Wednesday, January 7, 2026
Epaper
Home විශේෂාංග2026 දිනන්නට සැලැස්මක් !

2026 දිනන්නට සැලැස්මක් !

by Shanaka Lakehouse

හිමිදිරි පාන්දර පිනි කැටයක් මතට වැටෙන පළමු හිරු රැස්, දහසක් බලාපොරොත්තු දල්වන්නා සේම, උදාවන්නා වූ නව වසර ද අප සැමගේ ජීවිතවලට අලුත් පිටුවක් පෙරළා දෙයි.

අවුරුද්දක නිමාවත් තවත් වසරක ඇරඹුමත් අතර ඇති ඒ නිහඬ හෝරාව, ගැහැනියක ලෙස අප ගත කළ මඟ දෙස ආපසු හැරී බැලීමටත්, නොනිමි සිහිනවලට පණ දීමටත් ලැබෙන සොඳුරු ඇරියුමකි. ජීවිතය නම් වූ මේ මහා සාගරයේ රළ පහර මැද නොසැලී ඉදිරියට යාමට නම්, අපේ අනාගතය දෙස බලන දෑස් තුළ පැහැදිලි දැක්මක් තිබිය යුතුය. ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරගන්නා වූ අසිරිමත් මෙවලම් පෙළක් පිළිබඳ මේ නව වසරේදී අප කතාබහ කරමු.

​මාසික සැලසුම්කරණය හෙවත් Monthly Planner එකක් යනු ඔබ යා යුතු ගමන් මඟ පෙන්වන මාලිමාවයි. මාසයක ආරම්භයේදීම නිහඬව වාඩි වී, එළඹෙන දින තිහ තුළ ඔබ අත්පත් කරගත යුතු ජයග්‍රහණ සහ ඉටු කළ යුතු වගකීම් පිළිබඳ සටහන් කරගැනීම ජීවිතයේ අවුල්සහගත බව දුරු කරයි. මෙහිදී ඉදිරි මාසයේ එළඹෙන විශේෂ උත්සව, පවුලේ හිතවතුන්ගේ උපන්දින, දරුවන්ගේ සායනික වාර සහ අමතක නොකළ යුතු බැංකු ගෙවීම් වැනි ස්ථාවර දින වකවානු දින දර්ශනයක සටහන් කරගන්න.

ඉන්පසුව එම මාසය තුළ ඔබ අවසන් කළ යුතු ප්‍රධානතම වැඩකටයුතු කිහිපයක් පමණක් තෝරාගන්න. ඔබ රැකියාවක නිරත වන්නියක නම් එහි වැදගත් ව්‍යාපෘතියක් හෝ නි‍ෙවසේ කටයුතු කළමනාකරණය කරන ගෘහිණියක නම් පවුලේ යම් සුවිශේෂී අවශ්‍යතාවක් මෙහිදී පෙරමුණට ගත හැකිය. මාසික සැලසුම්කරණයේ රහස වන්නේ “වැඩ ගොඩක්” සැලසුම් කිරීම නොව, “වැදගත් වැඩ” සඳහා කාලය වෙන් කරගැනීමයි.

දිගු ගමනක සාර්ථකත්වය රඳා පවතින්නේ දිනපතා තබන කුඩා පියවර මතය. එබැවින් Daily Planner එකක් භාවිත කිරීම කාර්යබහුල කාන්තාවකට මහත් අස්වැසිල්ලකි. සෑම දිනකම හිරු උදාවට පෙර හෝ පෙර දින රාත්‍රියේ නින්දට යාමට පෙර, පසුදින කළ යුතු කාර්යයන් ලැයිස්තුගත කිරීමෙන් ඔබේ මනස තුළ ඇති බරින් අඩක් නිදහස් වේ. දවසේ වැඩ පෙළගැස්වීමේදී වඩාත් අසීරු සහ වැදගත් කාර්යයන් උදෑසන කාලයටත්, සැහැල්ලු වැඩ සන්ධ්‍යා කාලයටත් වෙන් කරගැනීමට උත්සාහ කරන්න. මෙහිදී නි‍ෙවසේ සහ රැකියාවේ වගකීම් අතරමං නොවී, ඔබේ රූපලාවණ්‍ය කටයුත්තක් හෝ සිතට සුවයක් දෙන පොතක් කියවීමට වැනි “ඔබ වෙනුවෙන්ම වූ කාලය” (Me Time) දිනපතා සටහන් කරගැනීමට අමතක නොකරන්න. දවස අවසානයේ සාර්ථකව අවසන් කළ කාර්යයන් අසලින් හරි ලකුණක් යොදන විට දැනෙන තෘප්තිය, පසුදින තවත් ජවයකින් අවදි වීමට ඔබට පන්නරයක් වනු ඇත.

ජීවිතය යනු හුදෙක් වැඩ රාජකාරි ලැයිස්තුවක්ම නොවේ. එහි සියුම් හැඟීම් සහ ආත්මීය බැඳීම් ද පවතී. Journaling හෙවත් ඔබේ සිතිවිලි දිනපොතක ලේඛනගත කිරීම තුළින් ඔබට ඔබේම ආත්මය සමඟ කතාබහ කිරීමට අවස්ථාව ලැබේ. සෑම දිනකම අවසානයේ ඔබ අත්විඳි සුන්දර මතකයක්, ඔබට උපකාර කළ අයෙකුට දක්වන කෘතඥතාවක් හෝ හිතට වද දෙන යම් ගැටලුවක් ජර්නල් එකක සටහන් කිරීම මානසික සුවයට ඉතා වැදගත් වේ.

එමෙන්ම ඔබේ සෞඛ්‍ය පුරුදු, එනම් දිනකට අවශ්‍ය ජලය පානය කිරීම, ව්‍යායාම සහ ප්‍රමාණවත් නින්දක් ලැබීම වැනි කරුණු නිරීක්ෂණය කිරීමට ද මෙය මනා තෝතැන්නකි. අකුරු කරන සෑම පදයකින්ම ඔබ ඔබවම හඳුනාගන්නා අතර, එය ඔබේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය වර්ධනය කිරීමට මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.

​කාලය යනු වේගයෙන් ගලා යන ගංගාවකි. එහි රිද්මය හඳුනාගෙන, සැලසුම්සහගතව හබල් ගාන තැනැත්තිය ඕනෑම සැඩ පහරක් හමුවේ නොසැලී තම වෙරළට ළඟා වන්නීය. මේ උදාවූ නව වසරේ, පෑනක් සහ පොතක් අතට ගෙන ඔබේ ජීවිතයේ වර්ණවත් සිතියම ඔබම ඇඳගන්න. අතීතයේ පසුතැවීම් සහ අනාගතයේ බිය පසෙකලා, වර්තමානය පිළිවෙළක් කරගන්නා ගැහැනිය ලොව දිනන බව නොරහසකි. ඔබේ ජීවිතය වඩාත් ආලෝකවත් කරගැනීමට මේ පුංචි පුරුදු ඔබට පාර කියනු ඇත.

TEXT – ඉඳුෂා ආශින්සනී තෙන්නකෝන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?