මේෂ ලග්නය
තම පෙර කුසල් මතුවී අනාගතය පිළිබඳ විශාල සැලසුම් සකස් කරගන්නා තීක්ෂණ බුද්ධියක් මතුවන කාලයක්. මෙම මස විදෙස්ගත වීමට සැලසුම් සාර්ථක වන අතර විදේශයෙන් ලැබීම් හා ලාභ ප්‍රයෝජන ලබයි. රැකියා අංශයෙන් තම තත්ත්වයට සුබ අවස්ථා උදාවන අතර සුදුස්සාට සුදුසු තැන ලැබෙයි. තම වටිනාකම අන් අයට දැනෙන මසකි. රැකියා ව්‍යාපාරවල දියුණුව හොඳ තත්ත්වයකට ලබයි.
අධ්‍යාපනයෙන් ඉදිරි දියුණුවක් උදාවේ.
සත් අවුරුදු ඒරාෂ්ටකයක් නිසා නිතර ඔළුවට වධ කරදර සිත් පීඩා මතුවුවත් ලග්නාධිපතිගේ බලපෑමෙන් එම තත්ත්ව පහව යන අතර උදරාබාධ හා අස්ථි සම්බන්ධ රෝග මතු කරන කාලයක් වෙයි.
ඡය අංකය 1, ජය වර්ණය රතු, ජය දිනය අඟහරුවාදා
වෘෂභ ලග්නය
මාසය ආරම්භයේම ධන වාසනා හා ලොතරැයි දිනුම්වලට වැඩි ඉඩක් ඇත. සහෝදරයකුගේ සුබ දෙයක් සිදුවෙයි. යාන වාහන පිළිබඳ බලාපොරොත්තුවක් සාර්ථක වන කාලයකි. පෙර පැවති නීති ප්‍රශ්නවලින් නිදහස ලබයි. රැකියාවේ උසස් තත්ත්වයක් හා උසස්වීමක් ලැබීමට භාග්‍යය හිමිවෙයි. අන් අය තමාගේ වටිනාකම දකිනා අතර තමාට ඉහළ නිලධාරීන්ගෙන් සැලකුම්ද වැඩිවන කාලයකි. තරග විභාගවලට මුහුණ දෙන අයට ඉතා සුබ වෙයි. ජය හිමිකර ගනී. උසස් අධ්‍යාපන කටයුතු ආරම්භයට සුබ කාලයකි.
වාහන ගමන් බිමන්වලින් සහ උඩ නැඟීම් වැටීම්වලින් තුවාල, ලේ ගැලීම් වැනි අනතුරුවලට යෝග ඇත. නිතර හිසරදය හා අස්ථි සම්බන්ධ රෝග පෙන්නුම් කරයි.
ජය අංකය – 4, ජය වර්ණය – ක්‍රීම් පැහැය, ජය දිනය සිකුරාදා
මිථුන ලග්නය
තම සැඟවුණු දක්ෂතා මතුවී ඉදිරි සැලසුම් යහපත් වන කාලයකි. විනෝද ගමන් බිමන් යෙදේ. ආදරය සෙනෙහස ගෘහය තුළ වැඩි වේ. මංගල කටයුතු ද සාර්ථක වේ. දරුවකුගේ අධ්‍යාපනයක්, ක්‍රීඩා කටයුත්තක් නිසා සතුටක් ගෙන දේ. රැකියා ව්‍යාපාරවල පෙර පැවති බාධා මඟහැරී ලාභ ලැබීම් සහ යහපත් ලැබීම් මතුකරන මාසයකි. සේවක ප්‍රශ්න, රැකියා ස්ථානයේ අන් අයගේ ප්‍රශ්න, කරදර එයි. උසස් ඉගෙනීම් මතු කරන අතර විදෙස්ගත අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සැඟවුණු රෝග නැවත මතුවන කාලයකි. හිස හා උදරය ආශ්‍රිත රෝග ද නහරගත ආබාධ ද ඇති වී ඉන් පීඩා මතුකරයි.
ජය අංකය – 5, ජය වර්ණය – කොළ, ජය දිනය බදාදා
කටක ලග්නය
බාධා බිඳගෙන ඉදිරියට යන යෝග ඇත. හැඟීම්බර අදහස් ඇතිවීම නිසා අන් අය තමාට ඇහුම්කන් දෙන අතර තමා කරන කටයුතුවලට අන් අයගේ උපකාර හිමිකරයි. මවුපාර්ශ්වයෙන් ලැබීම් ඇති කරන අතර මවුට තරමක් ලෙඩ අසනීප ගති ඇති වී අපල මතු වේ. විනෝද ගමන් බිමන් යෙදේ. මංගල යෝග උදා වේ. පෙර පැවැති බාධා මඟහැරී විවාහ කටයුතු ස්ථිර වේ.
