නූතන සිංහල සාහිත්‍යයේ ගේය පද රචකයින් අතර රත්න ශ්‍රී විජේසිංහ යනු අද්විතීය සලකුණකි. මෙවර තරුණි අම්මාවරුනේ සමඟ අප හා පිළිසඳරට එක් වූ රත්න ශ්‍රී සිය මව ගැන මෙන්ම බිරියව සිය දරුවන්ගේ මව ලෙස දුටු ආකාරය විස්තර කළේ මෙයාකාරයෙනි.
මගේ අම්මාගේ නම පොල්පාගොඩ ගමගේ මැණික් හාමිනේ. මං මගේ අම්මාගේ ජීවමාන සේයාවක් හෝ දුටු බවක් මට මතක නෑ. මං අම්මාව දැකලා තියෙන්නේ අම්මාගේ මඟුල් පින්තූරෙන් විතරයි. මට වයස අවුරුද්දක් විතර වෙද්දී ඇය මෙලොවින් සමු ගන්නවා. අම්මාගේ මඟුල් ගෙදරට ඇන්ද සිල්ක් රෙද්දකින් මහපු බෝරිච්චි හැට්ටයක් පමණක් අම්මාව සිහි වන්නට කාලයක් මගේ ළඟ තිබුණා. ඒක මට ලැබෙන කොටත් මීයන් විසින් කා දමලා ටිකක් විනාශ වෙලා ගිහින්.
අම්මා ගැන මට මතකයක් නැති වුණත් අපේ ආච්චිලා සීයලා ඇතුළු නෑයෝ ඇය ගැන වර්ණනා මුඛයෙන් කතා කළ සැටි මට මතකයි. ඇය බොහොම ලස්සන, කරුණාවන්ත චරිතයක් යැයි ඔවුන් මට නිතර පැවසුවා. ඉතින් ඔවුන් පැවසූ ලක්ෂණ අනුව මං අම්මා ගැන ලොකු ප්‍රතිරූපයක් මවා ගත්තා.
අපේ මී අත්තම්මාගේ මල්ලිව බලන්නට මම සහ අත්තම්මා ඔහුගේ නිෙවසට ගිය දවසක ඔහුගෙන් මං අම්මා ගැන අපූරු දෙයක් දැන ගත්තා. ඒ සීයා ගම්වැසියන්ව වන්දනාවේ අරගෙන යන කෙනෙක්.
ඉතින් එක්දහස් නවසිය හතළිස් අටේ අපේ රටට නිදහස ලැබිලා වසර හතරක් ගත වෙද්දී 1952 වසරේදී පමණ මහනුවර දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබෙනවා. ඒ සීයා ගම්වැසියන් සමඟ අපේ අම්මාවත් මහනුවර දළදා ප්‍රදර්ශනයට එක්කගෙන ගියා යැයි ඔහු මට පැවසුවා. ඉතින් දළදා වඳින්නට එදා විශාල පිරිසක් පෝලිමේ ඉඳලා තියෙනවා.
එහිදී පෝලිමේ උන්නු එක්තරා ගැබිනි කාන්තාවක් ක්ලාන්තයක් ඇති වී බිම ඇද ගෙන වැටෙන්නට යන විට එහි සිටි පොලිස් කාන්තාවක් ඇයට සහ ඇය සමඟ පැමිණි නඩයට ඉක්මනින් දළදා වඳින්නට ඉඩ හසර ලබා දුන්නාලු. එහිදී සිහි මූර්ජා වුණු ගැබිනි කාන්තාව මගේ අම්මා. එදා අම්මාගේ ගැබ ඇතුළේ හිටියේ මං. අනතුරුව 1953 ජුනි මාසයේ මං අම්මාගේ කුසින් මෙලොව උපදිනවා. ඉන් වසරක් ඇවෑමෙන් 1954 ජුනි මාසයේ අම්මා මෙලොවින් සමු ගන්නවා. ඒ සීයා මාව දකින දකින වාරයක් පාසා මේ කතාව මට කියනවා. ඒ කතාව මට විශාල මානසික වධයක් වුණු අවස්ථාත් තිබුණා. ඉතින් මේ සිද්ධිය ඇසුරෙන් පසුකලෙක මං ගීතයක් ලිව්වා.
