Monday, December 29, 2025
Epaper
Home Doctor Doorඑන්නතයි, නික්ෂේපණයි අතර වෙනස දැන් දන්නවාද?

එන්නතයි, නික්ෂේපණයි අතර වෙනස දැන් දන්නවාද?

උපදෙස් ප්‍රජා වෛද්‍ය නුවන් තොටවත්ත

by Mavan Perera

එන්නතක් නොවිදපු කවුරුත්ම මේ මිහිපිට නැතිව ඇති. ඒ ප්‍රතිශක්තිකරණ එන්නත් ඇතුළුව නොයෙකුත් ලෙඩ රෝග සඳහා විවිධ එන්නත් ජීවිතයේ නොයෙකුත් අවස්ථාවලදී ලබා ඇති බැවිනි.

එන්නතක් කියා විශේෂයෙන්ම හඳුන්වන්නේ සමහර රෝග නොසෑදෙන්නට විශේෂයෙන්ම විසබීජ මඟින් සෑදෙන රෝග වළක්වා ගැනීමට සාදාගත් විශේෂ වැඩපිළිවෙළකි. අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ.

යම් විෂබීජයක් ඇතුළු වූ විට ප්‍රතිශක්තීකරණ පද්ධතියට එයට විරුද්ධව සටන් කිරීමේ හැකියාව තිබේ. එහෙත් එය ශරීරය හඳුනන විෂබීජයක් විය යුතුයි. එය ආගන්තුක විසබීජයක් වූයේ නම් එය ශරීරය නොහඳුනයි.

එන්නතකින් කරන්නේ අපට රෝග සාදන විෂබීජයක් ඇත්නම් ඉන් කොටසක් ගෙන ශරීරයට එන්නතක් ලෙස යැවීමයි. එම විසබීජයෙන් රෝගය නොසෑදුණාට එම විෂබීජයේ ඇත්තේ මොනවාදැයි හඳුනාගැනීමට අවශ්‍ය දේ සාදයි. නැතහොත් ප්‍රතිදේහ සාදයි. ඉන්පසු විසබීජය ආවත් ශරීරයට ඒ පිළිබඳ යම් දැනුමක් තිබේ. ඒ අනුව එය විනාශ කරන්නට හැකියාව තිබේ. එම රෝගය සාදන්නට අවස්ථාව නැත. එන්නත්කරණයේ සහ එන්නතේ සරලම කතන්දරය එයයි.

සිරින්ජරයක් ආධාරයෙන් විදින ඕනෑම දෙයක් එන්නතක් ලෙස සැලකීම නිවැරැදි නොවේ. එන්නත්කරණයට අමතරව තවත් නොයෙකුත් ඖෂධ වර්ග සිරින්ජරයක් ආධාරයකින් විදී. ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, විටමින් වර්ග මෙලෙස විදී.

එහෙත් බොහෝ දෙනා මේ දෙක පටලවා ගනිමින් වර්ග දෙකම එන්නත් ලෙස හඳුන්වයි.

එන්නතක්ඇතුළත ඇත්තේ බාල කරන ලද විෂබීජයි. මේ විෂබීජ වලට රෝග සෑදීමේ හැකියාවක් නැත. තවත් සමහර එන්නත් විසබීජයෙන් හඳුනාගත් කොටසක් එක්කර සාදයි. එවිට එම කොටසට විරුද්ධවත් ප්‍රතිදේහ සාදයි.

එන්නතක් විද්ද පසු උණ හට ගැනීම

ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේදී කුඩා දරුවන්ට එන්නතක් ලබා දුන් පසු උණ හට ගැනීම දක්නට ලැබේ. මෙහිදී සිදුවන්නේ ආගන්තුක දෙයක් ශරීරයට ඇතුළු වූ විට එයට ප්‍රතිචාර දක්වන ක්‍රියාවලියයි. ශරීරය එයට ප්‍රතිචාර දක්වන විදිහ අනුව උණ හට ගැනීමට පුළුවනි. මෙය සෑම කෙනෙකුටම පොදු නැත. එකම එන්නතකට ඇතැම් කෙනකුට උණ හටගනිද්දී තවත් කෙනෙකුට උණ හට නොගෙන තිබෙන්නට පුළුවනි.

රෝගයක් යනු අපේ ක්‍රියාකාරිත්වයට කරන බාධාවකි. එවිට ශරීර උෂ්ණත්වය යම් තරමකින් ඉහළ යා හැකියි. විෂබීජයක් ශරීරයට ඇතුළු වූ පමණින් එයට රෝග සාදන්නට නොහැකියි. ශරීරය එය විනාශ කරයි. එවිටත් යන්තම් උණ හටගන්නට පුළුවනි.

