Wednesday, January 7, 2026
Epaper
Home විශේෂාංගතරුණ ඔබට මුදල් කළමනාකරණයට උපදෙස්

තරුණ ඔබට මුදල් කළමනාකරණයට උපදෙස්

by Shanaka Lakehouse

වර්තමානයේ බොහෝ තරුණයන්ට තමන් සතු මුදල් නිවැරදිව හසුරවා ගැනීමට අවබෝධයක් නැත. තමන්ගේ මාසික වැටුපට ගැළපෙන අවශ්‍යතා හඳුනා නොගැනීම, නිවැරදි ආයෝජන මූලධර්ම නොදැන සිටීම, නිවැරදි අයවැය වියදම් හසුරවා ගැනීමට අවබෝධයක් නැති වීම, වැනි හේතු කාරණා නිසා වත්මන් තරුණ පරපුර බොහෝ සෙයින් ණය බරින් පීඩා විඳිති. ජීවිතයේ හොඳම සමය තරුණ විය ණය බරින් පීඩා විඳීමට අප කවුරුත් අකැමැතිය. මෙලෙස අනවශ්‍ය ණය ගැනීම්, මුදල් හිඟවීම වැනි ගැටලු තරුණයන් තුළ මතු වන්නේ ඔවුන් සතුව මුදල් කළමනාකරණය පිළිබඳව පවතින අවබෝධය මදිකම නිසාය.

මුදල් කළමනාකරණය හා එයින් තරුණ ප්‍රජාවට ඇති වැදගත්කම

මුදල් කළමනාකරණය යනු අපට ලැබෙන ආදායම නිවැරදිව හසුරවා ගන්නේ කෙසේද යන්නයි. එනම් අපට ලැබෙන ආදායම වියදමට සමාන කරගන්නේ කෙසේද යන කාරණාවයි. අද තරුණ ප්‍රජාව අත්‍යවශ්‍ය දේවලට වියදම් කිරීම වෙනුවට අනවශ්‍ය දේවලට වියදම් කිරීමට පුරුදු වීම නිසා නිසි ලෙස මුදල් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සරල අවශ්‍යතා සංකීර්ණ කර ගැනීම නිසා ඔවුන්ට මුදල් කළමනාකරණය කර ගැනීම අද වන විට සිහිනයක් බවට පත්ව ඇත. බොහෝ විට අද තරුණ ප්‍රජාව තමන්ගේ සමකාලීනයන් ජීවත්වන ආකාරය, පරිභෝජනය කරන දේවල්, ඔවුන්ගේ ආහාර රටා, විලාසිතා දෙස බලා ඒ අය හැසිරෙන ආකාරයෙන් සමාජයේ ජීවත්වීමට පුරුදු වීම නිසා මාසික වියදම් හරියාකාරව කළමනාකරණය කරගැනීමට බොහෝ තරුණයන් අපොහොසත් වේ.

මුදල් කළමනාකරණය පිළිබඳව අවබෝධයක් නැති වීමෙන් තරුණ ප්‍රජාවට ඇතිවිය හැකි අවදානම් තත්ව තමන්ගේ අවශ්‍යතා සීමා රහිත වූ විට වියදම ද වැඩිවේ. මේ හේතුවෙන් බොහෝ තරුණයන් අද වන විට අමතර මුදල් සෙවීමට විවිධ උපායමාර්ග භාවිතයට පෙලඹේ. විශේෂයෙන්ම නීත්‍යනුකූල නොවන මුදල් සෙවීමේ ක්‍රියාමාර්ගවල නිරතවීමට ඔවුහු පෙලඹෙති. මත්ද්‍රව්‍ය ඇතුළු නීත්‍යනුකූල නොවන ව්‍යාපාරවලින් මුදල් සෙවීමට යාමෙන් ඔවුන් තමන්ගේ ජීවිතය නිස්කාරණයේ නාස්ති කරගනියි. එපමණක් නොව තමන්ගේ අවශ්‍යතාවට උචිත බඩුබාහිර ආදිය ගැනීම සඳහා බොහෝ දෙනා ණය මුදල් ගැනීමට ද පෙලඹේ. ණය මුදලක් අප ගත යුත්තේ අපට ප්‍රයෝජනවත් වන දෙයකට පමණි. නැත්නම් අනවශ්‍ය දේ මිල දී ගැනීමට අප යම් ණය මුදලක් ගැනීමෙන් සිදු වන්නේ දීර්ඝකාලීනව ණය බරින් පීඩා විඳීමටයි.

