අම්මා කොහිල මාලුවත්, හින්දපු පරිප්පුවත් සාදා කුස්සිය පසුපස බරාඳයේ තබා ඇති මිරිස් ගලෙහි සම්බෝලය අඹරයි. නිගූ ඊට ඔබ්බෙන් ඇති උස් සිමෙන්ති පඩියෙහි වාඩි වෙයි.
සනීපයට ඈනුමක් අරියි. දෑත් දෙපසට විහිදා ඇඟමැලි කඩයි. නිගූට ඉස්සර මහගෙදර මතක් වෙයි. අක්කලාගේ ගෙදර අලුත් ගෙදරක් වුවද ඒ වෙනුවෙන්ම සිමෙන්ති පඩියක් සාදා මිරිස්ගලක් තබා ඇත්තේ අම්මාගේ වුවමනාවටයි. අම්මා ගලේ අඹරා සාදන සම්බෝලයෙහි පැඟිරි සුවඳට පවා නිගූගේ රස නහර ඉල්පෙයි. නිගූ වාඩි වනවිට අම්මාගේ මුහුණේ අසිරිමත් ආදරබර හිනාවක් ඇදෙයි. නිගූට නොව සුනුව චිරි චිරිව ඇඹරෙන සම්බෝලයේ ආදර මාත්තුවටයි.
පූසියක් ඇවිදින් අම්මාගේ කකුල්වල දැවටෙයි. නිගූ පූසිය ඔඩොක්කුවට ගෙන සෙමින් හිස පිරිමදියි. දැන් අම්මා එක්ක කතා කරන්නට හොඳම වෙලාව යැයි සිතෙයි.
“අම්මෙ මට ගෑනු ළමයෙක් ආදරෙයි. මාත් එයාට ආදරෙයි..”
අම්මා සම්බෝලය ගල මැදට එකතු කර මැටි කෝප්පයට දමා ගනියි. කපන ලෑල්ල මත තිබූ දෙහි බෑය ගෙන සම්බෝලයට තදින් මිරිකයි. හොඳින් අනයි. සම්බෝල ඇබින්දක රස බලා ඇඟිලි හතරම එකවර මැටි කෝප්ප ගැට්ටේ පිසියි.
” ඒ පාර කවුද? ”
“අසෙනි”
නිගූට වුවමනා ඉක්මනින් ඒ ගැන කියා ගැනීමටයි.
“කලින් ඉඳන් තිබ්බ එකක් ද?”
“නෑ දැන් මාස දෙකක් තුනක් ඇති.”
අම්මා සරදම් සිනාවක් නඟා ගනිමින් මැටි කෝප්පය ගෙන කුස්සි බරාඳයෙන් කෑම කාමරයට යයි.
” මාස දෙකක් තුනක්? කවුද…? අරගලෙන්ද හොයා ගත්තෙ..” අම්මාගේ මූණේ සරදම් සිනාව දිගටම ඇදෙයි.
” නෑ… ශ්‍රීපාලියෙ ළමයෙක්.. එහෙ මගෙ ලෙක්චර්ස්වලදි හම්බුණු ළමයෙක්..මේ ප්‍රශ්න මැද්දෙ මට එයාව ආයෙම හම්බුණා අහම්බෙන්..”
“බැඳලද?”
” පිස්සුද අම්මේ මොනාද ඔයා මේ අහන්නෙ.”
” ඇයි වෙන්න බැරිද? කොහෙ කෙනෙක් ද?”
“කොහෙ ළමයෙක් ද ?” යනුවෙන් වත් නොඅසා “කොහෙ කෙනෙක් ද?” යනුවෙන් ඇසීමෙන් අම්මා අසෙනිව පිටස්තර කරන්නේ යැයි නිගූට සිතෙයි.
” ඇරැව්වල පැත්තෙ… එයා හරි හොඳයි.. කරුණාවන්තයි.. මාව බලා ගන්නම් කිව්වා.”
අන්තිම වචන ටික කියද්දී නිගූ තුළ නැඟුණු ලජ්ජාවට අසරණකමක් ද මුසු වෙයි.
ටික වේලාවකට කලින් බැරෑරුම් ස්වරූපයක් ගෙන තිබුණු අම්මාගේ මූණට යළි සරදම් සිනා රැල්ලක් නැඟෙයි.
” වෙච්ච ප්‍රශ්නවලට ඇත්තටම මූණ දෙනවා මිස පාළු කපන්න ගෑනු හොයා ගත්තම හරිද නිගූ..”
එවිට අම්මාගේ වචනවල ඇත්තේ තරමක තද බවකි.
“මට තේරෙනවා නිගූ ඔයා ඉන්න තත්ත්වෙ.. නැතුව නෙවෙයි.. ඒ වුණාට තියෙන ප්‍රශ්න විසඳ ගන්නැතුව තව ප්‍රශ්න ගොඩකට විහින් වැටෙන්නද ඔයා හදන්නෙ..?”
