We wish you a Merry Christmas…
We wish you a Merry Christmas…
We wish you a Merry Christmas and a Happy New Year !…
Good tidings we bring to
you and your kin
We wish you a Merry Christmas and a Happy New Year !..
දෙසැම්බර් මාසයේ අසිරිමත් නත්තල උදා වෙද්දී, අපේ දෙසවන් තුළ නින්නාද වන මිහිරිම හඬ කැරොල් ගී රාවයයි. කිතුනු බැතිමතුන්ගේ සිත් සතන් ප්‍රීතියෙන් පුරවාලන මේ මියුරු ගීත, කිතු උපත සිහිපත් කරමින් ගායනය කරයි.
ප්‍රංශ වාග් මාලාවෙන් බිඳී ‘කැරොල්’ (Carol) යන වචනයේ සරල අර්ථය වන්නේ සතුට උපදවන යන්නයි. මුල් කාලයේදී උත්සව අවස්ථාවල ගායනා කරන පොදු ගීත විශේෂයක් සඳහා මෙම නම භාවිත කළද, පසුකාලීනව එය නත්තල් ගීත සඳහාම වෙන් වූ නාමයක් බවට පත් විය. සතුට සහ සෞභාග්‍යය සංකේතවත් කරන කැරොල් ගීත, නත්තල් සමයේදී දේවස්ථාන ඉදිරිපිට ඉදි කළ වේදිකාවල සිට මෙන්ම රථවල නැඟී වීදි සංචාරය කරමින් ගායනා කිරීම ලෝව පුරා අදටත් දැකිය හැකි සුන්දර දසුනකි.
කැරොල් ගායනය පිළිබඳ ඉතිහාසය විමසිමේදී 4 වැනි ශතවර්ෂයේ රෝමය දක්වා දිවයයි. එකල ලතින් භාෂාවෙන් ලියැවුණු දේව භක්ති ගායනා දේවස්ථාන තුළ සිදු කර තිබේ. පසුව 9 සහ 10 වැනි ශත වර්ෂවලදී උතුරු යුරෝපීය රටවල තාපසාරාම ආශ්‍රිතව කිතු උපත තේමා කරගත් කාව්‍ය රචනා ගායනා කර ඇත.
කැරොල් කලාවේ සන්ධිස්ථානයක් සනිටුහන් වන්නේ 12 වැනි ශත වර්ෂයේදීය. පැරීසියේ සාන්ත වික්ටර්හි ඇඩම් පියතුමා එකල ජනප්‍රියව පැවති ජනප්‍රිය ගීතවල තනු යොදාගෙන බැති ගී නිර්මාණය කළේය. පසුව 13 සහ 14 වැනි සියවස්වලදී ශුද්ධ වූ ප්‍රැන්සිස් තුමාගේ මූලිකත්වයෙන් ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය කේන්ද්‍ර කරගනිමින් කැරොල් සම්ප්‍රදාය ලොව පුරා ව්‍යාප්ත විය. ඉංග්‍රීසි භාෂාවෙන් මුල්වරට නත්තල් බැති ගී ලියැවී ඇත්තේ 1426 දී ජෝන් අව්ඩිලේ පියතුමා අතිනි.
කාලයාගේ ඇවෑමෙන් දහස් ගණනින් කැරොල් ගීත ලියවුණද, ඇතැම් ගීත කාලාන්තරයක් තිස්සේ නොමියෙන සාම්ප්‍රදායික කැරොල් ගී ලෙස අදටත් සෑම නත්තලකදීම එකසේ රැව් පිළිරැව් දෙයි. Silent Night, Jingle Bells, Joy to the World, We Wish You a Merry Chris tmas, O Holy Night, The Firs t
Nowell, Away in a Manger මෙන්ම It Came Upon the Midnight Clear ගී නිර්මාණ දසතින් ඇසෙන විට, ඕනෑම අයකුගේ සිතට නිරායාසයෙන්ම අසිරිමත් නත්තල් සිරිය ගලා එන්නේ අමුතුම මිහිරියාවක් දනවමිනි.
