Friday, February 20, 2026
Epaper
Home Beautyරූපයට ඔබින ලෙසින් ආභරණ ගළපා ගැනීමේ කලාව

රූපයට ඔබින ලෙසින් ආභරණ ගළපා ගැනීමේ කලාව

by Shanaka Lakehouse

කලාව යනු හුදෙක් බාහිරින් පෙනෙන දෘශ්‍යමාන දෙයක් පමණක් නොව, එය මිනිසා සතු සහජ නිර්මාණාත්මක කුසලතාවයකි. හැඩ වැඩ කලාව ද එවන් වූ නිර්මාණාත්මක කුසලතාව ඔප් නංවන සුවිශේෂී හැකියාවක් ලෙස හැඳින්විය හැකිය.

මේ හැකියාව අපේ හෙළ යුවතියන්ට උපතින්ම හිමිව තිබෙන උරුමයකි. අතීතයේ හෙළ රජ විරුවන්ගේ කලා සිරියාව මෙන්ම කලාව පිළිබඳ අපේ සාහිත්‍ය ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත්තේ ඉතා අලංකාරවත් ලෙසිනි. මෙසේ උපතින්ම උරුම වූ මෙම රූපලාවණ්‍ය කලාව අපේ යුවතියන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. ඔවුන් තුළ පවතින එම ස්වාභාවික රුචිකත්වය සහ කුසලතාව වර්තමාන ලෝකයට ගැළපෙන ලෙස ඔප් නංවා ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.

තාක්ෂණයේ දියුණුවත් සමඟ රූපලාවණ්‍ය කලාව අද වන විට ජාත්‍යන්තර මට්ටමින් හැදෑරීමට අපේ කාන්තාවන් උනන්දු වී තිබේ. එහෙත් මෙම ජාත්‍යන්තර මට්ටමේ රූපලාවණ්‍ය කලාව ඉගෙනීමට පෙර දේශීය හුරුවෙන් යුතු රූපලාවණ්‍ය දැනුම මූලිකව තිබීම ඉතා වැදගත්ය. අප මෙවර ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි මූලික රූපලාවණ්‍ය දැනුමක් තුළින් තමුන්ටම තමන්ගේ රූපය හැඩ වැඩ කරගන්නා ආකාරය පිළිබඳව කරුණු කිහිපයකි. මේ සඳහා ඉන්දියානු රූපලාවණ්‍ය කලාව මෙන්ම අපේ දේශීය කලාවක් නිර්මාණය කර ගැනීම තුළින් අපට ඉතාමත් සාර්ථක ලෙස තමන්ගේම රූපලාවණ්‍ය කටයුතු කර ගැනීමේ හැකියාව පවතී.

සාමාන්‍යයෙන් අපේ කාන්තාවෝ ආභරණ පැලඳීමට බෙහෙවින් හුරුව සිටිති. විශේෂ උත්සව අවස්ථාවකදී මෙන්ම සාමාන්‍ය ගමනක බිමනකදී ද මෙවැනි ආභරණ පැලඳීම සිදු කරනු ලබන්නේ සැබෑ කලාවක් ලෙසිනි. මෙසේ අප ආභරණ පැලඳීමේදී එය තමන්ගේ ඇඳුමට හා රූපයට ගැළපෙන ලෙසින් ගළපා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අප ඔබට මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ එසේ තම ඇඳුමට හා ශරීරයට ගැළපෙන ලෙසින් තම ගෙලට පලඳින ආභරණ හා කරාඹු වැනි දෑ තෝරාගන්නා ආකාරයයි. මේ සඳහා අපට නිරන්තරයෙන්ම රන් ආභරණම පැලඳීම අවශ්‍ය නොවේ. ඔබ තෝරාගන්නා ආභරණය කුමන වර්ගයකට අයත් වුවත්, එය ඔබගේ වර්ණයට සහ ඔබ එදින අඳිනු ලබන ඇඳුමට ගැළපෙන්නේ නම් එයින් අපේක්ෂිත සුන්දරත්වය උපරිමයෙන් ලබා ගත හැකිය.

විද්‍යාත්මක පදනම

රූපලාවණ්‍ය කලාවේ විද්‍යාත්මක පදනම දෙස බැලීමේදී, වර්ණ විද්‍යාව (Color Theory) සහ හැඩතල විද්‍යාව (Geometry of Shapes) ප්‍රධාන තැනක් ගනී. සෑම පුද්ගලයෙකුගේම සමේ වර්ණය (Skin Tone) විද්‍යාත්මකව ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැකිය. එනම් උණුසුම් (Warm), සිසිල් (Cool) සහ මධ්‍යස්ථ (Neutral) වශයෙනි. ඔබ තෝරාගන්නා ආභරණ සහ රූපලාවණ්‍ය ආලේපන මෙම සමේ ස්වභාවයට ගැළපිය යුතුය. මෙය හුදෙක් පියවි ඇසට පෙනෙන වර්ණය නොව, සමට යටින් පවතින වර්ණ ස්වභාවය (Undertone) මත තීරණය වන්නකි. උදාහරණයක් ලෙස, උණුසුම් වර්ණයක් සහිත සමක් ඇති කාන්තාවකට රන්වන් පැහැති (Gold) ආභරණ සහ තඹ පැහැති ආභරණ වඩාත් ඔපයක් ලබා දෙයි. එහෙත් සිසිල් වර්ණයක් සහිත සමක් ඇති කාන්තාවකට රිදී (Silver) හෝ ප්ලැටිනම් ආභරණ මඟින් වඩාත් දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

