ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායකයන් ගැයූ ගී ඔවුන්ගේම පුතුන් හෝ මුනුපුරන් විසින් ගායනා කරමින් ප්‍රසංග පැවැත්වීම අරුමයක් නොවේ. එහෙත් ප්‍රවීණ ගායකයන්ගේ ගීත ඔවුන්ගේ දියණිවරුන් ගායනා කළ අවස්ථාවක රසිකයෙක් වන්නට ඔබට අවස්ථාව ලැබී තිබේදැයි සැක සහිතය.
ප්‍රසාද ප්‍රසංගා යනු එවන් රස මොහොතක් ඔබට ළඟා කර දෙන සොඳුරු ප්‍රසංගයකි. එහිදී අපේ රටේ රසික හදවත් දිනූ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ දියණිවරු සිවුදෙනෙක් ඔබ හමුවේ ගී ගායනා කරති.
ඒ අනුව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දියණිය සුභානි අමරදේව, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ දියණිය අනුරාධා නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දියණිය මංජුලා රත්නායක, විශාරද අමරසිරි පීරිස්ගේ දියණිය ජනනි පීරිස් මෙහි ගීත ගායනා කරති. විශාරද මනෝජ් පීරිස්ගේ අදහසක් අනුව මෙම ප්‍රසංගය සංවිධානය කෙරෙයි. මේ සඳහා සංවිධාන ශක්තිය ලබා දෙන්නේ රොෂාන් සෙනෙවිරත්නයි. මෙහි සංගීතය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දය විසින් සිදු කරන අතර පූරක ලෙස ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක වසන්ත රෝහණ මහතා කටයුතු කරයි.
මෙහිදී දියණිවරුන් විසින් ගායනා කරන්නේ සිය පියවරුන් ගැයූ ගීත පමණක් වීම විශේෂත්වයකි. එයිනුත් ආදර ගීත පමණක් ඔවුන් විසින් ගායනයට තෝරා ගෙන තිබීම කැපී පෙනේ. මෙහි වඩාත් කැපී පෙනෙන කාරණය වන්නේ පියවරුන්ගේ ගීත සිය දියණිවරුන් විසින් ගායනා කරන පළමු ප්‍රාසාංගික අවස්ථාව මෙය වීමයි. ප්‍රසංගය පුරා ගීත 25ක් පමණ ගායනා කෙරෙන අතර මෙහිදී ඒකල ගීත මෙන්ම යුග ගී ද ගායනා කෙරෙයි. යුග ගී ගායනය සිදු කරන්නේ ද ප්‍රසංගයේ ප්‍රධාන ගායිකාවන් විසින් වීම විශේෂත්වයකි.
මෙම ප්‍රසංගය 2026 ජනවාරි 9 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සවස 7 ට ආරම්භ වීමට නියමිතය.
තාත්තාගේ බලාපොරොත්තුවේ පළමු පියවරයි
සුභානි අමරදේව
මගෙයි තාත්තාගෙයි බැඳීම සසර පුරා එන එකක්. තාත්තගේ ජාන ඇතුව ඉපදුණේ මම යැයි නිතර පැවසුවෙත් අපේ තාත්තාමයි. මගේ දුව ඉපදුණේ ඔයාගෙ බඩින්ද කියලා තාත්තා අම්මාගෙන් නිතරම ඇහුවෙත් ඒ නිසාමයි. තාත්තාගේ සංගීත ශෛලිය, ගතිගුණ වගේම අත්අකුරු පවා මට ඒ විදිහටම පිහිටලා තියෙනවා.
ඒ වගේම මම තාත්තාත් එක්ක මුලින්ම යුග ගීයක් ගායනා කරන විට මට වයස අවුරුදු දහ තුනයි. එදා මතකය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අනතුරුව අපේ රටේ වගේම විදෙස් රටවල් ගණනාවකම මං තාත්තා එක්ක යුග ගී ගායනා කර තිබෙනවා. මගේ කටහඬත් එක්ක යුග ගීවලට ගැළපෙන කටහඬ තිබෙන්නේ මගේ දුව සුභානිගේ යන්න එතුමාගේ මුවින් නිතර පිටවූ වාක්‍යයක්.
ඇත්තටම තාත්තායි මායි අතර තිබුණේ බොහොම ආදරණීය බැඳීමක්. විටෙක අපි යාළුවෝ දෙන්නෙක් වගේ ආදරණීය වුණු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඇත්තටම අද තාත්තා නැති වුණත් එතුමාගේ නොපෙනෙන ආශීර්වාදය මගේ ජීවිතයට තවදුරටත් ආලෝකයක් වෙනවා යැයි මා විශ්වාස කරනවා.