“පාත ඉඳන් අපි ආවෙ
නා මල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න”
“අම්මා නැති වන විට මගේ වයස අවුරුද්දයි දින විසි දෙකයි. ගම්මු කියන විදිහට අම්මා නැති වෙන්න පෙර දවසේ නාන්න ඇළට ගියාලු. ආයෙත් ගෙදර එද්දී කුමකට හෝ බිය වී උණක් හැදුණාලු. ඉතින් ඒ උණ නිසා අම්මා මෙලොවින් සමුගෙන තිබුණා. මං හිතන විදිහට උණසන්නිපාතය වගේ අසනීපයකින් අම්මා නැති වෙන්න ඇති.”
“වජිර ප්‍රභා විජේසිංහ කියන්නේ අපේ තාත්තාගේ මල්ලි. ඔහු දෙමළ තිරුක්කුල් සිංහලයට පරිවර්තනය කළ අයෙක්. අපේ අම්මා නැති වෙද්දී ඔහුගේ වයස අවුරුදු දොළහයි. අපේ අම්මාගේ මරණ ගෙදර කියවපු ශෝක ප්‍රකාශයේ වචන අකුරක් නෑ. ඔහුගේ මතකයේ තිබුණා. ඔහු එය මතකයෙන් කීවේ මෙහෙමයි.”
“කිතු වසින් එක්දහස් නවසිය පනස් හතරේ ජුනි මසේ දින නෙතින් විසි හතර වැනිදා රැයේ නිවූ පහනක් ලෙසින් මරු විසින් කළ හදිය පවසමු මෙලෙස වාවාගෙන හිසේ” යනුවෙන් අම්මා මියගිය දවස පවා එහි සඳහන්ව තිබෙනවා.
අම්මා භූමදාන කළේ කන්දක් උඩ තිබුණු අපේ පරණ හවුල් ඉඩමක. ඉතින් ඒ දවස්වල අපේ අම්මාගේ මාමා කෙනෙක් එතැනට මාව නිතරම එක්ක ගෙන යනවා. අම්මා මිහිදන් කළ තැන ඒ සීයා නා පැළයක් හිටවලා තිබුණා. අම්මා මිහිදන් වූ තැන හඳුනා ගන්නට තිබුණ එකම සලකුණ එයයි. ඉතින් ඒ ගැනත් මං මේ විදිහට ගීතයක් ලිව්වා.
“සොහොන පාමුල පැන් වැඩූ තැන
බිම බලාගත් නා ගහක් ඇති
කාත් කවුරුත් නැතැයි හිතුණම නා ගහට දුක හිතෙනවා ඇති
සුළඟ ඇවිදින් සැර පරුෂ ලෙස බිම දමන විට නා ගහක ඉති
මගේ අම්මා එදා වාගේම තවම එතැනම අඬනවා ඇති”
“අම්මා මාව නළවපු ආකාරය මට මතක නෑ. ඒත් ඇගේ කටහඬ අහන්න මං ආසයි. මට ඒ ගැන මතකයක් නෑ වගේම කවදාවත් ඒ හඬ අහන්න ලැබෙන්නෙත් නෑ. අම්මා නැති වෙද්දී අම්මාගේ වයස අවුරුදු දහ නවයයි මාස පහයි. ඇය මෙලොවින් සමුගත්තේ භද්‍ර යෞවන වියේදීමයි”
“මේ ලොව සුන්දරම අහස ඇත්තේ මගේ ගමට ඉහළිනි
අම්මා නිදන තැන ඇගේ සොහොනට උඩිනි” යනුවෙන්ද අම්මාගේ සොහොන ගැන පද පෙළක් මා ලියා තිබෙනවා.
