Wednesday, March 4, 2026
Epaper
Home විශේෂාංග​නීරෝගි දිවියට මඟ කියන දිව්‍යමය ඔසුව එඬරු..

​නීරෝගි දිවියට මඟ කියන දිව්‍යමය ඔසුව එඬරු..

by Shanaka Lakehouse

ශ්‍රී ලාංකේය ගැමි පරිසරය තුළ වැටකඩොලු අසල, දියකඩවල් අසල ඉතා බහුලව දකින්නට ලැබෙන, එහෙත් වර්තමාන කාර්මික සමාජය තුළ මඳක් අමතක වී ගිය ශාකයක් වේ නම් ඒ “එඬරු” ශාකයයි. පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ සිට නූතන රූපලාවණ්‍ය විද්‍යාව දක්වා සියලු ක්ෂේත්‍රයන් තුළ නිහඬ විප්ලවයක් සිදු කරන මෙම ශාකය, සැබවින්ම ස්වභාවධර්මයෙන් අපට දායාද කළ “විස්මිත ඖෂධ කරඬුවකි”. අතීත මුතුන් මිත්තන් විසින් රෝගාබාධයන්හිදී “ස්වභාවික මිතුරා” ලෙස සැලකූ එඬරු, අද වන විට ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පර්යේෂණ ඔස්සේ යළිත් උච්චස්ථානයකට පැමිණ තිබේ.

එඬරු ශාකය විද්‍යාත්මකව Ricinus communis ලෙස හඳුන්වන මෙය, උද්භිද විද්‍යාත්මකව ‘එරන්ඩ’ (Euphorbiaceae) කුලයට අයත් වේ. සිංහල භාෂාවෙන් ‘එඬරු’ හෙවත් ‘බෙහෙත් එඬරු’ ලෙස හඳුන්වන මෙය, සංස්කෘත භාෂාවෙන් ‘එරන්ඩ’ ලෙසත්, ඉංග්‍රීසි බසින් Castor oil plant ලෙසත් හඳුන්වයි. අසල්වැසි ඉන්දියාවේ හින්දි බසින් ‘එරන්ඩි’ ලෙසත්, දෙමළ බසින් ‘අමනක්කු’ ලෙසත් මෙයට නම් පටබැඳී ඇත්තේ මෙහි ඇති සර්ව ව්‍යාප්ත ඖෂධීය ගුණය නිසාමය.

​වාත රෝග නසන ප්‍රබල ඔසුවක්

ආයුර්වේදයට අනුව එඬරු යනු “වාතහර” ගුණයෙන් ඉහළම ශාකයකි. ශරීරයේ ඇතිවන ඕනෑම වේදනාවක්, ඉදිමීමක් හෝ දැඩි බවක් සමනය කිරීමට එඬරු සතු හැකියාව අසමසමයි. කොන්දේ වේදනාව, ස්නායුවල තද ගතිය සහ අංශභාගය වැනි රෝගවලදී එඬරු මුල් තැම්බූ කසාය සහ එඬරු තෙල් අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද භාවිත කරයි.එසේම සන්ධි ඉදිමීම පාලනය සඳහා එඬරු පත්‍ර තල තෙලින් රත් කර අඹරා ආලේප කිරීම හෝ පත්‍ර මගින් තැවීම අතිශය ප්‍රත්‍යක්ෂ අත්බෙහෙතකි.

​මලබද්ධයට සහ උදර රෝගවලට තිත

​ පැරණි හෙළ වෙදකමේ මලබද්ධය සඳහා තිබූ ප්‍රධානතම විසඳුම එඬරු තෙල්ය. එඬරු බීජවලින් ලබාගන්නා තෙල් මල භේදක ගුණයෙන් යුක්තය. මලබද්ධය පවතින අවස්ථාවලදී එඬරු තෙල් ස්වල්පයක් උණුසුම් අමු ඉඟුරු යුෂ සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් බඩවැල් පිරිසිදු වී සහනයක් ලැබේ. එසේම තවද උදරයේ මස්පිඬු තද වූ අවස්ථාවලදී එඬරු ඇට මද කිරෙන් අඹරා උදරයේ ආලේප කිරීම පැරණි ගැමි ක්‍රමයකි.

රූපලාවණ්‍ය ලොව පෙරළිකාරකයක්

​රූපලාවණ්‍ය ලොව පෙරළිකාරකයක් ලෙසද නූතන සෞන්දර්ය විද්‍යාවේ වඩාත්ම කතාබහට ලක්වන ස්වභාවික අමුද්‍රව්‍යය වන්නේ එඬරු සාරයයි. මෙය කෙස් වර්ධනය සඳහා භාවිත කරයි. එනම් හිසකෙස් ගැලවී යාම පාලනය කර, කෙස් කළඹේ තෙතමනය රැක ගැනීමටත්, රෝම කූප ශක්තිමත් කිරීමටත් එඬරු තෙල් අත්‍යවශ්‍ය වේ. තවද සමේ පැහැපත් බව ඇති කිරිමට එනම් සම මෘදු කිරීම, කුරුලෑ පාලනය සහ හිරු රශ්මියෙන් සමට වන හානි අවම කිරීමට එඬරු සතු ‘විශේෂ පෝෂණ’ ගුණය උපකාරී වේ.

ඇස් යට කළු වීම වැළැක්වීමට ද එඬරු තෙල් බින්දුවක් ඇඟිලි තුඩට ගෙන ඇස් වටා මෘදුව පිරිමැදීමෙන් ඇස් යට අවපැහැ ගැන්වීම සහ රැලි වැටීම පාලනය වේ.

