තරුණී නුගසෙවණ සුසංයෝගයෙන් දිනෙන් දින අලුත් අත්කම් නිර්මාණ අපි ඔබට ලබා දෙන්නෙමු. ඒ අතර පුංචි ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට කදිම සුබ පැතුම්පත් පෙළක් අද අපි ලබා දෙන්නෙමු.
සරල, ආකර්ෂණීය, සුබ පැතුම්පතක් ලබන්නාද සතුටක් ලබාවී. එබැවින් මෙය ආදරණීය සැමැරුමකට කදිම සුබ පැතුම් පතකි.
අවශ්‍ය ද්‍රව්‍ය
A4 බෝඩ් (craft board) / ෆෝම්ෂීට්
ග්ලූගන් එකක්
ගම්
අලංකාර කර ගැනීමට රිබන්, පබළු
පැස්ටල් වර්ණ
කම්බි සහ ගම් ටේප්
සාදා ගැනීමේ පියවර
මුලින්ම මල් සකසා ගනිමු.
ෆෝම් ෂීට් කැමැති වර්ණයෙන් ගෙන පොඩි පෙති පහේ මලක් කපා ගන්න. මේ සඳහා අච්චුවක් භාවිත කරන්න. ඊළඟට ෆෝම් ෂීට් එක මත තබා මල් කිහිපයක් කපා ගන්න. මලේ පෙති හැඩය ලබා ගැනීමට අතින් මල් පෙති තුඩ හැඩ කරමින් කරකවාගන්න. එවැනි මල් 4ක් ගෙන එක මලක් සකසා ගත යුතුයි. ඒ සඳහා පළමු මල ගෙන එහි පෙති එකින් එක ගම් යොදා පොහොට්ටුවක් ලෙස සකසා ගත යුතුයි. ඉන්පසුව ඉතිරි පෙතිද එක් කර සම්පූර්ණ මලක් සකසා ගන්න. මල් පොහොට්ටු සඳහා එක මලක් හෝ දෙකකින් සකසා ගත් මල් යොදාගත හැකිය.
කොළ සකසා ගන්න
කොළ පැහැති ෆෝම් ෂීට් එකක් ගෙන අඟල, අඟල් 1.5 ප්‍රමාණයේ කොටු හැඩ කපා ගන්න. එය දෙකට නවා කොළයක් ආකාරයට කපා ගන්න. එයද ඇඟිලි තුඩු භාවිතයෙන් හැඩ කර ගන්න. එවැනි කොළ කිහිපයක් කොළ අත්තක් ලෙස කම්බියට අමුණා කොළ අත්තක් නිර්මාණය කරගත හැකියි.
ස්වාභාවික පෙනුම ලබා ගැනීමට පැස්ටල් වැනි වර්ණ භාවිතයෙන් අලංකාර කරගත හැකියි.
කාඩ්පත සැකසීමට අවශ්‍යතාව අනුව වර්ණ ගළපා A4 ප්‍රමාණයේ බෝඩ් එකක් ගෙන එය දෙකට නවා ගන්න. එහි ප්‍රමාණය ඔබට කැමැති ලෙස වෙනස් කළ හැකියි. තවත් අලංකාර කර ගැනීමට එහි මුල් පිටුවට ඔබට කැමැති පාට කඩදාසි හෝ හැඩ ඇති රූප සටහන් කොළ යොදාගත හැකියි. (wrapping papers )
අනතුරුව අපි සකසාගත් මල්, කොළ, පොහොට්ටු එකින් එක ග්ලූ ගන් (glue gun) එක භාවිතයෙන් අලවා ගන්න.
අවශ්‍ය සුබ පැතුමද එක් කර ගන්න. තවත් අලංකාර කර ගන්න. රිබන්, පබළු වැනි දෑ භාවිත කළ හැකියි.
මෙය නිර්මාණශීලි අදහස් එකතු කරමින් කළ යුතු නිර්මාණයකි. ඒ නිසා ඔබට අවශ්‍ය පරිදි මිනුම් වෙනස් කරමින් මල්, කොළ සහ කාඩ්පත මෙන්ම වර්ණ සකසා ගත හැකියි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