ප්‍රතිශක්තිකරණ එන්නත

මේ සඳහා එන්නත් ලබාදෙන රටාවක් පවතී. උපතේදී ක්ෂය රෝගය සඳහා ලබා දෙන එන්නතෙන් පටන් ගෙන මාස 2න්, 4න්, 6න්,9න්, මාස 12න්, මාස 18 න්, අවුරුදු 3න්, 5න්, 11න්, 12න්, 13න්… ආදී ලෙස ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ එන්නත් ලබාදේ.

රටකට එන්නතක් හඳුන්වා දීමේදී එම රෝග තත්ත්වය එම රට සඳහා කොයිතරම් දුරට බලපෑම් කරයිද, කොයිතරම් හානි ගෙන දේද, ඒ සඳහා වැයවන වැය වැයවන වියදම කොපමණදීද යන කරුණු සලකා බලයි.

මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් රටින් රටට වෙනස් වේ. ලංකාවේදී ලබාදිය යුතු එන්නතක් ඇතැම් විට වෙනත් රටකදී ලබා නොදෙන්නටත්, ⁣මෙරට ලබා නොදෙන එන්නතක් වෙනත් රටකදී ලබා දෙන්නටත් පුළුවනි.

එන්නතක් ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ රෝග වළක්වා ගැනීමයි. එන්නත් ලබාදී මෙරටින් තුරන් කළ රෝග කිහිපයක්ම වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ අදාළ මාත්‍රාවන්ගෙන් යුතු එන්නත් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබා දෙයි. මේ සියලුම එන්නත්වල වගකීම ලෝක සෞඛ්‍ය සංවිධානය බාර ගනී.

ක්ෂය රෝගය සඳහා ලබා දෙන බී. සී. ජී. එන්නත ළමා කාලයේ වැලඳෙන ක්ෂය රෝගය වළක්වා ගැනීමට දෙයි. මෙලෙස ලබා ලබාදෙන ඉන්නත්වලින් ළමා කාලයේදී පූර්ණ රැකවරණය ලැබේ. තවත් සමහර එන්නත් සඳහා කුඩා කාලයේදී ලබා දුන්නත් වැඩිහිටි විය දක්වාම ඒවායේ ආරක්‍ෂාව ලැබෙයි.

පිටගැස්ම රෝගය සඳහා ලබාදෙන එන්නත් යම් කාලයකට වලංගුව පවතී. නියමිත අවුරුදු ගණන පසුවූ විට අමතර ආරක්ෂාවක් ලබා ගැනීමට යම් මාත්‍රාවක් ලබා ගන්නට ඇතැම්විට අවශ්‍ය වේවි.

ඍතු භේදය ඇති සමහර රටවල වයිරස් රෝග සඳහා එන්නත් වසරින් වසර ලබාදේ. මේවා බොහෝ විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන අයවලුන් සහ වෙනත් සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කරගෙන ලබාදේ. ඉන්ෆ්ලු‍ෙවන්සා….. වැනි තත්ත්ව සඳහා ලබා දෙන මෙම එන්නත් බොහෝ විට වසරෙන් වසර වයිරසය අලුත් මුහුණුවරකින් පැමිණෙන නිසා එන්නතද ඊට ගැළපෙන අයුරින් සකසා ලබාදේ. මෙවැනි එන්නත් බොහෝ විට අප රටේ ක්‍රියාත්මක නොවේ. පෞද්ගලික අංශයෙන් අවශ්‍ය නම් ලබාගත හැකිවේවි.

එන්නත්

එන්නත් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම හරහා එන්නත් ලබාගත් තැනැත්තාට එම රෝගය ඇති වීම වළක්වාලයි. (උදා: සරම්ප, පෝලියෝ එන්නත්). නික්ෂේපණ ලෙස (කටුවක් සහිත සිරින්ජරයක් මගින්), මුඛ මාර්ගයෙන් හෝ නාසයට ඉසින දියරයක් ලෙස එන්නතක් ලබාදිය හැකිය.

නික්ෂේපණය

නික්ෂේපණය යනු ඖෂධ හෝ ද්‍රවයක්, සිරින්ජරයක් සහ කටුවක් මාර්ගයෙන් ශරීරයට ඇතුළත් කිරීම සඳහා භාවිත කරන පොදු පදයකි. මෙය වේදනාව අඩු කරන ඖෂධ, ප්‍රතිජීවක, හෝ වෙනත් ඖෂධ සඳහා භාවිත වේ (උදා: ඔන්ඩැන්සට්‍රොන් නික්ෂේපණය).

ප්‍රධාන වෙනස

බොහෝ එන්නත් නික්ෂේපණ වේ, නමුත් සියලු නික්ෂේපණ එන්නත් නොවේ.

එන්නත් මඟින් රෝග වැලඳීම වළක්වාලයි; අනෙක් නික්ෂේපණ රෝග සුව කිරීම හෝ පාලනය සඳහා යොදයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?