Monday, December 29, 2025
Epaper
Home මනෝ උපදේශන2026ට යන්න කලින් To Do List එක

2026ට යන්න කලින් To Do List එක

by Mavan Perera

ආයුබෝවන්… නොදැනීම 2025 කැලැන්ඩරයේ අවසාන කොළෙත් හමාර වෙන්නයි සූදානම. නමුත් 2026 නව වසරට පා තබන බලාපොරොත්තු වෙනුවෙන් කැපවෙන ඔබ මේ ගෙවී යන වසරට හරියාකාරව සමුදිය යුතු නොවේද? එසේ නම් අද මේ ලිපිය පෙර වසරවල ඔබ නොකළ නමුත් කළ යුතුව තිබූ ඒ To Do List එක නොඑසේ නම් ඔබ විසින් කළ යුතුම කාර්යයන් ලැයිස්තුවක් පිළිබඳයි. මෙය ඔබට සුළුකොට තැකිය හැකි වුවද මෙහි ප්‍රතිඵලය 2026 වසරම සුබදායී කරනු නොඅනුමානයි.

2025 වසර යනු අපිට වඩාත් තීරණාත්මක සේම අමතක නොවන වසරක් වුණා. බොහෝවිට මෙය කියවන ඔබෙත්, මෙය ලියන මගෙත් දෛනික චර්යාව සහමුලින්ම වෙනස් කිරීමට සේම අපේ මනුෂ්‍යත්වයේ දෑත තවත් අපේම දයාබරයකුට දිගු කරන්න හෝ අපේම සහෘදයකුගේ දෑත අපේ සවියට පිහිට වූ අවසානයක් අපට දායාද කළ බව. ඒ සියලු දේ අවසන්. අප දැන් අභියෝග බාධක හමුවේ නොසැලෙන වීර ජාතියක් ලෙසට 2026ට පා තැබීමට පෙර මේ කරුණු ටික තදින්ම හිතට ගනිමු.

කෘතවේදී වන්න. (Gratitude)

මුලින්ම, අපේ ශක්ති මට්ටම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා බලවත්ම මෙවලම වන්නේ කෘතඥ වීමයි. (ස්තූතිවන්ත වෙන එක) ඔබ ගත කළ වසරේදී කොතරම් අභියෝග තිබුණත්, ඔබට ලැබුණු හැම හොඳ අවස්ථාවක්ම, ඔබ සතුටු වුණා අවස්ථාවන්, ඔබ කුඩා හෝ ජයග්‍රහණයක් ලබා ගත් අවස්ථාවන්, ඔබ තව කෙනකුට සවියක් වූ අවස්ථාවන්, ඔබව රැක බලාගත් මිනිසුන් සහ ඔබ ඉගෙන ගත් වටිනා පාඩම් ගැන දෑස් පියාගෙන මොහොතක් සිතන්න. ස්තූතිවන්ත වීම හරහා ඔබගේ ශක්තිය ඉහළ යයි. ඒ සඳහා ඔබට Gratitude journal එකක් හෝ භාවිත කළ හැකියි. ‘කෘතඥතාව‘ යනු ඉහළම කම්පන සංඛ්‍යාතයක් වන අතර, ඒ හරහා ඔබ එළඹෙන වසරේ සාර්ථකත්වය හා සමෘද්ධිය ඔබ වෙතට ආකර්ෂණය කර ගැනීමට මාවත විවර කරනවා.

සහමුලින්ම පිරිසුදු වෙන්න. (Clean and Clear)

පිරිසුදු බව ලෙස මින් අදහස් කරන්නේ බාහිර සේම ඇතුළාන්තයෙන්ම අප පිරිසුදු වීමයි. 2026ට පෙරදී අපේ වටපිටාවත්, මනසත් පිරිසුදු කරගැනීම වැදගත්. ඔබගේ කාමරේ, අල්මාරියේ අනවශ්‍ය විදිහට ගොඩ ගහලා තියෙන හැම දෙයක්ම අයින් කරන්න (Decluttering). උදාහරණ ලෙසට ඔබ අඳින්නෙ නැති ඇඳුම් පැලඳුම්, සපත්තු, ආභරණ… ආදිය (ඒවා හොඳ තත්ත්වයේ පවතිනවා නම් එනම්, ඔබ මිලදී ගත්ත‍ද ඔබට අඳින්නට බැරි පලඳින්නේ නැති දෑ…) ඒවා ප්‍රයෝජනවත් කෙනකුට පිරිනමන්න.

විශේෂයෙන්ම ඔබට දුක ගෙනදෙන, ඔබේ confidence (ආත්ම විශ්වාසය) අඩු කරන, පරණ මතක තියෙන දේවල් එළියට දාන්න. තවදුරටත් පැහැදිලි කළහොත් ඔබේ ගෙවීගිය කටුක අතීත සම්බන්ධතාවලදී ඔබට ලැබුණු තෑගි දකින විට ඔබ මනසින් නැවත බිඳ වැටෙනවා නම්, විඳවනවා නම්, ඒ සියල්ල ඔබ වෙනුවෙන් ඔබම වෙනුවෙන් ඉවත් කරන්න.

මේ අනවශ්‍ය අවුල්වලින් අපේ හිතේ ශක්තිය අඩුවෙන බව මතක තබා ගන්න. ඒ නිසා අවුරුද්දට කලින් වටපිටාවත්, හිතත් නිදහස් කරගන්න.

