Wednesday, January 7, 2026
Epaper
Home විශේෂාංගකල්පිටිය අර්ධද්වීපයේ යමුද සංචාරයක්

කල්පිටිය අර්ධද්වීපයේ යමුද සංචාරයක්

by Shanaka Lakehouse

වසරේ දවස් 365ම වගේ දැඩි හිරු රශ්මියෙන් නැහැවුණු කල්පිටිය, සංචාරය කරන්න බොහෝ දෙනෙක් ඇල්මක් දක්වන ප්‍රදේශයක්.

පුත්තලමට ඉහළින් ලංකාවට සම්බන්ධ පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර 100ක් පමණ දිගැති දෙපසින්ම කරදිය සපිරි භූමියක්.

අව්ව සැර වුණත් සුළං හමන එකේ නම් අඩුවක් නැහැ. කල්පිටිය සංචාරක පුරවරයක් ලෙසයි නම් කොට ඇත්තේ. එසේ නම් කිරීමට පෙර සිටම එය ඩොල්ෆින් මසුන් නරඹන්නට කදිම ස්ථානයක් ලෙස ප්‍රචලිතයි.

කල්පිටිය කියන්නේ අර්ධද්වීපයක්. එක් පසකින් සුන්දර වෙරළ තීරයත් අනෙක් පසින් වටිනා කඩොලාන පද්ධතියකුත් මෙය සතුයි.

ගමන් මාර්ගය

ශ්‍රී ලංකා සිතියමේ හලාවත පසුකොට පුත්තලමට පෙර පාලවිය. ප්‍රදේශයෙන් හැරෙද්දී කල්පිටිය මාර්ගය හමුවෙනවා. සංචාරය කරන පිරිස් බොහෝ විට තමන්ගේම වාහනයකින් පැමිණියත්, කොළඹ සිට කල්පිටිය දක්වාම ධාවනය වන බස් රථ ද තියෙනවා.

*කොළඹින් පිටත්වන A7 මාර්ගයේ (කොළඹ – කල්පිටිය) ධාවනය වන බස් රථයකින් කෙළින්ම කල්පිටියට ගමන් කරන්න.

පුත්තලම කලපුව

කල්පිටියට මුලින්ම යද්දී හමුවෙන්නේ පුත්තලම කලපුව. Sunset එක මෙතැනට හරිම ලස්සනට පේනවා. ශ්‍රී ලංකාවේ ලොකුම කලපුව මෙයයි.

ලුණු ලේවායන් සහ ඉස්සෝ කොටු

කල්පිටියට යන මාර්ගය දෙපැත්තේ පුත්තලමේ ලුණු ලේවායන් සහ ඉස්සෝ කොටු දැක ගන්නට පුළුවන්. පුත්තලම ලුණු සමාගමට ලුණු සැපයෙන්නේ මේ ලුණු ලේවායන්ගෙන්.

නොරොච්චෝලේ ලක්විජය තාප විදුලිබලාගාරය

මේ තමයි ශ්‍රී ලංකාවේ එකම ගල් අඟුරු තාප විදුලි බලාගාරය. නොරොච්චෝලේ විදුලි බලාගාරය යනුවෙනුයි මෙය ප්‍රසිද්ධ. අද දවසේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිපදවෙන විදුලියෙන් හරි අඩක් පමණ ප්‍රමාණයක් නිපදවෙන්නේ මේ තාප විදුලි බලාගාරයෙන්.

කල්පිටියට පැමිණෙන මාර්ගයේ හමුවන මෙම ලක්විජය තාප විදුලි බලාගාරය අධ්‍යාපනමය වටිනාකමක් ගෙන දෙන, පාසල් යන වයසේ පසුවන්නන් මෙන්ම සෙසු අයත් නැරඹිය යුතුම ස්ථානයක්.⁣

Kite surfing

කල්පිටිය වෙරළ තීරයේ දිය මත පා වෙන සරුංගල් (Kite Surfing) ක්‍රීඩාව දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා.දිය මත පාවෙන සරුංගල් සැණකෙළිය හරිම දැකුම්කලු දර්ශනයක්. මීට වසර පහකට ඉහතදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ දිය මත පා වෙන සරුංගල් ක්‍රීඩාව සඳහා විදේශීය සංචාරකයන් කල්පිටිය වෙරළට ඇදී එන නමුත් එයට අවශ්‍ය තරම් යටිතල පහසුකම් නොමැති බවයි සංචාරක කර්මාන්තයේ නිරත ජනතාව පෙන්වා දෙන්නේ.

ඩොල්ෆින් සහ තල්මසුන්

පැය බාගයක, පැයක මුහුදු ගමනකින් කල්පිටියේ දී ඩොල්ෆින් දැක ගැනීමට හැකිවන අතර කලපුවාසී ඩොල්ෆින් අවුරුද්දේ සෑම කාලයකදීම පාහේ දැක ගැනීමට පුළුවන්. හැබැයි මුහුදු ඩොල්ෆින් බහුල කාලයක් තියෙනවා. කල්පිටියට ඇදෙන දෙස් විදෙස් සංචාරකයෝ මෝටර් බෝට්ටුවලින් ඩොල්ෆින් සොයා පුත්තලම කලපුව සහ යාබද සාගරය පීරා යති. බෝට්ටුවත් සමඟින් සමාන්තරව පිහිනන ඩොල්ෆින් සහ තල්මසුන් ඇසට පෙනෙන තෙක් මානයේ සිට පිනුම් ගසන්නේ නැරඹීමට එන සංචාරකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙමින්.

