Tuesday, March 3, 2026
Epaper
Home Beautyහැඩවැඩ කලාවේ ජ්‍යෙෂ්ඨයාණෙනි ඔබට සුබ උපන්දිනක්..

හැඩවැඩ කලාවේ ජ්‍යෙෂ්ඨයාණෙනි ඔබට සුබ උපන්දිනක්..

by Shanaka Lakehouse

රූපලාවණ්‍ය කලාව අද බෙහෙවින් ජනප්‍රිය ක්ෂේත්‍රයක්ව පවතී. වැඩි වශයෙන් කාන්තාවන් සිටින මේ ක්ෂේත්‍රයේ අද වන විට ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පීහු බොහෝ වෙති. නමුත් මෙයට දශක කිහිපයකට පෙර රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පිරිමින් නොසිටි තරම් ය. ඒ නිසාම ශ්‍රී ලංකා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ආදරණීය තාත්තා ලෙසින් සැලකෙන්නේ ඔය. සොඳුරු සිනාවෙන් පිළිගෙන ආදරණීය වදනින් කතාබහ කරමින් ඉතාමත් සුහදව කටයුතු කරන ඔහු මනාලියක හැඩගැන්වීම සිදු කරන්නේ භාවනාවක් ලෙසිනි.

මේ කවුරුන්ද යන බව, නම නොකීවත් ඔබ දැන් දන්නවාට සැක නැත. ඒ ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්ය.

කොණ්ඩා මෝස්තර දැමීමට සමත්කම් පෑ නිසාම 1972 වසරේ දී ඥාතියකුගේ ඉල්ලීම පරිදි ඔහුගේ දියණියගේ මංගල දිනයේ ඇයව හැඩකර මනාලියන් හැඩගැන්වීමෙන් ක්ෂේත්‍රයට අත්පොත් තැබුවේය. මේ අනුව මංගලිකා වීරසේකර හැරිස් විසින් හැඩගැන් වූ මුල්ම මනාලිය යි. සහජ දක්ෂතාවයෙන් ලැබූ හැකියාවෙන් සැරසූ මනාලිය ගැන පැහැදුණ ඔවුන් ඇයගේ දෙවැනි දිනයේ දී ඇයව හැඩගැන්වීම ද හැරිස්ටම පැවරුවේය. රූපලාවණ්‍ය දැනුම දෑතින් ගෙන ඉපදුණ හැරිස් කොණ්ඩා දැමීම ඉගෙනීමට කැමැත්තක් දැක්වූයේ එවකට ද ප්‍රවීණ ශිල්පිනියක් වූ ජෙනට් බාලසූරියගෙනි. නමුත් එවකට මේ ක්ෂේත්‍රයේ පිරිමින් නොසිටි නිසාමදෝ ඇය පිරිමියකුට ඉගැන්වීමට අකැමැති විය. නමුත් පසුකාලීනව ඇය හැරිස් හමු වූ විට ‘අනේ මේ කොල්ලට ඉගැන්නුවා නම් මට කොච්චර ආඩම්බර වෙන්න තිබුණද‘ යැයි පැවසුවා ය. පසුව ඇය ක්ෂේත්‍රයේ හොඳම මිතුරියක් ද වූවාය.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ යමක් ඉගෙනීමට ඔහු කැමැත්තක් දැක්වූ එම අවස්ථාව මඟ හැරී ගිය පසුව ඔහු වෙනත් කිසිවකුගෙන් ඉගෙනීමට නොසිතූ අතර තමා සතු සහජ දක්ෂතාව පුහුණුව හා අත්හදා බැලීම් මඟින් සාර්ථකත්වය කරා යාමට සිතුවේය. ඥාති සහෝදරියන් හැරිස්ගේ පුහුණු වීම්වලට කැමැත්තෙන්ම එක් වූ අතර ඔවුන්ට කොණ්ඩා මෝස්තර දමමින් වඩාත් නිවැරැදිව හා අලංකාරවත් ලෙස මනාලියන් හැඩ ගැන්වීමට ඔහු තනිවම උගත්තේය.

