Thursday, March 5, 2026
Epaper
Home මනෝ උපදේශනමානසික සැහැල්ලුව ඇතිකරවන අවමවාදය

මානසික සැහැල්ලුව ඇතිකරවන අවමවාදය

by Shanaka Lakehouse

“සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ සතුට මිනිස් ජීවිතයට අන් කිසිවකටත් වඩා වටිනා ධනය නිසාවෙනි.එමෙන්ම දශක ගණනාවකට පෙර බුදු දහම, සෙන් දහම තුළින් අවමවාදය පිළිබඳ සාකච්ඡා කෙරිණි.”ලද දෙයින් සතුටු වීම” යනුවෙන් බුදු දහමේ ඉතා ගැඹුරින් සාකච්ඡා කරනුයේ ද මෙම අවමවාදයයි. නමුත් අප සැබවින්ම ජීවත් වන්නේ මේ අයුරින්ම නොවේ. අද වනවිට මෙරට මෙන්ම ලෝකයේත් මිනිසා ශීඝ්‍රයෙන් පරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වී අවසන්ය. එය මිනිසාගේ මානසික අවපීඩනයට හේතු වී ඇති පසුබිමක ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

ඔබ දෛනිකව අනවශ්‍ය දෑ වෙනුවෙන් මොනතරම් සිත යොමු කරන්නේද?. ඔබේ වැටුප් දිනයට අලුත් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට කෙතරම් සිහින මවන්නේද?.මිතුරාගේ වාහනය මෙන් විශාල, සුවපහසු වාහනයක් මිලදී ගැනීමට කෙතරම් ආශා කරන්නේද?.අන් අය පරයා ඉලක්කවලට යාමට ඔබ කෙතරම් උත්සාහ කරන්නේද?.නමුත් මේ කිසිවක් ඔබේ සැබෑම අවශ්‍යතාද යන්න ඔබ කෙදිනක හෝ සිතා බැලුවේද?.එමෙන්ම එතුළින් ඔබ කෙතරම් තෘප්තිමත්ද යන්න සිතුවාද?.

කාර්මික විප්ලවයත් සමඟම ලෝකයේ මිනිසුන් විවිධ සොයාගැනීම් සිදුකරන ලදි. ඒත් සමඟම මිනිසා පරිභෝජනවාදී ජීවන රටාවකට හුරුවීමෙන් මිනිස් ජීවිත ධනවත් හා සංකීර්ණ වීමෙන් ක්‍රමයෙන් මිනිසාගේ සතුට ගිලිහී ගියේය. නමුත් පරිභෝජනවාදී ජීවන රටාව තුළ මිනිසාට මිනිසාගේ අතේ ඇඟිලි අතරින් සතුට ගිලිහී යන බව ඔවුන්ට වැටහීමට කාලයක් ගත විය. මේත් සමඟ විවිධ දෑ අත්හදා බලමින් ගිලිහුණු සතුට සෙවීමට මිනිසුන් උත්සාහ දැරුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකය පුරා “අවමවාදය” (Minimalism) යන සංකල්පය සාකච්ඡාවට බඳුන් විය. එලෙසින් අවමවාදය ලොව පුරා ව්‍යාප්ත විය.

අවමවාදයෙහි මූලික අර්ථය වන්නේ සරල, පිරිසුදු, පිළිවෙළ බවින් යුක්ත අඩු පරිභෝජනයකින් උපරිම තෘප්තියක් ලබමින් ජීවත් වීමයි. නමුත් දුගී ලෙස ජීවත්වීම මෙයින් අදහස් නොකරයි. එනම් අත්‍යවශ්‍ය අවශ්‍යතා මත පදනම් වෙමින් එකිනෙකා පරයා යාමට උත්සාහ නොකිරීම අවමවාදයයි. තමාගේ සතුට කුමක්ද, එය ලැබෙන්නේ කොතැනින්ද යන්න නිවැරදි ලෙස වටහා ගනිමින් ඊට අදාළ දෑ වෙනුවෙන් පමණක් අවධානය යොමු කළවිට ඔබට ඔබේ සතුට නිසැකයෙන්ම ළඟා කරගත හැකිය. ඔබ සතුව භාවිත කළ හැකි සුහුරු ජංගම දුරකතනයක් (smart mobile phone) තිබේ යැයි සිතන්න.