තම උත්සාහයෙන් කරගෙන යන ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි වන අතර බාධා ද මතුවෙයි. රැකියාවේ ද තම තත්ත්වය ඉස්මතු වී පෙනෙයි. අලුත් අදහස් මතුවෙන අතර අධ්‍යාපනය අලුත් මඟකට යොමු වන යෝග ඇත. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය උදාකරයි.
ශාරීරික දුර්වලතා හා උෂ්ණ රෝග වැඩිවන කාලයකි.
ජය අංකය – 7, ජය වර්ණය – ක්‍රීම්, ජය දිනය සඳුදා
සිංහ ලග්නය
නිතර බියගන්වන සිතිවිලි මතුකරයි. සතුරු කරදර ද මතු වේ. සිත්පීඩා සිත්තැවුල් බොහෝ වේ. තම බලාපොරොත්තු කල් ගතවීම නිසා තමා පිළිබඳ කලකිරෙන සිතිවිලි මතුකරයි. විවාහයේ බොහෝ ප්‍රශ්න ගැටලු මතුවන අතර වෙන්වීම් සහ දුරබැහැර ගමන් බිමන්වලට ද යෝග ඇත. විදෙස් ගමන් බිමන් යෙදේ. නමුත් බාධා වීම් මතුකරයි. මවුපසින් ලාභ හිමි වේ. හදිසි ලාභ ද නොසිතූ ලෙස ලබන යෝග ඇත. ඉහළ නිලධාරීන්ගේ අප්‍රසාදයට ලක්වන යෝග ඇත. එපාවීම් කලකිරීම් මතු වුවත් රැකියාව අත්හැරියහොත් විශාල ආර්ථික ගැටලු මතු වේ. නව ව්‍යාපාරවලට නව අදහස් මතු වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමට බාධා මතු කරයි. අලස නිදිමත ගති මතු වුවත් තම අධ්‍යාපනික සුදුසුකම් වර්ධනය කර ගැනීමට උත්සාහ කරයි. බොහෝ වෙහෙස මහන්සි වී තරග විභාග ජය ලබයි.
සමේ රෝග සහ තම ශරීරයේ වර්ණය අව පැහැ ගැන්වෙන යෝග ඇත. මානසික ආතතිය නිසා නොයෙක් රෝග මතු වේ. මූත්‍රා, වකුගඩු ආශ්‍රිත රෝගවලින් ද ප්‍රවේසම් වන්න.
ජය අංකය 4, ජය වර්ණය රතු, ජය දිනය ඉරිදා
කන්‍යා ලග්නය
සමාජයේ හොඳ තත්ත්වයක් හිමි කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු සමඟම නව කටයුතු ද ආරම්භ කරන කාලයකි. මිල මුදල් ලාභ මතුකරයි. ස්ත්‍රී සැප ලැබේ. තම බිරිය හෝ ස්වාමියාගෙන් ලැබීම් මතුකරයි. අත මිටට මුදලක් හිමිවන කාලයකි. දරුපල බලාපොරොත්තු වන අයට සුබ වේ.
රැකියා ව්‍යාපාරවල වැඩි ලාභ ප්‍රයෝජන හිමි වේ. තමාගේ උගත් තත්ත්වයට රැකියාවේ ස්ථානයක් හිමිවන කාලයකි.
විභාග ජය ලබන අතර අලුත් අධ්‍යාපනික යෝග මතුකරයි. කලා කටයුතුවන අධ්‍යාපනය යොමුවන අයට සුබයි. උසස් දේ ඉගෙනීමට කාලය උදා වේ.
ජය අංක 7, ජය වර්ණය කොළ.ජය දිනය බ්‍රහස්පතින්දා
තුලා ලග්නය
පෙර පින් මතු වී යහපත් ලෙස නව අරමුණුවලට යන කාලයකි. උගත් උසස් අය මුණගැහෙන අතර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන උදා වේ. නීතිකාර ගති නිසා ගෘහයේ තරමක් නොරුස්සන ගති මතු වේ. නමුත් පසුවට එය යහපත් වන යෝග ඇත. තම හිතවතුන් සමඟ ආශ්‍රය වැඩි වේ. අන් අය තමා සොයා එන කාලයකි. පෙර පැවැති අවුල් වියවුල් තත්ත්වවලින් නිදහස හිමි වේ. විදෙස් ගමන් බිමන් සාර්ථක වේ.
