Wednesday, March 4, 2026
Epaper
Home විශේෂාංගදුරකතනය ගිලගත් අපේ සමාජ සම්බන්ධතා..

දුරකතනය ගිලගත් අපේ සමාජ සම්බන්ධතා..

by Shanaka Lakehouse

තාක්ෂණයේ ස්වර්ණමය යුගය වර්තමාන ශතවර්ෂය ලෙස හැඳින්විය හැකිය. මේ යුගයේ, අපගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගය බවට ජංගම දුරකතනය පත්ව ඇත. මෙමඟින් ලෝකය අපගේ අතට ගෙන ඒමට සමත් වී ඇත. තොරතුරු, සන්නිවේදනය, ගනුදෙනු, සහ විනෝදාස්වාදය යන්න තනි තිරයකට සීමා වී ඇත. කෙසේ වෙතත්, මෙම විස්මිත සොයාගැනීම අපට කොපමණ සමීප වුවද, එය අපව සැබෑ ලෝකයෙන් සහ සැබෑ මිනිසුන්ගෙන් ක්‍රමයෙන් දුරස් කරමින් සිටියි. මෙය අද අපට නැතිවම බැරි අත්‍යවශ්‍ය ශරීරයේම කොටසක් බඳුය. දුරකතනය අධික ලෙස භාවිතය හේතුවෙන් අපගේ සාම්ප්‍රදායික සමාජ සම්බන්ධතා ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබීම වර්තමාන සමාජයේ දැවෙන ගැටලුවකි.

අතීතයේදී, පවුලේ අය, මිතුරන් හෝ අසල්වැසියන් අතර පැවතුණේ සෘජු, අර්ථවත් සහ පුද්ගලාරෝපිත සන්නිවේදනයකි. කෙනකුගේ මුහුණේ ඉරියව්, ශරීර භාෂාව සහ කටහඬේ ස්වරය වැනි සියුම් සාධක හරහා ඔවුන්ගේ සැබෑ හැඟීම් සහ අභිප්‍රායන් තේරුම් ගැනීමට හැකි විය. නමුත් අද වන විට, මෙම සැබෑ ලෝකයේ සන්නිවේදනය ඉමෝජිවලට සහ කෙටි පණිවිඩවලට සීමා වී ඇත. සන්නිවේදන විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මිනිස් අන්තර්ක්‍රියාවලින් 70% කට අධික ප්‍රමාණයක් වචනවලට වඩා මුහුණේ ඉරියව් සහ ශරීර භාෂාවෙන් සිදුවන බවයි. ඒවගේම තවද අද වන විට කණ්ඩායමක් එකට සිටින විට පවා, ඔවුන් බොහෝ විට තම දුරකතන තිරයන් දෙස බලා සිටීමට පුරුදු වි සිටියි. එමඟින් සැබෑ සම්බන්ධතා ගොඩනැඟීමට සහ කෙනකුට සහයෝගය දැක්වීමට ඇති අවස්ථා අහිමි කරයි. මෙය මිනිසුන් අතර ඇති සමීප බව සහ විශ්වාසය බිඳ දමයි.

තවද දුරකතන නිසා පවුල් ඒකකය තුළ දුරස් වීමද හඳුනා ගත හැකිය. මෙම දුරකතන ඇබ්බැහිය වඩාත් තදින්ම බලපා ඇත්තේ පවුල් සබඳතාවලටය. වර්තමානයේ බොහෝ මවුපියන් කාර්යබහුල ජිවිතයක් ගත කරනු ලබයි. මොවුන් උදේ රැකියාවට ගොස් නැවත් සවස නි‍ෙවසට පැමිණ ගෙදර දොර වැඩ කර දරුවන් සමඟ සිටිය යුතු කාලය දුරකතනය සමඟ සිටියි. එමඟින් දරුවන්ගේ ගැටලු, අවශ්‍යතා සහ සතුට පිළිබඳව නිසි අවධානයක් යොමු නොවේ. දරුවෙකුට මවුපියන්ගෙන් ලැබිය යුතු ආරක්ෂාව, ආදරය සහ මානසික සහය අඩුවීම හේතුවෙන් ඔවුන්ද බොහෝ විට දුරකතන තිරයට හෝ වෙනත් සමාජ ක්‍රියාකාරකම් වෙත යොමු වේ. එමඟින් පවුල් සම්බන්ධතා බිඳ වැටේ. එයට හේතුව තම දරුවන් සමඟ කතාබහ කරනවාට වඩා දුරකතනයට ප්‍රමුඛත්වය ලබා දිමයි.

ඒවගේම විවාහ ජීවිතයේද දුරකතනය අධිකව භාවිතය නිසා සම්බන්ධතා බිඳ වැටේ. එනම් බොහෝ යුවළ එකට සිටියත්, දුරකතන භාවිතය නිසා ඔවුන් වෙනම ලෝක දෙකක ජීවත් වන බවක් පෙනේ. මේ නිසා, ගැටුම් විසඳා ගැනීමට, හැඟීම් බෙදා ගැනීමට සහ එකිනෙකාට ඇති බැඳීම ශක්තිමත් කර ගැනීමට ඇති අවස්ථා නැති වී යයි. දිගුකාලීනව මෙය විවාහ ජීවිතයේ අසමඟියට සහ බිඳ වැටීමට හේතු විය හැකි‍ය.

