Monday, December 29, 2025
Epaper
Home Recipeකටට රසට ​ලුණු මිරිස්

කටට රසට ​ලුණු මිරිස්

by Mavan Perera

අලුත් අවුරුද්ද උදාවන විට අපේ කෑම මේසය සැබෑ උත්සවශ්‍රීයකින් පිරී යයි. කිරිබත්, කැවුම්, කොකිස්, ආස්මි අතරේ, අපේ කෑම මේසයේ රසයේ රජු ලෙස මේසය මත වැජඹෙන්නේ ලුණුමිරිසයි. එමඟින් අපේ ජාතික අනන්‍යතාවය විදහාපානු ලබයි. ​ලුණුමිරිස් යනු සාමාන්‍ය “සයිඩ් ඩිෂ් එකක්” නොවේ. එය අපේ ගැමි රසයේ ආත්මයයි. අමු රතුලූනු, දේශීය මිරිස් කුඩු හෝ අමු මිරිස්, ලුණු ස්වල්පයක් සහ නැවුම් දෙහි බිංදු කිහිපයක් එකට එක්වී, වංගෙඩියේ හෝ මිරිස් ගලේ තළා ගත් විට, එය හුදෙක් මිශ්‍රණයක් නොව, ගිනි පුළිඟු වැනි සුවිශේෂී රසයක උත්පාදනයකි.

​අලුත් අවුරුදු දවසේදී, උදෑසන කිරිබත් පිඟානට ලුණුමිරිස් ටිකක් මිශ්‍ර කර ගන්නා විට, ඒ මෘදු පැණි රසය සහ සැර කට ගැස්ම අතර ඇති වන සංකලනය සැබවින්ම දිව්‍යමයයි. ලුණුමිරිස් නොමැති කිරිබත් වේලක්, රසයෙන් අඩුවක් දැනෙන අතර, එය සම්පූර්ණ කිරීමට ලුණුමිරිස්වලට ඇති හැකියාව අති මහත්ය.

​එපමණක් නොව, උත්සව සමයේදී අලුතින් නිවෙස්වලට එන අමුත්තන්ට ඉක්මනින් පිළිගන්වන පාන්, රොටී හෝ ආප්ප වේලකදී පවා ලුණුමිරිස් අත්‍යවශ්‍ය වේ. එය සාම්ප්‍රදායිකත්වය, සරල බව සහ සැරට කන අපේ ජාතියේ රුචිකත්වය සංකේතවත් කරයි.

සැරට, ලුණු රසට, ටිකක් ඇඹුල් රසට මුසු වූ මේ පුංචි ලුණු මිරිස් ගුළිය, අපේ අලුත් අවුරුදු කෑම මේසයට ආලෝකයක් සහ නැවුම් උත්තේජනයක් ලබා දෙන රස ගුණයේ කේන්ද්‍රස්ථානයයි. එය නොමැතිව අපේ සිරිතට අනුව අවුරුදු කෑම වේලක් සම්පූර්ණ විය නොහැකිය.

රතු ලුණුමිරිස

මෙය කිරිබතට නැවුම් රසයක් ලබා දෙනු ලබයි. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, රතුලූනු ග්‍රෑම් 150ක්, කෑලි මිරිස් ග්‍රෑම් 50ක්, කුඩු මිරිස් මේස හැඳි 01ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, දෙහි ගෙඩි 02ක යුෂ හා උම්බලකඩ (අවශ්‍ය නම්) සූදානම් කරගන්න. ඉන්පසුව මුලින්ම රතුලූනු ගලක හෝ වංගෙඩියක තළා හෝ අඹරා ගන්න. හොඳින් මතක තබා ගත යුතු කරුණ නම් මේ වගේ සාම්ප්‍රදායික කෑම සකසා ගැනීමේදී පැරණි ක්‍රමය අනුගමනය කිරීම එම ආහාරය වඩාත් රසවත් වීමට හේතුවකි. ඉන්පසුව ක්‍රමයෙන් ලූනු තැළී එද්දී මිරිස් කෑලි හා මිරිස් කුඩු ලුණු, උම්බලකඩ මෙය පිළිගැන්වීමට ආසන්නයේදි දෙහි යුෂ දමා අනා ගන්න. මතක ඇතිව දෙහි පොතු කිහිපයකුත් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පිළිගැන්වීමේදී එය ඉවත් කරන්න. මෙයින් දෙහි පොත්තක ඇති පැඟිරි සුවඳ ලුණුමිරිසට එක් වන අතර එයින් අමුතුම රසයක් ගෙන දේ.

