උදා වූ අලුත් අවුරුද්දේ තරුණී නිර්මාණ පිටුව හැඩ කරන්න නවක නිර්මාණ ශිල්පිනියන්ට අවස්ථාවක් තිළිණ කරන්න අපි සිතුවෙමු. මේ එහි පළමු පියවරයි.
මේ නිර්මාණය අද කාලයේ ගෘහිණියන් අතර ඉතා ජනප්‍රිය එකකි. විශේෂයෙන් මුළුතැන්ගෙයි ප්‍රයෝජනයට සහ දෑත්වල ආරක්ෂාව සඳහා, විශේෂයෙන්ම විදුලි උදුන් (අවන්) භාවිතයේදී දෙඅත් පිලිස්සීමෙන් ආරක්ෂා වීමට මෙය භාවිත කෙරේ.
අවශ්‍ය ද්‍රව්‍ය
කපු රෙදි කැබැල්ලක්
කතුරක්
අඟල් 1/4 ස්පොන්ජ් කැබැල්ලක්
ලයිනින් සඳහා පොප්ලින්
මහන මැෂිමක්
නිර්මාණය කිරීම
* දී ඇති ආකාරයට පතරොම රෙද්ද මත තබා ඇඳගන්න.
ඒ ආකාරයේ කොටස් දෙකක්, ස්පොන්ජ් කොටස් දෙකක් සහ ලයිනින් කොටස් දෙකක් කපා ගන්න.

* ඝනකම වැඩියෙන් අවශ්‍ය නම් අමතර ස්පොන්ජ් කොටස් දෙකක් කපා ගන්න.
* ඉන්පසු කපු රෙද්ද සහ ස්පොන්ජ් එක මත එක තබා කැමැති රටාවකට උඩින් මසා ගන්න. කපු, ස්පොන්ජ් මේ ආකාරයට කොටස් දෙකක් කපා ගන්න.
* ඉන්පසු මෙම කොටස් දෙකේ හොඳ පැත්ත ඇතුළට සිටින ආකාරයට තබා ලයිනින් කොටස් දෙක එක මත එක තබා වටේ අඟල් 1/2න් මැහුම් වාසි තබා මසා ගන්න.
*ඉන්පසු එය සෙමෙන් හොඳ පැත්ත හරවා ගන්න.
දැන් මෙම නිර්මාණය අවසාන කිරීම සඳහා අත්වැසුමේ අත වටේ රඳවා ගැනීමට සුදුසු ආකාරයට කුඩා ලූපයක් මසා සවිකර ගෙන අඟල් 1ක් ප්‍රමණයේ රෙදි පටියක් කපා අත වටේ මසා ගැනීමෙන් පසු මෙම නිර්මාණය අවසන්කර ගන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