ශාන්ති මීදෙනිය ඔහුගේ අතින් හැඩ වූ දෙවැනි මනාලිය වූ අතර තෙවැන්නිය වූයේ රමණී වීරසේකරයි. දේශීයත්වයට ගරු කරන දේශීයත්වයට මුල්තැන දෙන නිසාම හැරිස්ගේ මනාලියන් වෙතින් ද එම අනන්‍යතා ලක්ෂණය ඉස්මතු විය. මේ නිසාම රටේ වැදගත් යැයි සම්මත පවුල්වල දියණිවරුන් හැරිස් ලවා මනාලියක ලෙස හැඩගන්වා ගැනීමට එම පවුල්වල වැඩිහිටියන් උත්සුක විය. මේ නිසා රටේ නම ගිය පවුල්වල මනාලියන් හැඩ ගැන්වීමට ඔහුට අවස්ථාව ලැබිණි.

‘ මම නිතරම මගේ පාරම්පරික දැනුමට ගරු කළා. මනාලියක් කියන්නේ ෆැෂන් එකක් නෙමෙයි. විලාසිතාවක් නෙවෙයි. මම මේ මෑතක දී රූපලාවණ්‍ය පාසලක ඩිප්ලෝමා ප්‍රදානයට සහභාගි වුණා. එහිදී මම ඒ දරුවන්ට පැවසුවේ මනාලියක් හැඩ ගන්වනවා කියන්නේ සල්ලිම විතරක් නෙවෙයි. අන්දන මනාලියගේ හැට්ටෙ උරහිස ටිකක් පාතට වෙන්න දැම්මත් ගොඩක් මනාලියන් හැඩගන්වන්න ලැබෙයි. නමුත් අපි ඒ වගේ නොසන්ඩාල තාලෙට වැඩ කරලා නෑ. මනාලියක් කියන්නේ අහිංසක කාන්තාවක්. එයාගේ ඇඟ නිරාවරණය කරලා පෙන්වන එක ලොකු දෙයක් නෙවෙයි. ඇයගේ සංවර බව රැකෙන ආකාරයෙන් ලස්සනට හැඩගැන්වීම තමයි රූපලාවණ්‍ය ශිල්පියෙක් කළ යුත්තේ. මම ඒ ගෞරවය රැකගෙන තමයි මේ ක්ෂේත්‍රයේ වැඩ කළේ. නමුත් මට අදටත් මනාලියන් හැඩගැන්වීමට ආරාධනා ලැබෙනවා. කැන්ඩි ටයර් හවුස් අධිපතිතුමාගේ දියණිය මනාලියක් ලෙස පසුගිය සතියේදී හැඩගැන්වූයේත් මමයි. ඒ නිසා රැල්ලට නොගියොත් වැඩ නැතිවෙයි කියලා බය වෙන්නේ නැතිව හරිදේ කරන්න කියලා මම මේ ක්ෂේත්‍රයේ අයට කියන්න කැමැතියි.

රිදී රැයක් එකට මම යශෝධව ඇන්දුවා. යශෝධා මට කියලා අන්දගන්න තමයි වැඩියෙන් කැමැති. මොකද යශෝධා යශෝධා විදිහටම ඉන්නේ මම අැන්දුවාමයි. මම මේකප්වලින් අන්දන කෙනාගේ අනන්‍යතාව නැති කරන්නේ නෑ. මොකද රමණිව ඇන්දුවාම මල්ලිකා වගේ පේනවා නම් ඒක සාර්ථක හැඩගැන්වීමක් නෙවෙයි. ඒ කෙනා සතු ස්වාභාවික ලස්සන ඉස්මතු කිරීම පමණයි අපි මේකප් එකකින් කළ යුත්තේ..