බී ලූනු කට්ට සම්බෝලය

දේශීය අපේ කිරිබතට නැතුවම බැරි අංගයකි. මෙය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, බී ලූනු ග්‍රෑම් 200ක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කරපිංචා ස්වල්පයක්, රම්පෙ ස්වල්පයක්, එනසාල්, කරාබු නැටි, කුරුඳු ස්වල්පය බැගින්, කෑලි මිරිස් ග්‍රෑම් 100ක් කුඩු මිරිස් මේස හැඳි 01ක්, සීනි ස්වල්පයක්, පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට හා උම්බලකඩ (අවශ්‍ය නම්) ආදිය සකසා ගන්න. ඉන්පසුව මුලින්ම ලූනු කුඩාවට චොප් කරගන්න. දැන් භාජනයක් ළිප තබා තෙල් රත් වෙද්දි රම්පේ, කරපිංචා, තළාගත් එනසාල්, කරාබු නැටි හා කුරුඳු කැබැල්ලක් දමන්න. (කැබැල්ල පිටින් දමන්න ඉවත් කරන්නට ලේසි වෙන්න) ඉන්පසුව මෙයට මිරිස් කුඩු හා කෑලි මිරිස්, සීනි, ලුණු සියල්ල දමන්න. ඉන්පසුව තළාගත් ලූනු ටික දමා මිශ්‍ර කරගන්න. මෙහිදී ගොඩක් ලූනු තැම්බීමට නොදෙන්න. ලූනු කැබැල්ලක් ගෙන හපා බලා කරස් ගතියෙන් තිබිය දී බා ගන්න. අවශ්‍ය නම් උම්බලකඩ එකතු කරන්න.

රෝස්ටර් කට්ට සම්බෝලය

ලුණුමිරිසට අමතරව මේවාද කිරිබතට නැවුම් රසයක් ලබා දෙනු ලබයි. මෙය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, වියළි මිරිස් කරල් 15ක් පමණ, රතුලුනූ ග්‍රෑම් 300ක්, දෙහි ගෙඩි 04 යුෂ, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, තක්කාලි ගෙඩි 07ක් පමණ, කීරමින් කරවල කූරි 05ක් පමණ, සීනි ස්වල්පයක් ආදිය සූදානම් කර ගන්න. පසුව යකඩ කූරක මිරිස් කරල් ටික ගසාගෙන හොඳින් පුච්චා ගන්න. රතුලූනු සුද්ද කර තෙලේ හොඳින් බැද ගන්න. (සාමාන්‍ය තරමට) තක්කාලි ගෙඩි ටිකද යකඩ කූරේ ගසාගෙන පුච්චා ගන්න. ඉන්පසු තක්කාලිවල පොතු ඉවත් කර ගන්න. කීරමින් කරවලද මෙලෙස පුච්චා කටුව ඉවත් කර ගන්න. ඉන්පසුව තක්කාලි හා ලූනු හොඳින් තළා ගන්න. පුච්චා ගත් මිරිස් කරල් ටිකද හොඳින් අතින් කුඩු කරගන්න. ඉන්පසු එයටම එකතු කර ගන්න. කීරමින් කරවල ටිකද හොඳින් පොඩි කරගෙන එයටම එකතු කරගන්න. දෙහි යුෂ, සීනි, ලුණු ස්වල්පය බැගින් අවශ්‍ය ප්‍රමාණයට දමාගෙන කවලම් කරගන්න. මෙය රසවත් වගේම දින කිහිපයක්ද කල් තබා ගත හැකි කට්ට සම්බෝලයකි.

නයි කොච්චි ලුණුමිරිස

තවද රසවත් ලුණුමිරිස් වර්ගයක් වන්නේ නයි කොච්චි ලුණුමිරිසයි. මෙය සෑදීමට අවශ්‍ය වන්නේ, ඉඟුරු අඟල් 03ක පමණ කැබැල්ලක්, සුදුලුනූ ලොකු බික් 02ක්, සීනි ස්වල්පයක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, නයි කොච්චි ග්‍රෑම් 100ක්, අමු මිරිස් කරල් 06ක් පමණ හා දෙහි ගෙඩි 2/3ක් යුෂ ලබා ගන්න. පසුව ඉඟුරු හා සුදුලූනු එකට දමා බ්ලෙන්ඩ් කර ගන්න. ක්‍රීම් එකක් වන තුරුම. ඉන්පසුව ලුණු ටිකත්, කොච්චි හ අමු මිරිස් ද තළා ගන්න. මෙයටම සීනි, ලුණු හා දෙහි යුෂ දමා ගන්න. ඉන්පසුව මුලින් කොටා ගත් ඉඟුරු හා සුදුලූනු ක්‍රීම් එකද දමා ගන්න. මෙය හොඳින් කලවම් කර ලුණු ඇඹුල් බලන්න. සැර වැඩි නම් මඳක් සීනි දමන්න. මෙය සැරට කන්න කැමැති අයට කදිම ලුණුමිරිසකි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?