්මහල් ප්‍රාසාදවලින් බැස ජනතාවට සහාය දැක්වීමට පෙරමුණ ගැනීම අගය කළ යුතුය. බුද්ධ කාලීන භාරතයේ අනේපිඬු, විශාඛා වන් සිටුවරුන් සිටුවරියන් රටවැසියන් අසරණ වූ කල සිය ධනය පරිත්‍යාග කළ අයුරු දැක්වෙන කතා අපට මෙහිදී සිහිපත් වෙයි.
කෙසේ නමුත් පරිත්‍යාගශීලිත්වය ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද සහජයෙන්ම උරුම දායාදයකි. එය අපේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මෙන්ම සුවහසක් ව්‍යාපාරික ප්‍රජාව මේ ව්‍යසනය හමුවේ මැනවින් ඔප්පු කරමින් පවතී.
මීට පෙර අප රටේ සිදු වූ ව්‍යසනයන්හිදී රජයේ ගිණුම්වලට මුදල් බැර කිරීමට ව්‍යාපාරිකයෝ ඇතුළු ප්‍රජා කොටස් මැළි වුවත් මෙවර ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත්තේ පවතින රජයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ විනිවිදභාවය සහ වැඩි විශ්වසනීයත්වයක් ගොඩනැඟී ඇති නිසා විය යුතුය.
සිය සේවකයන්ගේ ශ්‍රමයෙන් ගොඩනැඟෙන ව්‍යාපාරවලින් රාජ්‍ය ගිණුමට බැර වන මුදල් සතයක හෝ අඩුවකින් තොරව ආපදාවට පත් රට හා ජනතාව ගොඩ නැඟීමට දායක වන බවට විශ්වාසයක් සැම හදවත් හී පවතී. එපමණක් නොව මේ මහා ව්‍යසනයෙන් අසරණ වී ඇත්තේ ඔවුන් සතු වටිනාම සම්පත වන පාරිභෝගික ප්‍රජාවයි. එපමණක් නොව වත්මන් ආණ්ඩුව යටතේ ජනතා විශ්වසනීයත්වයෙන් යුතුව ගොඩනැඟෙමින් පැවැති රට සොබාදහමේ වියරුවෙන් කඩා වැටෙද්දී එය යළි නඟා සිටුවීමෙන් ව්‍යාපාරික ප්‍රජාවටද සිය ව්‍යාපාරික කටයුතු ශක්තිමත්ව සිදුකිරීමට අවකාශය සැලසෙයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ මෙන්ම විදෙස් රටවල් ද නොපැකිළව අප රට පත්වූ ව්‍යසනය හමුවේ මෙවර වෙනදාටත් වඩා ආධාර උපකාර ලබා දුන්හ. එහිදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් අපේ රට නැවත ගොඩනැඟීමට ලබා දුන් පරිත්‍යාග ද අමතක නොකළ යුතුය. සයුරෙන් එපිට දේශදේශාන්තරවල දිනකට පැය 12-15ක් අතර කාලයක් වැර වීරියෙන් වැඩ කරමින් හරිහම්බ කළ ධනයෙන් කොටසක් අසරණව සිටින අපේම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්නට ඔවුන් කටයුතු කිරීම පැසසිය යුත්තකි.
ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන ජයන්දි සඳනිකා මහත්මිය පසුගියදා හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ද රජයේ අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමටය. ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක් අතැතිවය. රජයේ අරමුදලට කෝටියක මුදලක් පරිත්‍යාග කිරීමට යෝජනා කර ඇත්තේ සඳනිගේ සැමියා විසින් බව ඇය ප්‍රකාශ කරයි.