නිගූට අසෙනි නිසා මෙතෙක් නොතිබුණු බරපතළ හැඟීමක් ඇති වෙයි. බියව ඇස් විසල් වෙයි. නිගූ යමක් බැරෑරුම්ව ගත් බව වටහා ගත් බව මූණේ ඇඳුණු ඉරියව්වලින් තේරුම් ගන්නා අම්මා සංසිඳුණු ස්වරයකින් කතා කරයි.
“මොනවා කරන කෙනෙක් ද? තාම ඉගෙන ගන්නවද?”
” කැම්පස් එකෙන් අවුට් වෙලා තිසර මීඩියා නෙට්වර්ක් එකේ වැඩ කරන්නෙ. අම්මයි, තාත්තයි එක්ක ඉන්නෙ.. තව අක්කා කෙනෙක් ඉන්නවා..එයා ලංකාවෙ නෑ… පදිංචිය කැනඩාවේ.”
නිගූ දිගටම කියාගෙන යයි.
” එයා මගෙ ප්‍රශ්නෙ දන්නවා…සාරා ගැනත් දන්නවා.. එයා කැමැති නෑ තීරණයක් ගන්නැතුව ආශ්‍රේ කරන්න… ඇත්තටම එයාමයි කිව්වෙ අම්මට මේ ගැන කතා කරන්න කියලා.. එයාගේ අම්මගෙ, තාත්තගෙ කැමැත්ත ගන්න පුළුවන් කිව්වා..”
” ඒ කියන්නෙ ඕගොල්ලො බඳින්ඩත් තීරණේ කරලද?”
” නෑ නෑ අම්මෙ තේරුම් ගන්නකො.. එයා කියන්නේ තේරුමක් නැතුව කතා කරන්න කැමැති නෑ කියලා.. අම්මා කැමැතිනම් එච්චරයි.. ”
” නිගූ බබෙක් වෙන්නැතුව තේරුම් ගන්න. ඔයා තාම කාංචනාගෙන් අයින් වෙලා නෑ..ඕගොල්ලො තාම කසාද ගෑනියි මිනිහයි. සාරාගෙ අම්මයි, තාත්තයි. ඊළඟට ඩිවෝස් වෙන්න ගියත් පරහට හිටියි අන්තිමේ ඔය හුටපට… මට උත්තරයක් දෙන්න බෑ ඕවට.. එහෙන් සාරා කොයි වෙලේ ලොකු ළමයෙක් වෙයිද කියලා නැතුව ඉන්නේ.. ඔයා මේ තව ප්‍රශ්න එකතු කරනවා… ඔයා නම් පුදුම මනුස්සයෙක් තමා..”
අම්මා කවුරුන් හෝ විවේචනය කර අවසානයේ “පුදුම මනුස්සයෙක්නෙ” යනුවෙන් පවසන්නේ ඇගේ හිතට කෝපය කාන්දු වන විටයි. එබැවින් තව දුරටත් ඒ මාතෘකාවේ නොසිටිය යුතු බැව් ඔහු දනියි. එවැනි මාතෘකා අම්මාගේ හමස් පෙට්ටියට වැටුණු පසු යළි කෙදිනක පිටතට පැමිණෙනු ඇද්දැයි කිසිවෙකුට කිව නොහැකියි.
“නිගූ ඔයා ඉස්සර වෙලාම කාංචනා එක්ක හරියට කතා කරන්න.. ඉස්සරහට මොකද කරන්නෙ කියලා..ඔයා ගෙදරින් එළියට ආවා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ..දැන් කොච්චරකල් ද මෙහෙම ඇදි ඇදී…අනික මේ ඔයාලගේ ප්‍රශ්න හින්දා සාරාගේ හිතේ පැල්ලමක් හැදෙන්න දෙන්න බෑ..තේරුණා ද”
අම්මාගේ වචන තදයි. ස්ථිරයි. අම්මා පෙන්වා දෙන දිශාව ගැන මීට කලින් නිගූ ද සිතා ඇති නමුත් එහි ඇති සංකීර්ණකම ඔහු බියවද්දයි. කාංචනා සමඟ මේ ගැන කතා කිරීමට එළඹීමම වේදනාවකි.
වරක් කාංචනාගෙන් දික්කසාද විය යුතු යැයි සිතා නිගූ සාලින්ද අයියා හමු වී කතාබස් කරයි. කතාබහ අවසානයේ මධුමතින් තමාව වැලඳගෙන,
“උඹේ සතුට ගැන හිතලා ගන්න ඕනෑම තීරණේකට මං උදවු කරනවා..උඹ ඉස්සරවෙලා හරියටම තීරණේ කරපං උඹට මොකක්ද වෙන්ඩෝනෙ කියලා..” යනුවෙන් කියා ගියද හරි හමන් තීරණයක් ගැනීම සඳහා කාංචනා සමඟ කතා කර ගැනීම දවසින් දවස නිගූට මඟ හැරෙයි.
තවත් කොටසකින් හමුවෙමු.