මෙතෙක් කරගෙන ආ වෙෙළඳ ව්‍යාපාරවල දියුණුව ඇති වේ. උසස් වන යෝග ඇත. සේවා ස්ථානයේ කරදර බාධක මතු කරයි. ඉවසීමෙන් ඒවා මැඬගෙන යයි. අත මිට මුදල් රැඳෙන කාලයකි.
අලුත් දේ ඉගෙනීමට සිත් යෙදේ.
මූත්‍රා රෝග සහ දණහිස් අමාරු, අස්ථි සම්බන්ධ රෝග වේදනා මතු වේ.
ජය අංක – 6, ජය වර්ණ අයිවරි, ජය දිනය – සිකුරාදා
වෘශ්චික ලග්නය
පෙර නවතා තැබූ වැඩ කටයුතු නැවත ආරම්භ කරන කාලයකි. අලුත් කටයුතු ආරම්භයට ද යහපත් වෙයි. ස්ථාවර දේපළ හිමිකම් කියයි. පෙර පැවැති බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාව උදාවන කාලයකි. උගත් උසස් අයගේ ඇසුර හා ලාභ ලැබේ.
රැකියාවේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න ඇති වුවත් ඉවසීමෙන් දියුණුව ලබයි. වෙෙළඳම් කටයුතුවලින් ලාභ හිමි කරයි.
අලුත් දේ ඉගෙනීමට අපේක්‍ෂා කරන අතර ඉන් යහපත් ප්‍රතිඵල උදාකරයි.
සමේ රෝග නිතර ඇති කරයි. ඇස්, කන් අමාරු මතු වේ. තරමක් හදිසි අනතුරු තුවාල ඇතිවීමට බොහෝ ඉඩ ඇති කාලයකි.
ජය අංකය – 2, ජය වර්ණය – රතු, ජය දිනය – අඟහරුවාදා
ධනු ලග්නය
වාසනාව උදා කරන කාලයකි. ප්‍රේම සබඳතා ඇතිවන අතර ප්‍රමාද වෙමින් තිබූ මංගල කටයුතු ස්ථිරත්වයට ළංවෙයි. සිතට, කයට සැප ලැබෙන කාලයකි. වාණිජ සැප සම්පත් ළඟාවේ. පියාට සහ පියපස ඥාතීන්ට තරමක් අගුණ කාලයකි. අලුත් වැඩ කටයුතු ආරම්භයට සුබයි. අලංකාරය පිළිබඳ වැඩිපුර සිතන අතර ඒ සඳහා වියදම් ද ඇති කරයි.
ස්වයං රැකියා කරන අයට ලාභ ප්‍රයෝජන ඇති වේ. නව ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයකි. ලැබීමට සාපේක්ෂව වියදම සීමා කළ යුතුයි. රැකියා අහිමිවීමට පවා යෝග ඇත.
ලියකියවිලි වැඩකටයුතු පොත්පත් ආශ්‍රිතව වැඩ කටයුතුවලට සුබ කාලයකි. තරග විභාග කටයුතුවලට එතරම් සුබ නැත.
නිතර සමාජයේ ඇති වන වයිරස් රෝගවලට ගොදුරු වේ.
ජය අංකය – 6, ජය වර්ණය – කහ, ජය දිනය – බදාදා
මකර ලග්නය
සිතට සැනසුම ප්‍රීතිය ගෙන දෙන කාලයකි. යහපත් ප්‍රතිචාර උදාකරයි. තත්ත්වයෙන් උසස් වේ. සතුරන්ගෙන් ජය ලැබේ. ස්ථාවර දේපළ හිමිකම් ඇති කරයි. පෙර නතර වූ වැඩ කටයුතු නැවත අරඹයි. ආගම දහමට යොමු වේ. ණය ගනුදෙනුවලින් සහ දේපළ, ගෙවල් බදු දීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳී අැත. අත මිට, මුදල් සරුවේ. පවුලේ අය හා අසල්වාසීන්ගේ වෙනස්කම් මතුවීමට ඉඩ ඇත. සතුරු කරදර ද ඇති කරයි. ඉවසීමෙන් යාම සුබයි. ප්‍රේම සබඳතාවල පෙර පැවැති ප්‍රශ්න මඟහැරී යයි. නීති ප්‍රශ්න මතු වේ.
රැකී රක්ෂාවලින් උසස් වෙයි. ගෙදර දොර අලංකරණ කටයුතුවලට වැඩි වියදම් දරයි. අතට මුදල් ලැබුණද ඉක්මනින් වියදම් වෙයි. නිෂ්ඵල වියදම් ඇති කරයි.