“ඔයාට සතුටු නම් අපි දෙමු. අපි මැරෙන දවසට බැංකු පොත් උස්සන් යන්නේ නෑනේ” යනුවෙන් සැමියාගේ යෝජනාවට පිළිතුරු දුන් බව කියන සඳනි මහත්මිය ලංකාවට පැමිණ රුපියල් කෝටියක චෙක්පත අරමුදලට පිරිනමමින් නැවතත් එදින රාත්‍රියේම ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ. ඉඳින් ලොව කොතැනක සිටියත් අපේ රටේ මිනිසුන්ගේ පරිත්‍යාගශීලිත්වයේ වෙනසක් නොමැති බව කියාපාන එක් සිදුවීමක් පමණී,
මීට අමතරව පසුගියදා ස්විඩන් ජාතික කාන්තාවක් වන වී.පී. නැක්හෝම් මහත්මිය ද රාජ්‍ය අරමුදලට අමෙරිකන් ඩොලර් 33000ක පරිත්‍යාගයක් ලබා දුන්නාය. කොළඹ පදිංචි රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ද රුපියල් මිලියන 3.6ක පරිත්‍යාගයක් රාජ්‍ය අරමුදලට ලබා දී ඇත.
එසේම කෑගල්ලේ පී.එම්. ජයවීර මහතා ද රට නැවත ගොඩනැඟීමේ රාජ්‍ය අරමුදලට රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කරන්නේ සිය පෞද්ගලික ධනයෙනි. එපමණක් නොව ව්‍යසනයේදී තුවාල ලැබූ රෝගීන් වෙනුවෙන් කඩිනම්ව අවශ්‍ය වූ රුධිර අවශ්‍යතා වෙනුවෙන් රුධිර පරිත්‍යාගශීලින් රැසක් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට එක් රොක් වනුද දැක ගත හැකි විය. රට පුරාම බන්ධනාගාරවල රැඳවූවන් සිය එක් කෑම වේලක් ඉතිරි කරමින් විපතට පත් වූවන්ට එය ආධාර ලෙස ලබා දීමට කටයුතු කිරීමෙන් සිරකරුවන් ද මනුෂ්‍යයෝය යන සංකල්පය වඩා වඩාත් ඔප්පු කර තිබේ.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන පරිදි මේ සතිය ආරම්භ වන විට මෙම ගිණුමට රටවල් 40ක් ආධාර කර ඇත. එහිදී වැඩිම ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයයි. මේ වන විට විදෙස් රටවලින් අමෙරිකන් ඩොලර් මිලියන 4.17ක මුදලක් ලැබී ඇති අතර දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල්ද සමඟ මෙහි රුපියල් මිලියන 3400 ඉක්මවූ මුදලක් පවතින බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙහිදී අසල්වාසීන් ලෙස නිබඳවම අප සහායට සිටින ඉන්දියාව සහ පාකිස්තානයෙන් ලැබෙන සහයෝගය අමතක කළ නොහැකිය. ව්‍යසනය ආරම්භක සමයේ මානුෂීය ආධාර, සහන කණ්ඩායම්, තාවකාලික පාලම් ආදිය ලබා දෙමින් ඔවුන් දැක්වූ සහායෙන් රට යථා තත්ත්වයට ගැනීමේ කාර්යය ආරම්භ කිරීම වඩාත් පහසු විය.
මහා පරිමාණ ව්‍යාපාරිකයන් සේම ක්‍රිකට් ක්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු ජනප්‍රිය චරිත රාශියක් මේ ව්‍යසනයෙන් අසරණ වූවන්ට විවිධ උපකාර කරනු අපි දුටුවෙමු. ව්‍යාපාරික ප්‍රජාව, පුද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශයද රට නැවත ගොඩනැඟීමේ කාර්යය වගකීමටත් එහා ගිය කාර්යයක් සේ සලකා ඉටු කරනු අපි දුටිමු. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා පොලීසිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක් රට යථා තත්ත්වයට ගැනීමේ කාර්යය දිවා රෑ නොබලා ඉටු කරමින් සිටිති. එසේම යුරෝපා සංගමය යුරෝ මිලියන 2.35කට අධික මානුෂිය ආධාර ලබා දෙද්දී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ද අඛණ්ඩව තවදුරටත් සිය මානුෂිය මෙහෙයුම් සිදු කරමින් සිටියි.
ඒ අනුව ඉඳිකටුවේ සිට හෙලිකොප්ටරය දක්වාත් සිය ගතේ ලේ බිඳුව ද අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලෝකවාසී සියලු දෙනාටම අප කෘතඥ විය යුතුය.