ණය සහ ණය කළමනාකරණය කර ගැනීමට තරුණ ප්‍රජාවට උපදෙස්

ණය කළමනාකරණය කිරීමේදී සෑම විටම ණයක් ලබා ගත් විට ණයක් ලබා ගත්තේ ඇයිද යන කාරණාව පිළිබඳව සෑම විටම සැලකිලිමත් විය යුතුය. තමා ණය මුදලක් ලබා ගන්නේ ඇයි? ප්‍රයෝජනවත් දෙයක් සඳහාද? නැද්ද? යන කාරණාව පිළිබඳ සෑම විටම ණයක් ගැනීමට පෙර තමා විසින් පිරික්සා බැලිය යුතුය. විශේෂයෙන්ම ණය ගැනීමේදී එය යම් කිසි ආයෝජනයක් සඳහා හෝ නැවත මුදලක් තමාට ලබා ගත හැකි දෙයක් සඳහා යෙදවිය යුතුය. එසේ නොමැතිව දෛනික ජීවිතයේ පරිභෝජනය තකා ණය ගැනීම යෝග්‍ය නොවේ. සෑම විටම තමන් ණය මුදලක් ලබා ගත යුත්තේ අත්‍යවශ්‍යම සහ ප්‍රයෝජනවත් දෙයකට පමණක් බව තමා විසින්ම සිතැඟියාවක් ගොඩනඟා ගත යුතුය. එමෙන්ම තමාට ණය මුදලක් ලබා ගෙන එය ගෙවිය හැකි නම් පමණක් ණය මුදලක් ලබා ගත යුතුය. ණය මුදල ගෙවීමට තමා තුළ ශක්තියක්, විශ්වාසයක්, විධිමත් ආදායමක් ඇත්නම් පමණක් ණය මුදලක් ලබා ගැනීම වඩා සුදුසු වේ.

අයවැය හා මුදල් ඉතිරි කිරීමට තරුණ ප්‍රජාවට උපදෙස්

දෛනික අයවැය පාලනය කිරීම සහ මුදල් ඉතිරි කිරීමේදී මූලික වශයෙන් අපට දෛනිකව අවශ්‍ය වන්නේ මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙයි. උදාහරණයක් ලෙස දෛනිකව අප කීවේලක් ආහාර ගන්නවාද? ආහාර ගන්නේ මොනවාද? වශයෙන් දෛනිකව අපට වියදම් කිරීමට අවශ්‍ය වන දේවල් පිළිබඳව මූලික අවබෝධයක් තිබිය යුතුය. එහිදී අත්‍යවශ්‍යම දේවලට හැර අනවශ්‍ය දේවලට මුදල් වැය කිරීමට නොපෙලඹිය යුතුය. විශේෂයෙන්ම ඔබේ යහළු, මිත්‍ර, හිතවතුන් ආදින්ට අවශ්‍ය පරිදි දෛනික ජීවිතයේ අනවශ්‍ය ගමන්, උත්සව අවස්ථාවට සහභාගි වීම්, සාද පැවැත්වීම් ආදී අවස්ථාවට තමාට හැකිනම් පමණක් සහභාගි විය යුතුය. එසේ නොමැතිව තමාට එවැනි අවස්ථාවලට සහභාගි විය නොහැකි, ඒ සඳහා වියදම් කිරීමට මුදල් නැති පසුබිමක අනවශ්‍ය ලෙස එවැනි දේවලට මුදල් වැය නොකළහොත් ඔබට අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීමෙන් වැළකිය හැකිය.

මුදල් ආයෝජනයක් සිදු කිරීමේදී තරුණ ප්‍රජාව සැලකිලිමත් විය යුතු කරුණු

ආයෝජනය කිරීමේදී Not puting all eggs in one basket යනුවෙන් කියමනක් පවතී. ( බිත්තර ගෙන ආ විට බිත්තර සියල්ලම එකම බඳුනකට නොදමන්න) මෙම ප්‍රකාශයෙන් මූලික වශයෙන් අදහස් වන මූලධර්මය නම් එකම තැනක යමක් ආයෝජනය කිරීමෙන්, තැන්පත් කිරීමෙන් වැළකිය යුතු බවයි. මුදල් ආයෝජනයක් කිරීමේදී එක් ආයතනයක, ව්‍යාපාරයක මුදල් ආයෝජනය කරනවාට වඩා තමන්ගේ මට්ටමට ගැළපෙන පරිදි ආයතන කිහිපයක හෝ ව්‍යාපාර කිහිපයක ආයෝජනය කිරීම තුළින් සාර්ථකත්වයක් අත්කර ගත හැකිය. යම් හෙයකින් එක් ආයතනයක පමණක් යම් මුදලක් ආයෝජනය කර එම ආයතනය පාඩු ලැබුවහොත් ඔබට සමස්ත මුදලම අහිමි විය හැකිය. නමුත් ඔබ තැන් කිහිපයක ආයෝජනය කර තිබුණහොත් ඔබට මුළු මුදලම අහිමි වන්නේ නැත. ආයෝජනය කිරීම තුළ අවදානමක් ඇත. සෑම විටම ආයෝජනය කිරීමේදී අප අවදානමක් ගන්නා බැවින් අවදානම ගැනීම තුළ අපට අත්වන ප්‍රතිලාභය කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් තිබීම ඉතා වැදගත් වෙයි. සෑම විටම උපායශීලිව, උපක්‍රමශීලිව මුදල් ආයෝජනය කිරීමට තමා තුළම විශ්වාසයක් ඇති කරගැනීම ද ඉතා වැදගත් වේ.

TEXT – ජීවන්ත ගුණවර්ධන කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?