අද මනාලියන් පමණක් නෙවෙයි, සාමාන්‍ය හැඩගැන්වීමක දී පවා ඇසි පිහාටු දැමීමට බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. ඒත් ඒකෙන් ලැබෙන්නේ හරිම කෘත්‍රිම පෙනුමක්. කෘත්‍රිම පෙනුමකට වඩා ස්වාභාවික සුන්දරත්වය මතුකරන එකයි වැදගත්. දක්ෂ ශිල්පියෙක් නම් බාහිර දේවල් අඩුවෙන් යොදා ගනිමින් ලස්සනට හැඩගැන්වීමට හැකියාව තිබිය යුතුයි.

ඒ වගේම මම හැම දෙනකුටම කියන්න කැමැතියි ආගම නමට පමණක් නොතියා ආගමේ හැසිරීම වැදගත්. ඕනෙම ආගමක කෙනෙක් තමන්ගේ ආගමට අනුව කටයුතු කිරීමෙන් අවැඩක් වෙන්නේ නැහැ.

මගේ අම්මා මගේ ලෝකයේ වීරවරිය. මගේ මව තනි වුණේ ඇයට වයස 37 දී. ඒ වෙනකොට මගේ වයස 12යි. මට ඉන්නේ අයියයි, අක්කයි, නංගියි, මල්ලියි. මගේ අම්මා ධනවත් පවුලක හැදුණ කාන්තාවක්. එයාට අන්තිමේ දුක් විඳින්න වුණා. ඒ වුණත් අම්මා අන් සරණක් නොපතා දරුවන් උස් මහත් කළා. එහිදී මම හිතුවා මට වයස 35දී මම විවාහ නොවී මගේ ජීවිතේ අම්මා වෙනුවෙන් කැප කරනවා කියලා. ඒ නිසා මම මට පුළුවන් උපරිම විදිහෙන් ඇයට සැලකුවා. අම්මා වයස 96ක් ජීවත් වුණා. ඇය හරිම සතුටෙන් හිටියේ. මම වයස හතළිස් ගණන්වල ඉඳලම පොඩි හෝ පිනක් කළාම නළල බිම තියලා කියනවා, මා මේ කළ පින් බලයෙන් මගේ මවට නිරෝගිභාවය ලැබ දීර්ඝායු වළඳා කිසිම දුකක් නැති මරණයක් සිදු වේවා කියලා. ඒ වගේම අම්මා අවසන් මොහොතේ ඇඳේ බොහොම සැහැල්ලුවෙන් හුස්ම පිට කළා. අම්මාගේ අවමංගල්‍යය මම සිදු කළේ පැමිණි අනෙක් අයටත් අනිත්‍ය මෙනෙහි කළ හැකි අන්දමින්. බුද්ධ නමස්කාරයත් සිදුකර ආගමානුකූලව ඇයගේ අවසන් ගමනේ කටයුතුත් කිරීමට මට හැකි වුණා.

ඇත්තටම මම ඉන්නේ මේ ජීවිතය, සංසාරය ගැන හොඳ අවබෝධයකින්. යථාර්ථය තේරුම් ගත් විට ජීවිතය හරිම පහසුයි. සරලව ජීවත් වෙන්න පුළුවන්. මම දැන් බොහොම නිරාමිස සුවයක් විඳිනවා. මම ඉන්නේ සතුටින්.‘

මේ ලෙසින් තම ජීවිතය දෙස ආපසු හැරී බලන ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී ආදරණීය හැරිස් විජේසිංහයන් පසුගිය 30 වැනි දින තම ජන්ම දිනය සැමරුවේ නිරාමිස සතුටකිනි. වසර 81ක් පුරා මේ දිවියේ සසර දිනීමට අවැසි ශක්තිය එකතු කරන මේ සුහදයාණන්ට තරුණී අපි ද නීරෝගිමත් සුවබර ජන්ම දිනයකට සුබ පතන්නෙමු.

TEXT – අයන්ති උඩුගම්පල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?