ශ්‍රී ලංකාවේ කැරොල් වංශකතාවේ මුල්ම සලකුණු පෘතුගීසි කාලය වෙත යයි. ජේසු නිකායික පූජා ප්‍රසාදීන් විසින් අරඹන ලද මෙම සම්ප්‍රදාය, නිශ්චිතවම සිංහල කැරොල් ගීත කලාවක් ලෙස ස්ථාපිත වන්නේ ලන්දේසි යුගයේදීය. විශේෂත්වය වන්නේ මෙම කලාව ලන්දේසි රෙපර්මාදු සභාව තුළ නොව, කතෝලික බැතිමතුන් අතර ජනප්‍රිය වීමයි.
සිංහල කැරොල් ගීයේ පීතෘවරයා ලෙස සැලකෙන්නේ ශුද්ධ වූ ජුසේ වාස් මුනිඳුන්ගේ සහයට ලක්දිවට පැමිණි ගෝවේ ඔරතෝරියානු නිකායික ධර්මධර පඬිවරයකු වූ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාය.
ක්‍රි.ව. 1730 දී රචනා වූ මංගල ගීතය නම් ගොන්සාල්වෙස් ගීත සංග්‍රහය සිංහල කැරොල් ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයකි. එහි ක්‍රිස්තු උපන් මංගල්‍ය සින්දු දහයකට වඩා ඇතුළත් වූ අතර, එය ප්‍රථම වරට මුද්‍රණය කෙරුණේ 1872 වසරේදීය.
දෙවිදු උපන්නේය සතුනි
දෙවිදු උපන්නේය ඔහෝ //
දෙවිදු සර්වනායක වන
දිළිඳු එමනු වෙස් ගනිමින
නිරිඳු දාවිත් තුළ සසොබන
බිලිඳු ලෙසින මිහි වඩමින
දෙරණේ තෘණ යහනේ කීම
සයනේ සුර රජුනේ
මුඛ පරම්පරාගතව පැමිණි මෙම ගීතයේ තනුව, 1967 වසරේදී නයිනමඩමේ සිටි දක්ෂ සංගීතඥයකු වූ ජේ. කේ. එස්. පෙරේරා මහතා විසින් අපරදිග ස්වර ලිපියට නඟමින් සංරක්ෂණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ කැරොල් ගීත සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා අපේ නිර්මාණකරුවන් දැක්වූ දායකත්වය අතිමහත්ය. විශේෂයෙන්ම අතිගරු මර්සලින් ජයකොඩි පියතුමන් අතින් ලියැවුණු “තරු බබළනවා”, “සීනු හඬින් ලොව පිබිදෙනවා”, “රෑක අඳුරු දුරුවෙලා”, “රනින් මුදු සදාලා” ගීත මෙරට කැරොල් කලාවේ නොමැකෙන සලකුණු වේ.
එමෙන්ම, බෞද්ධ ගීත රචකයකු වූ විශිෂ්ට කලාකරු කරුණාරත්න අබේසේකරයන් 1972 දී රචනා කළ, ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කළ “බෙත්ලෙහෙම් පුරේ – දිළිඳු ගවලෙනේ” ගීතය අදටත් නත්තල් උත්සවයක නැතුවම බැරි අංගයකි. ආගම් භේදයකින් තොරව නත්තලේ සතුට බෙදා ගැනීමට කැරොල් ගීතය මහඟු පාලමක් වී ඇති බව මෙයින් මැනවින් පැහැදිලි වේ.
නත්තල, හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා වූවක් නොව, සංගීතය සහ ගායනය ඔස්සේ මුළු ලොවටම සාමය සහ සහෝදරත්වය බෙදා දෙන මංගල්‍යයකි. මේ උදා වූ නත්තල් සමයේ ඒ සාමයේ සහ සහෝදරත්වයේ ගී රාවය ඔබට සතුට, සෞභාග්‍යය ළඟා කර දෙනු ඇත.
