කිරි ඉතිරවීම සිංහල සංස්කෘතියේ ප්‍රධාන අංගයකි . ඕනෑම සුබ වැඩකදී මෙන්ම අලුත් අවුරුදු උදාවේදී කිරි ඉතිරවීම පුරාණයේ සිට පැවත එන හෙළ සිරිතකි. මෙම කිරි ඉතිරවීම සුබ මුහුර්තයකින් සිදු කිරීම අනිවාර්ය වේ.
කිරි ඉතිරවීම සඳහා ළිප බැඳීමේදී නැවුම් ගඩොල්කැට තුනක් තෝරා ගත යුතුය. ඒ සඳහා කළුගල්, බ්ලොක් ගල් , ගෑස් ළිප් ආදිය කිසි විටෙකත් භාවිත නොකළ යුතුය. නැවුම් ගඩොල් තුනක් යොදා සාදන ළිප ගෙයි සාලය මැද යකඩ තහඩුවක් උඩ තැනිය යුතුය.
දහනය සඳහා දර විශේෂ කිහිපයක් යොදා ගත හැකිය. රත්සඳුන්, සුදුසඳුන් දේවදාර, සුවඳ කොට්ටං හෝ පැඟිරි වර්ගයක දර යොදාගත හැකිය. නමුත් අද සමාජයේ මෙවැනි දර විශේෂ සොයා ගැනීම දුෂ්කර
බැවින් වෙෙළඳපළේ පවතින දර භාවිත කිරීම අසුබ නොවේ. නමුත් ලිප දැල්වූ පසු එම ළිප නිවීමට නොදී තබා ගැනීමට වග බලා ගත යුතුය. යම් හෙයකින් කිරි මුට්ටිය ළිප මත තැබූ විට ළිප නිවී යාම අසුබය.
කිරි බඳුන ළිප තැබීමට පෙර සුදු හඳුන් කුඩු කලං 1යි, අමු කහ පෙති 1යි, කැකුළු හාල් ස්වල්පයක්, රිදී කාසියක් මෙකී දෑ සමග මුට්ටියට දමා ළිප මත තැබීම කළ හැකිය.
කිරි ඉතිරවීමෙන් පසු වී මිටයි, අබ ඇට 10යි, තල, උළු, මුං, මෑ, ඕලු ඇට, නෙලුම් ඇට යන මෙම දෑ මුට්ටියට දමා නිවුණ පසු ගේ තුළ සහ මිදුලේ ඉසීම කළ හැකිය. ඉතිරිය සුදු රෙදි කඩක් බැඳ මුදුන් යටලීයේ එල්ලා තැබීම කළ හැකිය.
කිරි ඉතිරවීම සඳහා කිසිවිටෙකත් පොල් කිරි යොදා නොගත යුතුය. පොල්කිරි ඉතිරවීම කරනුයේ මළවුන් පිදීමේ කටයුත්තකදී පමණි. කිරි උතුරවන කිරි බඳුන තුළින් නික්මෙන වාෂ්ප උරාබීමට දේව කොට්ඨාස ළඟා වේ. පොල් කිරි උතුරවන විට ඉන් නික්මෙන පිළුණු ගඳ උරා බීමට ප්‍රේත කොට්ඨාස ළඟා වේ.
කිරි ඉතිරවීම සදහා සුදුසු කිරි වර්ග 8 ක් පමණ ව්‍යවහාරයේ පවතී. එනම් එළ ගව කිරි , මී ගව කිරි, බැටලු කිරි, වටු කිරි, එළු කිරි, ඇත් කිරි මවු කිරි හා අශ්ව කිරි වේ. නමුත් බොහෝ විට භාවිතයේ යෙදෙන්නේ එළු ගව කිරි පමණි. ඇතැමුත් එළුකිරි ඉතිරීවීමට බියක් දක්වයි. එළ කිරිවල ලේ මිශ්‍ර වී අපිරිසුදු යැයි ඇතැම්හු පවසති. නමුත් එළකිරි ඉතාම පිරිසුදු කිරි වර්ගයක් බවත් එහි ලේ මිශ්‍ර නොවන බවත්, එහි විෂබීජ නාශක ගුණය හා අදෘෂ්‍යමාන දෝෂ නාශක ගුණය ඇති බවත් පුරාණ පොතපතේ සඳහන් වේ.
එළ ගව කිරි ඉතිරවීමෙන් ලක්ෂ්මී දෙවියන්ගේ හෙවත් ශ්‍රියාකාන්තාවගේ බැල්ම වැටෙන බව සෘෂි විශ්වාසයයි. එමඟින් පුද්ගලයින්ගේ හා එම ස්ථානයේ ඇති සියලු දෝෂ භංග වී සෞභාග්‍යය ද උදාවනු ඇතැයි පැවසේ.
කිරි ඉතිරවීමේදී මුට්ටිය හතර වටින්ම කිරි උතුරා ගියේ නම් ඉතා සුබය. එම වසර සතුට, සෞභාග්‍ය පිරි එකක් වනු නියතය. එසේම මුට්ටියේ තුන් පැත්තකින් හෝ දෙපැත්තකින් කිරි උතුරා ගියේ නම්ද සුබය. නමුත් කිරි උතුරා නොගියේ නම් හෝ එක් පැත්තට පමණක් කිරි උතුරා ගියේ නම් ඉතා අසුබය. එම අවුරුද්ද කරදර, දොම්නස්වලින් පිරි එකක් වන බව සෘෂි මතයයි.
කෙසේ වෙතත් හොඳින් කිරි ඉතිරීමට නම් කිරි උතුරන අවස්ථාවේ මුට්ටිය වටේටම හොඳින් ගින්දර තිබිය යුතුයි. අධික තාපය නොමැති විටද කිරි ඉතිරීම සිදු නොවේ. එය අසුබ යැයි පැවසිය නොහැකිය. එනිසා කිරි උතුරන්නේ නැති නම් ඒ මන්දැයි හොඳින් විමර්ශනය කර බලා තීරණය කළ යුතුයි.
මේ සියලු කරුණු භාවිතයට ගෙන ඔබත් අලුත් අවුරුද්දේ කිරි උතුරවා ශ්‍රියාකාන්තාවගේ බැල්ම ලැබූ වාසනාවන්ත ජීවිතයක් හිමිකර ගන්න.