අම්මා නැති වුණු දවසේ මං හඬන විට මගේ ආත්තම්මා කෙනෙක් මට කිරි දුන්නාලු. ඇයටත් මගේ වයසේම දරුවෙක් හිටියා. ඔහු මට වඩා දවසක් වැඩිමල්. ඔහුත් දැන් ජීවතුන් අතර නෑ. ඉතින් ඒත් එදා මං ඒ අත්තම්මාගෙන් කිරි බීලා නෑ. අනතුරුව ඇය ඇගේ මුහුණ රෙද්දකින් වසාගෙන මට කිරි දුන්නාලු. ඒත් මං එදා ඇගෙන් කිරි නොබිව් බව ඇය මට පවසා තිබෙනවා.
ඒ ගැන මං සල් ගහ යට කවි පොතේ කවියක ලීවේ මෙයාකාරයෙන්.
“අම්මා මැරුණු දා රෑ
පුංචි අම්මා මා වඩාගෙන
එතැනට ගියා මතකය..”
මගේ පළමුවැනි ගීතය ගායනා කළේ ගුණදාස කපුගේ විසින්. ඒ ගීතයත් මා ලිව්වේ මගේ අම්මා ගැනයි. එය 1975 ගුවන්විදුලියේ යෞවන සමාජයේ වැඩසටහනක ගායනා වූවක්. එම වැඩසටහන නිෂ්පාදනය කළේ ලූෂන් බුලත්සිංහල. එ් ගීතය මං ලියන්නේ අවුරුදු දහඅටේදී වගේ. එය ප්‍රචාරය වන විට මගේ වයස විසි එකයි.
“තනි වෙලා මා නන්නාඳුනන දුරු රටක මඟ නොදන්නා
එන්න අම්මේ පාළු අහසේ අඳුර අතරින් පායලා” ලෙස එහි පද වැල් ලියැවුණා. ඒ ගීතය බිය නොවන් අයියණ්ඩි කවි පොතේ තිබෙනවා. අවාසනාවකට ඒ ගීතය පටිගත වුණේ නෑ. එම වැඩසටහන වෙනුවෙන් එදා එය කපුගේ සජීවීව ගායනා කළා.
අම්මා ගැන අප සමඟ අදහස් පළ කළ රත්න ශ්‍රී සිය බිරිය ගැන මෙසේ අදහස් පළ කළා.
මගේ බිරිය බටුගහගේ ශීරානි හේමමාලි පීරිස්. ඇය හොඳ අම්මා කෙනෙක්. මට ඇය ගැන කියන්න තියෙන දේවල් පොතකින් හෝ විස්තර කරන්න බැරි තරමට දිගයි. මං අවස්ථා දෙක තුනක් කියන්නම්. මාව මොනරාගලට මාරු කළ අවස්ථාවේ ඇය පවුලේ දරුවන්ගේ බර තනිවම කරට ගෙන ජීවිතය ඉදිරියට ගෙන යන්නට ලොකු සටනක් දුන්නා. එය වංකගිරියට මාරු වීම පද්‍යයේ ඒ ගැන මං ලිව්වේ මේ විදිහටයි.
මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණේ
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දේවි
ඇය එදා කළ කැප කිරීම් ගැන ඒ කවි පෙළෙහි මා සටහන් කළා.
මට ඇයව මුණගැසුණේ මගේ පාසල් අවධියේදියි. ඒ කාලේ ගාලු කොටුවේ ඇගේ නිෙවසේ මං බෝඩ් වුණා. ඒ වන විට ඇයට අවුරුදු දොළහයි. මට අවුරුදු දහසයයි. ඒ කාලයේ ඇය ලොකු ළමයෙක් වෙලත් නෑ. ඒත් ඒ කාලේ අප අතර ප්‍රේමයක් තිබුණේ නෑ. ඇගේ මල්වර මංගල්‍යය වෙලාවේ මං රුපියල් දහයක තෑග්ගක් දුන්නා. පස්සේ කාලේ බොරුවට රණ්ඩු වෙනකොට ඒ රුපියල් දහය මට නැවත දෙන්නැයි මං පැවසූ සැටි මට අමතක වන්නේ නෑ.