පාසල් කාලයේ මං ටිකක් ලැජ්ජාශීලියි. ඉතින් ඒ සබකෝලය අයින් කරලා මාව හදලා ගත්තේ මගේ තාත්තා. ඉතින් පාසල් කාලයේ මට සංගීතයෙන් ඉදිරියට එන්නට ලොකුම හයිය වුණේ මගේ තාත්තායි. තාත්තාගේ ගීත ශෛලිය නොවෙනස්ව පවත්වා ගනිමින් මා එය ඉදිරියට ගෙන යාවි යන බලාපොරොත්තුව එතුමාගේ සිතේ තිබුණා. ඉතින් එහි පළමු පියවර ලෙස මේ ප්‍රසංගය හඳුන්වා දිය හැකියි.
ප්‍රසංගයට තාත්තාගේ ආශීර්වාදය හිමි වුණා.
මංජුලා රත්නායක
මං තාත්තාගේ ගීතවලට තාත්තාත් එක්ක අත්වැල් ගායනා කර තිබෙනවා. ඊට අමතරව මං සරල ගී වැඩසටහන් කරන විට තාත්තා මට ගීතයක් සංගීතවත් කර දුන්නා. මුල් කාලයේ මම සහ අක්කා සංගීත ක්ෂේත්‍රයට පැමිණීම සම්බන්ධයෙන් තාත්තාගේ එතරම් කැමැත්තක් තිබුණේ නෑ. එහෙත් අපි ගීත ගායනා කළා. මුලින්ම මං සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ කැසට් පටයකට බෝ අතු ඉති නැමී නැමී නමින් ගීයක් ගැයුවා. බොහෝ විට කළා ක්ෂ්‍රේත්‍රය තුළ ජීවිතය වරදින්න ඇති ඉඩකඩ ගැන තාත්තා අපිට අවවාද කළ හැටි මට මතකයි. ඒ අකැමැත්ත ඇතුළේ තිබුණේ ඇත්තටම යහපත් චේතනාවක් මිස අයහපත් චේතනාවක් නම් නොවේ.
තාත්තාගේ ඔබෙ දෙතොල් පෙති ලිහී ගීතයට මං වඩාත් කැමැතියි.
ඇතැම් විට එහි සසර සැරි සරන තුරු ඔබ මගේ යන කොටස නිසා ඊට මගේ කැමැත්ත වැඩි වෙනවා යැයි මා විශ්වාස කරනවා. කෙටියෙන්ම කීවොත් ඒ ගීතයේ විලාසයට මං හරි කැමැතියි. ඇත්තටම වික්ටර් රත්නායකගේ දුව නිසාම එදා සිට අද දක්වාම අපට සමාජයේ විශේෂ සැලකිල්ලක් ලැබුණා. මං එයින් ආඩම්බර වෙලා සමාජයේ උඩඟුව ජීවත් වුණේ නෑ. අපේ හදවතේ ඒ ගැන අභිමානයක් මිස ආඩම්බරකමක් නොතිබුණා කීවොත් නිවැරදියි.
තාත්තා දූ අනුරාධා ගීතය මං වෙනුවෙන් ගැයුවේ මට මාස දහයේදීයි
අනුරාධා නන්දසිරි
මගේ නමින් තාත්තා ගායනා කරන ගීතය සුවිශේෂී සලකුණක්. ඕනෑම තැනක කෙනෙක් මගේ නම ඇහුවාම අනුරාධා යැයි පැවසූ විටආ.. දූ අනුරාධා ද යැයි විමසන තරමට ඒ ගීතය විශේෂ වුණා. තාත්තා ඒ ගීතය ගායනා කර තිබෙන්නේ මට මාස දහයේදී. ඇත්තටම ඒ කාලේ තාත්තාගේ පන්තිවල අනෙක් සිසු සිසුවියන් සමඟ එක පැදුරක තියාගෙන තාත්තා මට සංගීතය ඉගැන්වුවා. ඉතින් අද මම සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කරන්නත් තාත්තාගේ ඒ ඉගැන්වීම් හේතු වුණා කීවොත් වැරදි නෑ. තව විශේෂ සිද්ධියක් කියන්නම්. අපේ තාත්තා කවදාවත්ම නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් පවත්වා තිබුණේ නෑ. එවන් තත්ත්වයකදී මගේ අතිජාත මිත්‍රයෙක් වූ විදුර ඩයස් අබේගුණවර්ධන සමඟ මං 2018 දී දූ අනුරාධා නමින් ප්‍රසංගයක් සංවිධාන කළා. මමයි, තාත්තායි, අම්මයි ගී ගයන ත්‍රිපුද්ගල ප්‍රසංගයක් ලෙස මෙය සංවිධාන කෙරුණා.