විලුඹ පැලීමට ද කදිම ඖෂධයකි. රාත්‍රී නින්දට පෙර පිරිසිදු කළ විලුඹේ එඬරු තෙල් ගා සඟලක් පැලඳීමෙන් සති කිහිපයකින් මෘදු විලුඹක් ලබාගත හැක.

නියපොතු ශක්තිමත් කිරීමට එනම් නියපොතු කැඩෙන හෝ දුර්වල අයට එඬරු තෙල්වලින් නියපොතු සම්බාහනය කිරීමෙන් ඒවායේ ශක්තිමත් බව සහ දීප්තිය වැඩි වේ.

කාන්තාවන්ට සහ දරුවන්ට සහනය

කිරි දෙන මවුවරුන්ට මෙම ශාකය වඩාත් වැදගත්ය. එනම්, පියයුරුවල කිරි හිරවීම නිසා ඇතිවන වේදනාවේදී එඬරු කොළ උණුසුම් කර තැවීමෙන් ක්ෂණික සහනයක් ලැබේ. එමෙන්ම මෙය කිරි වැඩීමේ ගුණයෙන්ද යුක්තයි. ප්‍රසූතියෙන් පසු මවගේ ගර්භාෂය පිරිසිදු කිරීමට සහ ශරීරයේ හටගන්නා වාත දෝෂ ඉවත් කිරීමට එඬරු තෙල් ආලේප කිරීම සහ තැවීම් සිදු කරයි. එසේම මූත්‍ර අඩුවෙන් පිටවීම සහ මුත්‍රාශය ආශ්‍රිත වේදනා වලදී මූත්‍ර පිරිසිදු කිරීමේ ගුණය එඬරු සතුය.

සත්ත්ව පාලනයට වැදගත්

ගවයන් සහ එළුවන් වැනි සතුන්ගේ කුර ආශ්‍රිතව ඇතිවන තුවාල සහ ඉදිමුම්වලට එඬරු තෙල් සහ කොළ අඹරා තැබීමෙන් ඉතා ඉක්මනින් සුවය ලැබේ. එය සතුන්ට වැලඳෙන පණු රෝගවලටද සාර්ථක ඖෂධයකි.

​ගොවිතැනට “කෘමිනාශකයක්” ලෙස

එඬරු කොළ සහ බීජ කොටස් කුඩු කර සාදාගන්නා දියරය වගාවන්හි කෘමීන් පාලනයට යොදාගත හැකිය. විශේෂයෙන්ම වේයන් සහ මදුරුවන් පලවා හැරීමට එඬරු කොළ පිලිස්සීමෙන් නිකුත් වන දුම ප්‍රබල වේ.

කර්මාන්ත ක්ෂේත්‍රයේ “රන් දියරය”

ඖෂධයක් ලෙස පමණක් නොව, එඬරු තෙල් ලෝකයේ මිල අධික කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයකි. එනම්,

​ ජෙට් යානා ලිහිසි තෙල් නිෂ්පාදනය කිරිමට භාවිත කරයි. එනම් ඉතා ඉහළ උෂ්ණත්වයකදී පවා දුස්ස්‍රාවිතාව වෙනස් නොවන බැවින්, අධිවේගී ජෙට් එන්ජින්වල ලිහිසි තෙල් ලෙස එඬරු තෙල් භාවිත වේ. තවද වර්තමානයේ ජෛව ප්ලාස්ටික් (Bio-plastics) සහ නයිලෝන් නිෂ්පාදනය සඳහා එඬරු තෙල් පදනම් කරගත් රසායනික ද්‍රව්‍ය යොදා ගනී.

අභ්‍යන්තර සෞඛ්‍යට දිව ඔසුවක්

යාන්ත්‍රික ජීවන රටාවක දිගටම ගමන් කරමින් සිටින නූතන මිනිසාට ශරීර විෂ දහනය, දහන උත්තේජනය කිරීම, දියවැඩියාව කොලෙස්ටෝල් පාලනය කිරීම, විශාදය වැනි අභ්‍යන්තර ගැටලු අඩු කිරීමට අතිශය වැදගත්ය. එඬරු පානය කිරීමෙන් මෙම ක්ෂේත්‍රවල සැලකිය ප්‍රතිලාභ ලබා දෙන බව පර්යේෂණ කිහිපයකින්ම අනාවරණය වී තිබේ.

එහෙත් විද්‍යාත්මක අනතුරු ඇඟවීමක් මෙහි පවති. එනම් “රිසින්” විෂ එඬරු බීජයේ මදය තුළ ‘රිසින්’ (Ricin) නමැති විෂ අඩංගු බැවින්, නිසි වෛද්‍ය උපදෙස් රහිතව අමු බීජ ආහාරයට ගැනීම භයානක විය හැකිය. එහෙත් නිසි ලෙස පිරිසැකසුම් කළ තෙල් සහ කසාය භාවිතය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වේ.

එඬරු යනු හුදෙක් වැටක පවතින වල් පැළෑටියක් නොවේ. එය නිවසේම පවතින “ප්‍රථමාධාර ඒකකයකි”. දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය සහ මතක ශක්තිය වර්ධනය වැනි ගැඹුරු සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ද මෙහි අඩංගු බව නූතන පර්යේෂණ පෙන්වා දෙයි. අපගේ ගෙවත්තේ බිම් අඟලක මෙම වටිනා ශාකය රෝපණය කර ගැනීම, අනාගතයේදී අපට වැලඳිය හැකි රෝග රැසකට එරෙහිව තබා ගන්නා ස්වභාවික රක්ෂණයකි. වසර දහස් ගණනක් ලෝකය සුවපත් කළ මේ “විශ්ව මිතුරා” අදත්, හෙටත් අපේ සෞඛ්‍යයේ සහ සෞන්දර්යයේ ආරක්ෂකයා වනු නොඅනුමානය.

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?