ඒ වගේම වස්සානය පද්‍ය පන්තියේ මම ඇය ගැන මෙහෙම ලිව්වා.
සොඳුරු නුඹ කිය කියා
පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගෙම
ඉන්න ඇය මා එක්ක
ඇත්තටම ඇගේ ගෙදරින් අපේ සම්බන්ධයට කැමැති වුණේ නෑ. ඒ කාලයේ ඒ ගැන මං මෙහෙම ලිව්වා.
නෙතු පියන් පියා මුදු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරි
සිහිනයෙන් වැඩී මා ළඟින් හිඳී
මවුපියන් බලා නොඉඳී
එය ඇයට මං ලියූ පළමු ගීතය.
ඇය සමඟ තිබෙන මතක සටහන් අනන්තයි අප්‍රමාණයි.
ඇය සතුව හොඳ මානව සම්බන්ධතා රැසක් තිබුණා. අමරදේව මාස්ටර්, කේමදාස මාස්ටර්, කපුගේ ඇතුළු බොහෝ දෙනෙක් අපේ ගෙදර නැවතුණා. භීෂණ සමයේ පද්මසිරි ත්‍රිමාවිතානට පවා අපේ ගෙදර නවාතැන් ලැබුණා. ඒ හැමෝටම ඇය එක හා සමානව සැලකුවා.
ඇය මගේ බිරිය වුණාට පස්සේ මං ඇයගේ නිෙවස සල්ලිවලට ගත්තා. ඔය ගෙදර මං අවුරුදු හතළිස් පහක් ජීවත් වුණා. පස්සේ කාලෙක අපි ඒ ගේ වික්කා. එයින් වසරකට පස්සේ දෙදහස් දොළහ අවුරුද්දේ ඇය අපෙන් සමු ගත්තා. ඇය කෝච්චියෙන් වැටිලා හදිසි අනතුරකට ලක් වුණා. ඒ අනතුරින් රෝහල්ගත වෙලා උන්නු කාලයේ ගාල්ල සමුපකාර රෝහලේ ඇය ළඟින්ම එහා ඇඳේ හිටියේ මං. ඒ කාලේ ඇගේ හැම වුවමනාවක්ම මං ඉටු කළා.
ඔය අතරේ මං පොරොන්දු වෙලා තිබුණු වැඩසටහනකට සහභාගී වන්නට ගාල්ලෙන් පන්නිපිටියට ආවා. ඒ අතරමඟ වාහනය කැඩිලා පුංචි බාධාවකුත් වුණා. ඇය කෝච්චියෙන් වැටිලා උඩුබැලි අතට ඉන්න විට මං ඇයව දුටු ආකාරය මං ඒ දේශනයේදී විස්තර කළා. කාලිදාස කවියාගේ රඝුවංශ කාව්‍යයේ ඉන්දුමතී එක්වරම අහසින් වැටුණු මල් මාලයක් වැටිලා මැරිලා වැටෙනවා. එවිට රජතුමා මෙසේ කියනවා.
අද මගේ මාර්ගෝපදේශිකාව නැති විය. මගේ සියලු උත්සව නතර වෙයි. මගේ වසන්තය නතර වෙයි. එසේ පවසමින් මං හිත හදා ගත්තා. ඇත්තටම ඒ දේශනයේදී පැවසූ විදිහටම මං නැවතත් රෝහලට එද්දී ඇයව දැඩි සත්කාර ඒකකයට අරගෙන තිබුණා. පහුවෙනිදා ඇය අපිව හැර ගියා. ඉතින් මගේ ජීවිතයේ මුල ඉඳලම මං ආදරය කළ හැමෝම මට නැති වෙලා තියෙනවා. එය විශාල ඛේදවාචකයක්.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
