Monday, December 29, 2025
Epaper
Home විශේෂාංගපස් කන්දට ජීවිතය බිලිවූ යටියන්තොට දියණිය සොයා දුන් සුනඛයාගේ සංවේදී කතාව

පස් කන්දට ජීවිතය බිලිවූ යටියන්තොට දියණිය සොයා දුන් සුනඛයාගේ සංවේදී කතාව

by Mavan Perera

නොනැවතුණු මහ වරුසාව ගෙන ආවේ හිරිගඩු පිපෙන සීතලකි. රාත්‍රිය ළං වනවිට වරුසාව තවත් වැඩි වූ අතර, දෙගුණ තෙගුණ වී දිය රකුසකු සේ ගලා ගිය කැලණි ගඟේ සැඩපහරක් අතරින් ගංවතුරක සේයාවක් මතු වෙමින් තිබුණි. ඒ අතරින් නාගස්තැන්න, පැලැම්පිටිය, සීපෝත්, බෙරන්නාව යන ගම්මානවලට නායයෑම ගෙන දුන්නේ විශාල බියකි.

වසර තිහ හතළිහකට පෙර ලැබූ බිහිසුණු අත්දැකීම නැවතත් ලබන්නට ගම්වාසීන් කිසිසේත් අපේක්ෂා නොකළේය. එහෙත්, මහාවරුසාවෙන් කඳු සිසාරා ගලා යන විට, ඒ අතීත අත්දැකීම සමඟින්ම නැවතත් නායයෑම ආරම්භ වූයේ නොසිතූ ලෙසිනි. ගංවතුරින් පිරී ගිය යටියන්තොට පුරවරයත්, නායයෑමේ තර්ජනයෙන් කඳු පන්ති සෝදාගෙන ගිය මහ විනාශයක්, ක්ෂණයකින් ළඟා වූයේ නොසිතූ ලෙසිනි.

පසුගිය නොවැම්බර් 27 වැනි දින රාත්‍රියේ සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන්, බෙරන්නාව මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ, හත් හැවිරිදි නෙතුකි සහන්‍යා දියණිය ඇතුළු ඇගේ මුළු පවුලම මිහිමත වැළලූ ඇගේ මව, පියා, බාල සොහොයුරා සහ ආදරණීය මිත්තණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සියල්ලෝම ජීවත් වූ නි‍ෙවස සමඟම රුදුරු පස් කන්දට යටවී අතුරුදන් වූහ.

මියගිය අය සෙවීමේ දැවැන්ත මෙහෙයුම

අනතුර සිදුවී දින දෙකකට පසු මවගේ සිරුර සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවද, නෙතුකි දියණිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සිරුරු සොයා ගැනීමට සහන කණ්ඩායම්, හමුදාව සහ පොලීසිය දැඩි ප්‍රයත්නයක් දැරූහ. කාලය ගෙවී යද්දී, ඒ වටා සිටි මිනිසුන්ගේ හදවත් ශෝකයෙන් පිරී ඉතිරී ගියේය. ගතවන සෑම දිනක් පාසාම ඇති වූ වර්ෂා බිඳුවක්ම මේ මිනිසුන්ගේ නෙත්වලින් ගලා ගිය කඳුළු හා සමාන විය.

නෙතුකි දියණියගේ සිරුර සොයා ගැනීමේ බලාපොරොත්තුව ක්‍රමයෙන් වියැකී යද්දී, මුළු ප්‍රදේශයම දින දහහතක් පුරා අසරණභාවයෙන් හා ගැඹුරු ශෝකයකින් වෙලී තිබුණි. සෙවුම් කටයුතු අතිශය දුෂ්කර වූයේ, නායගිය පස්, විශාල කණ්ඩි සහ ඒ මතට කඩා වැටුණු ගස් කොළ හා දර කොටන් හේතුවෙනි. මෙතරම් විශාල පස් කන්දකට යටවී ඇති සිරුරු සොයා ගැනීම, මානව ශ්‍රමය සහ තාක්ෂණයට පවා අභියෝගයක් විය.

මානව දයාවට එහා ගිය සංවේදී මඟ

අතුරුදන්ව සිටි කුඩා නෙතුකි දියණියගේ දේහය දෙසැම්බර් 14 වැනි දින දහවල් සොයා ගැනීමට හැකි වූයේ අතිශය සංවේදී හා අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙනි.

තැන්නවත්ත ප්‍රදේශයේ සිට පතනේගල දෙසට දිවෙන මාර්ගය පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටි පිරිසකගේ අවධානය යොමු වූයේ එම ස්ථානය ආසන්නයේ අසාමාන්‍ය ලෙස හැසිරෙමින් එකම තැනක රැඳී සිටි සුනඛයකු වෙතට ය. කිසි‍ෙවකුත් අපේක්ෂා නොකළ අයුරින්, එම සතා එකම තැනක රැඳෙමින් ශෝකී බැල්මක් හෙලමින් සහන කණ්ඩායම්වලට යමක් කීමට උත්සාහ කරන්නාක් මෙන් හැසිරීමක් පෙන්නුම් කළේය.

මානව දයාවට එහා ගිය හැඟීමකින් යුතුව, එම සුනඛයා විසින් පෙන්නූ ස්ථානය ආසන්නයේ ඔවුහු වැඩිදුරටත් ගැඹුරින් සෝදිසි කිරීම ආරම්භ කළහ. ඒ වන විටත්, වෙනත් කිසිදු සලකුණක් එහි තිබුණේ නැත. මේ සත්ත්ව දයාවේ බලමහිමය සුනඛයා විසින් පෙන්නූ ස්ථානයේ පස් ඉවත් කරමින් සොයා බැලීමේ දී, කිතුල් ගසක අතුපතරට යටවී තිබිය දී කුඩා නෙතුකි දියණියගේ දේහය සොයා ගැනීමට හැකි විය.

නෙතුකිගේ සිරුර පිහිටි නිවැරදි ස්ථානයට මඟපෙන්වූයේ මේ සංවේදී සුනඛයායි. මිනිස් ප්‍රයත්නයටත්, තාක්ෂණයටත් කළ නොහැකි වූ කාර්යයක් ඉටු කිරීමට, සොබාදහම විසින් එවන ලද සගයකු මෙන් මේ සුනඛයා ඉදිරියට ආවේය.

රුදුරු පස් කන්ද ඇයගේ මුළු පවුලම සොරා ගත්ත ද, අවසානයේදී මේ කුඩා දියණියට සහ ඇගේ ආදරණීයයන්ට නිසි අවසන් ගෞරව දැක්වීමට සොබාදහම විසින් අවස්ථාව සලසා දුන්නේ, මේ සත්ත්ව මිත්‍රයාගේ අමරණීය දයාව තුළිනි. මේ අති සංවේදී සිදුවීම සමස්ත ප්‍රදේශයේම ශෝකයට තවත් ගැඹුරු හැඟීමක් එක් කළේය.

සොයා ගන්නා ලද දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරවනැල්ල රෝහලේ දී පවත්වන ලදි. කුඩා නෙතුකි දියණියට සහ ඇගේ පවුලේ සියලු දෙනාටම නිවන් සුව හැර වෙන කුමක් පතන්නද?

Pix By ශාන්ත මල්ලව

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?