මුහුණේ හැඩය

මුහුණේ හැඩය අනුව ආභරණ ගළපා ගැනීම ද තවත් එක් විද්‍යාත්මක ප්‍රවේශයකි. සෑම කාන්තාවකගේම මුහුණේ හැඩය වටකුරු, දිගටි, හෘදයාකාර හෝ චතුරස්‍රාකාර විය හැකිය. මෙහිදී රූපලාවණ්‍ය ශිල්පයේ මූලික සිද්ධාන්තය වන්නේ ‘සමබරතාවය’ (Balance) ඇති කිරීමයි. ඔබගේ මුහුණ වටකුරු නම්, ඔබ දිගටි හැඩයේ කරාඹු (Dangle earrings) පැලඳීමෙන් මුහුණේ වටකුරු බව මඳක් අඩු කර පෙන්විය හැකිය. එසේම දිගටි මුහුණක් ඇති අයෙකුට රවුම් හෝ පළල් කරාඹු (Studs/Hoops) පැලඳීමෙන් මුහුණේ හැඩය වඩාත් ආකර්ෂණීය කර ගත හැකිය. ගෙලට පලඳින මාල තේරීමේදී ද මෙම සිද්ධාන්තයම බලපානු ලබයි. ගෙල කෙටි අයෙකු ‘V’ හැඩැති මාල පැලඳීමෙන් ගෙලට දිගු පෙනුමක් ලබා ගත හැකි අතර, දිගු ගෙලක් සහිත කාන්තාවකට ගෙල වටා තද වන මාල (Chokers) පැලඳීමෙන් මනා නිමාවක් ලබා ගත හැකිය.

සුන්දත්වය ඉස්මතු කිරීම

මිල අධික දේ පැළඳීමෙන් පමණක්ම සුන්දරත්වය ඉස්මතු නොවේ.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ තමන් වඩාත් සුන්දරව පෙනෙන්නට නම් ඉතා මිල අධික රන් ආභරණ හෝ වටිනා මැණික් වර්ග පැලඳිය යුතු බවයි. එහෙත් සැබෑ රූපලාවණ්‍ය විද්‍යාවට අනුව සුන්දරත්වය යනු මිල මත තීරණය වන්නක් නොව මනා ගැළපීම මත තීරණය වන්නකි. ඉතා අඩු මිලට ලබා ගත හැකි වුවත්, තමන්ගේ සමේ වර්ණයට සහ ඇඳුමේ හැඩයට මනාව ගැළපෙන ආභරණයක් පැලඳීමෙන් ලැබෙන පෙනුම, නොගැළපෙන මිල අධික ආභරණ දහසකට වඩා වටින්නේය. විද්‍යාත්මකව බලන කල, ඇස එක් ප්‍රධාන ලක්ෂ්‍යයක් (Focal Point) වෙත යොමු කිරීම වඩාත් ආකර්ෂණීය වේ. ඔබ විශාල කරාඹු යුගලක් පලඳින්නේ නම්, ගෙලට ඉතා සියුම් මාලයක් හෝ කිසිවක් නොපැලඳ සිටීමෙන් කරාඹුවල සුන්දරත්වය ඉස්මතු වේ. මෙය ‘අඩු දේ තුළින් වැඩි සුන්දරත්වයක්’ (Less is More) යන සංකල්පයයි.

ශරීරයේ හැඩය (Body Shape) අනුව ද ආභරණ තෝරාගැනීම විද්‍යාත්මකව සිදු කළ හැකිය. උසින් අඩු කාන්තාවක දිගු මාල පැලඳීමෙන් ඇගේ උස වැඩි කර පෙන්වීමේ දෘශ්‍ය මායාවක් (Optical Illusion) නිර්මාණය කළ හැකිය. උරහිස් පළල් කාන්තාවකට දිගටි හැඩයේ මාල සහ කරාඹු වඩාත් උචිත වේ. මෙම සෑම තේරීමක්ම පිටුපස ජ්‍යාමිතික මූලධර්ම සැඟවී පවතී. රූපලාවණ්‍ය ශිල්පීන් කරන්නේ මෙම මූලධර්ම භාවිත කරමින් මුහුණේ හෝ ශරීරයේ ඇති අඩුපාඩු අවම කර පෙන්වීමයි.

මිල අධික ආභරණ

අවසාන වශයෙන් පැවසිය හැක්කේ රූපලාවණ්‍ය යනු හුදෙක් බාහිරින් සිදු කරන ඔප දැමීමක් පමණක් නොවන බවයි. එය විද්‍යාව සහ කලාව මුසු වූ අපූරු ක්‍රියාවලියකි. තමන්ගේ ඇඳුම, පෞරුෂය සහ අවස්ථාව අනුව ආභරණ තෝරාගැනීම දක්ෂතාවකි. මිල අධිකම දේ පැලඳීමෙන් පමණක් සුන්දරත්වය උදා නොවන අතර, තමන්ට වඩාත් උචිත දේ විද්‍යාත්මකව සහ කලාත්මකව තෝරාගැනීම තුළින් සැබෑ සුන්දරත්වය ඔප් නංවාගත හැකිය. අපේ දේශීය රූපලාවණ්‍ය කලාව මෙවන් නවීන දැනුමෙන් පෝෂණය කිරීම තුළින් හෙළ යුවතියන්ට ජාත්‍යන්තර මට්ටමේ දීප්තියක් ලබා ගත හැකිවනු නොඅනුමානය. ඔබේ සුන්දරත්වය යනු ඔබේම අනන්‍යතාවයයි. එය නිවැරදිව හඳුනාගෙන ඔපවත් කර ගැනීම ඔබේ දක්ෂතාවයයි.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?