තලවිල ශාන්ත ආනා දේවස්ථානය

දේව හාස්කම් රැසක් ඇති තලවිල ශාන්ත ආනා දේවස්ථානය කල්පිටිය සංචාරයේදී දැක බලාගත යුතුම තැනක්. කොළඹ පුත්තලම ප්‍රධාන පාරේ පාලවිය හංදියෙන් හැරී කිලෝමීටර් 31ක් පමණ ගියපසු මෙම අපූරු සිද්ධස්ථානය හමුවෙනවා.

මෙය ලංකාවේ පැරණිතම ක්‍රිස්තියානි පල්ලිය ලෙස සැලකෙනවා. මුල් කාලයේ ඕලන්ද ජාතිකයන් තමන්ගේ නැව කැඩී අද තලවිල පල්ලිය තිබෙන තැනට ගසාගෙන ඇවිත් තිබෙනවා. ඉන්පසු ඔවුන් දෙවියන්ට බාරයක් වී හෙමි හෙමින් කුඩා නැව යළි තනාගෙන නැවත ඕලන්දයට යාත්‍රා කොට කෘතගුණ දැක්වීම සහ බාරය ඔප්පු කිරීම පිණිස නැවත තලවිල පුදබිමට පැමිණ එහි වූ පැරණි දේවස්ථානය ගොඩනඟලා. අද එතැන විශාල දේවස්ථානයක්. මංගල්‍යය ඇති කාලයට ක්‍රිස්තියානි බැතිමතුන් සියදහස් ගණනක් එක්රැස් වන මනරම් පුදබිමක්.

මරිය මවුතුමියගේ මව වන ශාන්ත ආනා මුනිවරියට කැප කර ඇති ස්ථානයක්.මෙහි මංගල්‍යය අගෝස්තු මුල් සතියේ පැවැත්වෙනවා.

දූපත් සවාරි

කල්පිටියට ඉහළින් දූපත් 12ක් පමණ තිබෙනවා. ඒ අතරින් බත්තලංගුණ්ඩුව මෑත කාලයේ ජනප්‍රිය වූ දූපතකි. මෙහි රැයක් පහන්කර හෝටලයක ලැගුම් ගෙන ඒමට අවස්ථාව තිබෙනවා. බත්තලංගුණ්ඩුව කරා දිනපතා උදෑසන 08.30ට මහජන බෝට්ටුවක් ධාවනය වන අතර ඉතා අඩු මිලට බෝට්ටු සවාරියක් ගොස් දූපත දැක බලාගෙන ඒමට අවස්ථාව තිබෙනවා. බත්තලංගුණ්ඩුව යනු මුළු දූපතම වටා පැයකින් දෙකකින් රවුමක් ගොස් පැමිණිය හැකි තරම් කුඩා දූවකි. අනෙකුත් දූපත් ද අලංකාර ස්වභාව සෞන්දර්යයෙන් යුතු ඒවා වන අතර බෝට්ටුකරුවන් හා නාවික හමුදාව හා විමසීමෙන් ඒ දූපත් කරා ද සංචාරය කිරීමට අවස්ථාව ලබාගත හැකියි.

කල්පිටිය ලන්දේසි කොටුව

ලංකාවේ ලන්දේසීන් තැනූ තවත් නිර්මාණාත්මක බලකොටුවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවනි. නාවික හමුදාවේ අවසරය ඇතිව එය නැරඹීමට අවස්ථාව තිබේ.

කල්පිටිය සුන්දර වෙරළ තීරය

නැරඹිය යුතුම වූ සුන්දර වෙරළ තීරයක් කල්පිටිය ප්‍රදේශය සතුයි. දිය නෑමට කදිම වෙරළ තීරයක් වන කල්පිටිය වෙරළ තීරයට මුහුණ දමා තනා ඇති සංචාරක හෝටල් ගණනාවක් දක්නට ලැබේ.

යෝධ සුළං පෙති

සුළං බලයෙන් විදුලිය ලබාදෙන යෝධ සුළං පෙති කිහිපයක්ම කල්පිටියේදී දැක බලා ගන්නට පුළුවන්. මේවා පෞද්ගලික අංශය සතු ඒවාය.

පුත්තලම් බූරුවන්

කෙනෙක්ව පහත් කර කතා කරද්දී, බනිද්දී ‘පුත්තලම් බූරූවෙක් ‘ යැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසයි. කල්පිටිය සංචාරය කරන ඔබට මෙන්න මේ පුත්තලම් බූරුවන්ව දැක බලා ගන්නටත් පුළුවන්.

ඉතින් නව වසරේ නිවාඩු කාලවලදී ඔබටත් කල්පිටිය අර්ධද්වීපයේ සංචාරය කරමින් මෙතෙක් නොවිඳි චමත්කාරජනක අත්දැකීම් රැසක්ම විඳගන්නට පුළුවන් වේවි.

 

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?