නමුත් එහි නව මාදිලිය වෙ‍‍ළෙඳපොළට පැමිණිවිට මිලට ගැනීමට උත්සුක වීම තුළින් ඔබේ මුදල් නිකරුණේ විනාශ වේ. එයින් ඔබේ මානසික පීඩනයද වැඩිවේ. එයින් ඔබට ලැබෙන්නේ අතෘප්තිමත් ජීවිතයකි. එනම් ඔබ ජංගම දුරකතනයක් මිලට ගැනීම තුළින් තෘප්තියක් නොව ලබා ඇත්තේ අතෘප්තියකි.

අවමවාදීව ජීවත් වීමෙන් ඔබට ලැබෙන්නේ මොනවාද?

ප්‍රධානතම දේ වන්නේ මානසික සැහැල්ලු බවයි. ඔබේ ආදායම පිළිබඳ මනා අවබෝධයකින් ඔබට අත්‍යවශ්‍යම දේ සඳහා පමණක් මුදල් වියදම් කරන විට ඔබේ ජීවිතයේ මූල්‍යමය ගැටලු මතු නොවේ. එපමණක් නොව, ඔබේ නි‍ෙවස, ව්‍යාපාරික ස්ථානය පිළිවෙළට පිරිසුදුවට තබා ගැනීමෙන් ද වඩාත් යහපත් මානසික සැහැල්ලුභාවයක් ඔබට හිමිවේ. තවද අනෙකා පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතන නිසා අනවශ්‍ය සිත් තැවුල් ඇති නොවේ. එයින්ද යහපත් මානසික මට්ටමක් නිතැනින්ම ලැබෙයි. යහපත් මානසික මට්ටමක් ඇති පුද්ගලයාගේ ජීවිතය සෑම අන්තයෙන්ම සාර්ථක බව නොරහසකි. අද්‍යතනය වනවිට විෂාදය වැනි තත්ත්වයන්ට විසඳුමක් ලෙසද අවමවාදීව ජීවත් වීම නිර්දේශ කරයි.

වර්තමානයේ පරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වීම මිනිසාට නොදැනුවත්වම සිදු වේ. අපට දෛනික ජීවිතයේදී වෙ‍ෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයක් අසන්නට, දකින්නට ලැබේ. අප නොදැනුවත්වම ඒවායෙහි මායාවට ගොදුරු වේ. විශේෂයෙන් කාන්තාවක් මෙලෙස වෙ‍ෙළද මායාවට ගොදුරු වේ. එමඟින් ඇයගේ අනවශ්‍ය වියදම්, ඇගේ විවාහ ජීවිතය පලුදු කිරීමට තරම් හේතු විය හැකිය.

නමුත් අවමවාදී ලෙස ජීවත්වීම සාපේක්ෂ වේ. එලෙස ජීවත් වීමටනම් තමන් විසින්ම පැහැදිලි දැක්මක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා කැමැත්තක් තිබිය යුතුය.ඒ පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.සියලු දෙනාටම එක ලෙස මෙය විග්‍රහ කර ගැනීමේ හැකියාවක් නැත. එම දැක්ම ඇති කරගැනීමට ඇති හැකියාව මත එය තීරණය වේ. එමෙන්ම පරිභෝජනවාදී ජීවන රටාවෙන් තමාගේ ජීවිතයට අහිතකර ලෙස බලපෑම් කරන ආකාරය හොඳින් වටහා ගත යුතුමය. තමාගේ අවශ්‍යතාවට අනුව අත්‍යවශ්‍යම, ඵලදායී භාණ්ඩ පමණක් හඳුනාගෙන මිලදී ගැනීමට පුරුද්ද ඇතිකර ගත යුතුය. හමුවන, හඳුනන සියලු දෙනාම අනුකරණය නොකොට තමාගේ අවශ්‍යතාව නිවැරදිව හඳුනා ගන්නා කාන්තා, පිරිමි, තරුණ, මහලු, කුඩා ඔබ සියල්ලන්ටම අවමවාදී ජීවිතයකට හුරු වීමට අපහසු නොවේ.

ලෝකයේ බොහෝ ධනවතුන් මෙන්ම බුද්ධිමතුන් පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී ඔවුන් බොහෝ දෙනා අවමවාදීන් බව පැහැදිලි වේ. මහත්මා ගාන්ධි, ඇල්බට් අයින්ස්ටයින්, ස්ටීව් ජොබ් යනාදී බුද්ධිමතුන් හා ධනවතුන් එවැනි අවමවාදීන් වේ. සැබවින්ම අවමවාදීව ගතකරන ඔබේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිය.එනම් අවමවාදීව ජීවත් වෙමින් සාර්ථක දිවි පෙවතකට පියමං කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

TEXT – ටිරුණී ඉමායා වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?