ඒවගේම දුරකතනය අධික ලෙස ඇබ්බැහි විම නිසා “Phubbing” නම් වූ නව සමාජ රෝගයේ ගොදුරක් වේ. අද සමාජයේ බහුලව දක්නට ලැබෙන “Phubbing” (Phone + Snubbing) යනු, තවත් පුද්ගලයෙකු සමඟ කතාබහ කරමින් සිටින අවස්ථාවකදී ඔහු/ඇය නොසලකාහැර දුරකතනය දෙසට අවධානය යොමු කිරීමයි. මෙමඟින් සිදුවන්නේ, කතාවේ නිරත වූ පුද්ගලයාට තමන් අගය නොකරන බවක්, ප්‍රතික්ෂේප වූ බවක් දැනීමයි. මෙය ඔවුන්ගේ ආත්ම විශ්වාසයට බලපාන අතර, කතාබහ කරන්නා කෙරෙහි ඇති ගෞරවය සහ සෙනෙහස ක්‍රමයෙන් නැති වී යයි.

දුරකතනයට ඇබ්බැහි වීම නිසා ඇති වන තවත් භයානක තත්ත්වයක් නම්, අප අවට සිටින සැබෑ මිනිසුන් අපට මඟහැරී, තිරය තුළ සිටින අතාත්වික මිතුරන්ගේ ලෝකයකට අප ඇතුළු වීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනඟා ගන්නා සම්බන්ධතා, සැබෑ ජීවිතයේදී අවශ්‍ය වන චිත්තවේගීය ගැඹුර, ප්‍රශ්නවලට උත්තර සහ ආරක්ෂාව කිසි විටෙකත් ලබා දීමට නොහැකිය. එම නිසා දුරකතනයේ වහලකු නොවි අසල්වැසියාව හඳුනා ගැනීමටත්, කතා කිරීමටවත් කටයුතු කිරීමෙන් එම සමාජ සම්බන්ධතා ශක්තිමත් වේ. එසේ නොමැතිව තිරයට ඇබ්බැහි වුවහොත් එම සම්බන්ධතා බිඳ වැටේ.

ජංගම දුරකතනය අපගේ ජීවිතයේ පහසුව සඳහා ඇති අතිවිශිෂ්ට මෙවලමකි. එයට අපගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දීම නොකළ යුත්තකි. අපගේ සමාජ සම්බන්ධතා නැවත ගොඩනඟා ගැනීමට නම්, අප සවිඥානිකව තාක්ෂණය කළමනාකරණය කර ගත යුතුය. එහිදී පවුලේ අය සමඟ සිටින අවස්ථාවලදී (උදා: ආහාර ගන්නා විට, රූපවාහිනිය නරඹන විට) දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්විමටත්, දිනකට යම් නිශ්චිත කාලයක් දුරකතනයෙන් තොරව, ඔබේ සහකරු හෝ දරුවන් සමඟ පමණක් කතාබහ කිරීමට වෙන් කිරිමත්, මිතුරන් සමඟ එළිමහනේ ක්‍රීඩා කිරීම, චිත්‍රපට නැරඹීම හෝ සංචාරය කිරීම වැනි සැබෑ ලෝකයේ අන්තර්ක්‍රියා වැඩි කරගැනීමටත් කටයුතු කරමින් දුරකතනය භාවිතය අඩු කර ගත යුතුය. එමඟින් සමාජ සම්බන්ධතා වර්ධනය කරගත හැකිය.

තිරයෙන් එපිට ඇති ලෝකය, තිරය තුළ ඇති ලෝකයට වඩා වර්ණවත් සහ යථාර්ථවත්ය. අපට අවශ්‍ය වන්නේ, අපේ අවධානය නැවත ලබා ගැනීමයි. දුරකතනය අපේ සේවයකු මිස අපගේ ස්වාමියා නොවන බව අප තේරුම් ගත යුතුය. නමුත් වර්තමානයේ සිදු වන්නේ අපගේ ස්වාමියා දුරකතන‍ය වීමයි. එයින් මිදීමට නම් දුරකතනයේ වහළෙකු බවට අප පත් නොවිය යුතුය. තවද වර්තමාන සමාජය මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ, තාක්ෂණය භාවිත කරමින් ලෝකය සමඟ සම්බන්ධ වී සිටින අතරතුර, අපගේ ආදරණීයයන්ගෙන් වෙන්ව නොසිටීමට වග බලා ගැනීමයි. තිරය පහළට තබා, හිස ඔසවා, ඔබ අවට සිටින මිනිසුන්ගේ සිනහව, වේදනාව සහ ආදරය දකින්න. සැබෑ සතුට සහ සාර්ථක ජීවිතය රඳා පවතින්නේ, ඔබ සතුව ඇති ජංගම දුරකතන මාදිලිය මත නොව, ඔබ ඔබේ ජීවිතයේ මිනිසුන් සමඟ ගොඩනඟා ගන්නා ශක්තිමත් සමාජ සම්බන්ධතා මතය. එය තේරුම් ගෙන වටිනා සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට කටයුතු කළ යුතුය.

 

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?