2026 නව වසරක ආරම්භය සනිටුවහන් කරන මොහොතක්. ප්‍රථමයෙන්ම ලැබුවා වූ නව වසර ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නීරෝගි, සැපවත් ජීවිතයකට වාසනාව උදා වේවායි හෘදයාංගමව පතමි. තරුණී පාඨක ඔබට ජයෙන් ජයම පතමි.
මේ වනවිට අපගේ ගෘහිණියන් නිවෙස්, වටපිටාව ශුද්ධ පවිත්‍ර කර ගනිමින් නව ඔපයක් ලබා දී ඇති බව නොඅනුමානය. අලුත් ඇඳුම්, ආයිත්තම්වලින් බාහිර ස්වරූපය හැඩවැඩ කර ගන්නට ඔබගේ තිබෙන කැප කිරීම, උනන්දුව ඔබගේ ඇතුළාන්තය පිරිසුදු කර ගන්නට, පෝෂණය කර ගන්නට මේ වසරේ වැඩි ඉඩක් ලබා දීම ගැන හිතුවොත් නරක ද?
තමන්ගේ ජීවිතය මෙන්ම අනෙකාගේ ජීවිතය ගැන තමුන් හිතන පතන විදිහ, එනම් ආකල්පමය වෙනසකට මුල පුරන්නට ඔබට හැකි නම් මේ ලැබූ වසර ඔබට හැම අතින් ම නැවුම් බලාපොරොත්තු පූදින්නට මංපෙත් සලසාවි. ඔබ තුළ ඇති හණමිටි අදහස්, දූපත් මානසිකත්වයෙන් මිදී පොහොසත් සිතිවිලි උපද්දවා ගැනීමට මනස සකස් කර ගන්න මහන්සි ගන්න. ඒ සඳහා සරල නමුත් වැදගත් පියවර කිහිපයක් මෙසේ පෙළගස්වන්නට සිතුවෙමි.
මේ බොහෝමයක් කාරණා ඔබ දැනුම්වත් ඇති. එහෙත් මේ පුංචි කාරණා පිළිබඳ ගැඹුරින් සිතුවොත් ජීවිතයට ලැබෙන කලඑළිය සුළුපටු නොවේ. ඇසුර වැරදුනොත් සසරම වරදින බව බුදුබණේ පමණක් නොව හැම ආගමික ශාස්තෘන් වහන්සේලාම පෙන්වා දුන් සත්‍යයක්. ඒ නිසා ඔබ වටා සිටින මිතුරු වෙසින් සිටින පව්කාරයන්ගෙන් ඈත්වන්න දෙසැරයක් හිතන්න එපා. මනස සුවපත් කරන, යහමඟට අනුබල දෙන, මානසික පීඩාවන් ඇති නොකරන කල්‍යාණ මිත්‍රයන් ජීවිතයට සමීප කර ගන්න.
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නයෙන් හිස උදුම්මවා ගත් හිස් එහෙත් විෂ පිරුණු මනස දුර්වල තැනැත්තන්ගෙන් දෙවරක් නොසිතාම ඈත් වන්න. මනුස්සකම පිරුණු, අවංක හදවත් ඇති කාරුණික ඇසුර ඔබට ඉබේ පාත් වන්නේ නැත. ඒ සඳහා ඔබ බණ, දේශනා ශ්‍රවණය කළ යුතුය. මේ සඳහා ඔබ පන්සලට ම, පල්ලියට ම යායුතු නැත. රේඩියෝවෙන් ඔබේ නිවෙසටම මේ පහසුකම ලැබී තිබේ. ඉඩක් ලැබෙන හැමවිටම ධර්ම කරුණුවලට සවන් දීම පුරුද්දක් කර ගන්න.
බොරුවක් සියවතාවක් කියන, ඇහෙන විට ඇත්තක් විය හැකිය කියනවා මෙන්ම හොඳ දේවල් නිතර ඇහෙන, දකින, කියන විට අපට යහපතක් වනු නොඅනුමානයි.
කල්‍යාණ මිතුරු ඇසුර, ඇසූපිරූ ඇසුර, පොත්පත් කියවීම ආදිය කෙරෙහි වෙන කවරදාටත් වඩා බැඳෙන්න.
විවේකයක ලැබුණු විට කටකතා, ඕපදූප, පල්හෑලි, වැල්වටාරම් ,අපහාස කරමින් කාලය කා නොදමන්න. අපහාස කියන්නෙම භූමරංග. ඔබ විසි කරන වචන කවදා හෝ දවසක ඔබ වෙතම පැමිණෙනු නිසැකයි. රිද්දපු අයට රිද්දන්න යන්න එපා. හිතින් අත් හරින්න. නිහඬ වන තරමට ඔබට බොහෝ දේ පැහැදිලිව ඇසෙනු ඇත.අපට හමුවන බහුතර මිනිස්සු තැනට අදාළව රඟපානවා, එය තේරුම් ගන්න. ගහ කොළට, සොබාදහමට, සතා සිවුපාවාට වෙනදාට වඩා සෙනෙහසින් බැඳෙන්න. ඒ හරහා බොහෝ ආශ්චර්යයන් අපේ ජීවිතවල සිදු වේවි. සතුට අපේ නිර්මාණයක්. එය ඇතිකරගත හැක්කේ ද නැතිකර ගත හැක්කේ ද අපටමය. ‘සතුට’ ණයට ගත නොහැක. නමුත් බෝ කළ හැකිය.