ඒ කාලයේ විදුර මට ගීතයක් ලිව්වා. ඒ පද පෙළ කියැවිලා මට ඇත්තටම ඇඬුණා. නදීක ගුරුගේ ඒ ගීය සංගීතවත් කළා. එය දුව තාත්තා ගැන කියන ගීයක්. ,”ඉමියුරු ගීයක් වෙද කුමන මා ඇමතුම මිස ඔබ නදින” යනුවෙන් එහි පද වැල් ලියැවී තිබුණා.
මං ගායනා කරන ගීත සියයට හැටකට වඩා මට හදලා දුන්නේ අපේ තාත්තා. මගේ පළමු සරල ගී වැඩසටහනේ ගීත තුනම තාත්තා.
මිය යමු දවසක එකම වෙලාවක සහ සදාකාලික හෝ අකාලික යමක් වේ නම් මා රැගෙන යන ගීත දෙකට මං වඩාත් කැමැතියි. තාත්තා ගායනා කරන ඒ ගීත දෙකම ලියා තිබෙන්නේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන් විසින්.
තාත්තා කවදාවත් මට කිසිම දේකට බල කළේ නෑ. මං සාමාන්‍ය පෙළ සංගීතය කළා. මං උසස් පෙළට තෝරා ගන්නේ ජීව විද්‍යා විෂයයන්. ඒ ගැන කිසිදු විරෝධයක් හෝ තාත්තාගෙන් එල්ල නොවන තරමට ඔහු මට තීරණ ගැනීමේ නිදහස දුන්නා. සාමන්‍ය ජීවිතයේ වගේම සංගීත ජීවිතයේදීත් ඒ නිදහස තාත්තාගෙන් මට ලැබුණා. ඒ ඒ කාලවලදී මං ගීත ගායනා කරද්දී වුණත් තාත්තා ඒ ගැයීම් අගය කළා. ඒත් තාත්තා මං දරුවන්ට උගන්වන ආකාරයට සහ ගීත ගායනා කළ ආකාරය ගැන ගොඩක් සතුටු වුණා. ඒත් තාත්තා ගායිකාවක් වෙන්න මාව තල්ලු කළේ නෑ. ඒත් ඔහු මට ගුරුවරියක් වන්නට පසුබිම සකස් කළා.
හොඳින් ප්‍රගුණ කර කේෂ්ත්‍රයට එන්නැයි තාත්තා නිතරම මට අවවාද කළා
ජනනී පීරිස්
තාත්තගේ ගීත අතරින් මං වඩාත් කැමැති ළඳුනේ ගීතයට. එය සමාජ අසාධාරණයට ලක් වූ කාන්තාවන් කොටසක් ගැන ලියැවුණු ගීයක්. එය වර්තමාන තරුණ පරපුර පවා ආදරයෙන් වැළඳ ගන්නා ගීතයක් බව කිව යුතුයි.
ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් ලෙස මෙන්ම සංගීත නිර්මාපකයෙකු ලෙස මං තාත්තාව දකිනවා. ඉතින් එවන් දියණියකගේ පියෙකු වීම ගැන මට තියෙන්නේ විශාල අභිමානයක්. ඒක පුද්ගල ගී ප්‍රසංගවලදී තාත්තා සමඟ යුග ගී ගැයීමට ලැබීම මගේ ජීවිතයේ තාත්තා සමඟ ගොඩනැගුණු අමතක නොවන මතකයන් වෙනවා.
තාත්තා නිසා මට ලැබුණු පන්නරය සහ වරප්‍රසාද බොහෝමයක් තිබෙනවා. ඉතින් මං සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහින් අද රජයේ ගුරුවරයෙක් ලෙස කටයුතු කරන්නෙත් තාත්තාගෙන් ලැබුණු පන්නරය නිසා බව කිව යුතුයි. ඒ නිසා සැම අවස්ථාවකදීම අමරසිරි පීරිස්ගේ දියණිය වීම නිසාම මට සමාජයෙන් ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක් සහ ගෞරවයක්.
තාත්තාට ගොඩාක් සතුටුයි. හොඳින් ප්‍රගුණ කර හොඳින් පුහුණුවීම් කර කේෂ්ත්‍රයට එන්නැයි කියා තාත්තා මට නිතරම අවවාද කරනවා. මා කේෂ්ත්‍රයට එන්නට ප්‍රමාද වුණත් මා පැමිණියේ නිවැරදිම කාලයේය යන්න මාගේ විශ්වාසයයි. තාත්තා වගේම ප්‍රවීණයින් තිදෙනෙකුගේ දියණිවරුන් සමඟ එකම ප්‍රසංගයක ගී ගායනා කිරීම ගැනත් තාත්තා ඉන්නේ බොහොම සතුටින්.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