කාර්මිකතාක්ෂණය වැනි අංශවල අධ්‍යාපන, යෙදෙන අයට සුබ වෙයි. නව අධ්‍යාපන කටයුතු අරඹන කාලයකි.
ශරීර සෞඛ්‍යයට අහිතකර වෙයි. ශල්‍යකර්ම හා ලේ ගැලීම් තුවාල ඇතිවීමට ද යෝග ඇත.
ජය අංකය -8, ජය වර්ණය – නිල්, ජය දිනය සෙනසුරාදා
කුම්භ ලග්නය
ඉතා උපක්‍රමශීලි ලෙස නිතර කටයුතු කරයි. පෙර පැවැති සැප පහසුව තරමක් අඩු වේ. තරමක් ඇවිදිලි ඇති කරන කාලයකි. චෝදනා නින්දා අපහාස ලැබීමට යෝග ඇත. කාලයක් සිට ලැබීමට තිබූ යම් දේපළක් සහ මුදලක් අතට ලබන කාලයකි. තම ගෘහයේ ස්වාමියා හෝ බිරිය සමඟ නිතර ගැටීම් ඇතිවන අතර ඉන් සමගියට බාධා මතුකරයි. දරුවන්ගේ කටයුතු නිසාද ඔළුවට අසහනය මතුවෙයි. නරක දුර්වල හෝ පහත් රැවටිලිකාර අය මුණ ගැසීමට යෝග ඇති බැවින් ආශ්‍රයේදී බොහෝ ප්‍රවේශම් වන්න.
ධන හානි මතුකරයි. අත්පිට මුදල් ලැබුණද එය රැඳෙන්නේ කලාතුරකිනි. වියදම් අධික වෙයි. රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට ඉහළ ගෞරවයක් ලබන කාලයකි. කොතරම් බාධා පැමිණියත් තම වුවමනා එපාකම්වලට අවශ්‍ය කරන මුදල් අතමිට ඉතිරි වෙයි.
විද්‍යා, කලා වැනි අංශවලින් ඉහළ දියුණුවක් ඇත. ඉතා සියුම් දේ වුවද ඉතා හොඳින් ඉගෙන ගනියි.
ශරීරය දුර්වල වේ. හදිසි අනතුරු හා ශරීරාබාධ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. නිතර සුළු සුළු අසනීප මතුකරයි.
ජය අංකය 8, ජය වර්ණය නිල්, ජය දිනය බ්‍රහස්පතින්දා
මීන ලග්නය
තරමක් අපල දායක කාලයකි. නීති ප්‍රශ්න මතුවන අතර ඉන් නිදහස් වීමට බොහෝ වෙහෙසක් දැරිය යුතුයි. කතාවෙන් වාසි සැලසේ. අලුතින් අරඹන ඉදිකිරීම් කටයුතු සාර්ථක වුවද අධික වියදම් ගෙන දෙයි.
නිෂ්ඵල වියදම් නිතර ඇති කරයි. නමුත් පෙර පින් බලයෙන් අත මිට මුදල් නිතර ගැවසේ. අලුතින් ආරම්භ කරන ව්‍යාපාරවලින් වාසි උදාකරයි. රැකියාවේ කටයුතු ඉතා නුවණින් බුද්ධියෙන් කළ යුතු අතර නොයෙක් අඩුපාඩුකම් මතුවීම නිසා අන් අයගේ අප්‍රසාදයට හේතු සෑදේ. නොසිතූ ලෙස ආදායම් වැඩිවේ.
විදෙස්ගත අධ්‍යාපනයට වරම් උදාවේ. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු සහ කලාව ආශ්‍රිත ඉගෙනීම් කටයුතුවලින් වැඩි ලාභ ලැබේ. තරග විභාග කටයුතු සමත් කරගත හැකියි. පෙර පැවැති රෝගී තත්ත්ව නැවත මතුවේ. බෙහෙත් ඖෂධ නැවතත් ගැනීමට සිදුවන අතර ආරෝග්‍ය ශාලා ගතවීම්වලට පවා යෝග ඇත. හෘදයාබාධ, වාත අමාරු මතුකරයි. පාද ආශ්‍රිත රෝග මතුවන අතර වාහන ගමන් බිමන් අනතුරු මතු කරන බැවින් ප්‍රවේශම් වන්න.
ජය අංකය 9, ජය වර්ණය කහ, ජය දිනය බ්‍රහස්පතින්දා
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