එපමණක් නොව, Social Mediaවල ඉන්න අනවශ්‍ය අයව Block සහ Unfollow කරන්න. එනම් ඊර්ෂ්‍යාව, දුක, කේන්තිය හිතට ගේන, ඔයාගේ ආත්ම විශ්වාසය නැති කරන කවුරුන් හෝ සිටී නම්, අලුත් අවුරුද්දට යන්න කලින් ඔවුන්ව ඉවත් කරන්න. ඔබට සැබැවින්ම සහයෝගය දෙන, දැකීමෙන් පවා ඔබේ සිහින වලට සවියක් වන අයවලුන්…. පමණක්ම ඔබේ ගිණුමේ තියාගන්න.

ඔබ ඔබටම තෑග්ගක් දෙන්න. Gift to you

අප සෑම දේම සිදුකරන්නෙ අපගේ සතුට සැනසීම උදෙසායි.

ඔබ ඔබවම ආදරෙන් බලාගත යුතුමයි. ඔබ කාලයක් තිස්සේ ලබා ගැනීමට ආශාවෙන් සිටි දෙයක් මුදල් ගැන නොසිතා ඔබ ඔබටම තිළිණ කරන්න. එය ඔබ ගැනම සිතන බවට ඔබටම ලබාදෙන සහතිකයකි. සල්ලි ආයෙත් හම්බ කරන්න පුළුවන්. ඒත් ඒ අත්දැකීමෙන් ලැබෙන සතුට නැවත මේ වයසේ දී ලබා ගත නොහැකියි. ඔබ ඔබවම ඔබේ ආශාවන් තෘප්තිමත් කරවන්න. එය ඔබ දිනවන මායාවක් වේවී.

ආදරණීයයන් දරා සිටියාට පුංචි තෑග්ගක්

තාත්තා, අප්පච්චී.. මේ මොන නම කීවත් පවුලේ සැවොම තමාගේ හදවතේ තබාගෙන රකින්නේ ඔහුයි. ඔබේ අඩුපාඩු, මදිපාඩු පිරවූවා විනා, ඔහු ඔහු දෙස නොබලන්නට ඇති. මේ ඔබේ අවස්ථාවයි. පවුලම එක්ව තාත්තට අලුත් ඇඳුමක් හෝ ඔහු ආසම දෙයක් තිළිණ කරන්න. බොහෝ පියවරුන් තමන් වෙනුවෙන් කිසිවක් නොගෙන, පවුල වෙනුවෙන් කැප වන නිසා, මේ සරල වෑයමෙන් පවුලේ බැඳීම ශක්තිමත් වේවි. තාත්තා අහිමියි කියා දුක් වෙන්න එපා. එතුමා සිහි කරලා අසරණයකුට දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන්.

නොයෙක් විට ඔබේ පවුලේ පියා වන්නේ මව වන්නේත් ඇය වෙන්න පුළුවන්. එසේනම් ආදරණීය ඔබේ අම්මාව සරසන්න, ඔබේ ආදරයෙන්. තිළිණ කරන්න ආදරණීය ත්‍යාගයක්. බලන්න ඔවුන්ගේ සතුට, එයම ඔබට මහත් ආශීර්වාදයක් වෙනවා නොඅනුමානයි.

නිහඬ පැයක්

වසර පුරා පැවති ඝෝෂාවෙන් මිදිලා, පැයකට හෝ නිශ්ශබ්දතාව විඳින්න. කිසිම දෙයක් ගැන නොහිතා නිහඬව ඉන්න බලන්න. නිශ්ශබ්දතාව කියන්නේ හිතට හොඳම සැනසීමයි. ඒ හරහා හිතේ ශක්තිය නැවතත් ඉහළට නැංවේ. මේ ආකාරයට ඉන්නා විට, ජීවිතේ තියෙන ඇත්ත ලස්සන ඔබටම දැනෙන්න පටන් ගනීවි.

ඔබට මඟහැරුණු සුන්දරත්වය, සොබා මිහිර නැවත ඔබව සුවපත් කරාවී.

දුරකතන භාවිතය සීමා කරන්න. Limit your Screen time

බලන්න ඔබ දවසකට කොතරම් වෙලාවක් ඔබේ ජංගම දුරකතනය දෙස බලාසිටී ද, ඔබේ laptop, computer, tab එක දෙස බලා සිටීද…? එයයි මේ. Screen time එකට වහල් වෙන්න එපා. දවසට ඔබ දුරකතනය භාවිත කරන කාලය සීමා කරන්න (Screen Time Limit). ඉතුරු වෙලාව ඔබගේ ජීවිතේ ඉලක්ක වෙනුවෙන් යොදවන්න. සැබෑ ලෝකයට වටිනාකමක් දෙන්න. එවිට නිරායාසයෙන්ම ඉලක්ක දිනාගැනීම පහසු වේවි.

මේ සරල To do List එක අවුරුද්ද ඉවර වෙන්න කලින් කරන්න පුළුවන් නම්, ඔයාට පුළුවන් හරිම සතුටින්, තෘප්තිමත්ව වසර ඉවර කරන්න. මේ පුරුදු අලුත් අවුරුද්දටත් අරන් යන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරලා, විශේෂ කෙනෙක් වෙන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕ‍ෙන.!

සෑම මොතක්ම අර්ථවත් කරගන්න.

2026 නව වසර ශක්තිමත් ඔබට සුබම වේවා!

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?