නිගූ තවමත් කුස්සි බරාඳයේ සිමෙන්ති පඩිය මත තුෂ්ණිම්භූතව සිටියි.
“ඔය ඔක්කොටොම වඩා හොඳම දේ ආපහු ගෙදර ගිහින් පාඩුවේ ළමයගේ වැඩ ටිකත් බලන් හිටියනම් කියන එකයි මමනම් හිතන්නෙ.. ඒක කරන්න පුළුවන්ද බැරිද කියල දන්නෙ ඔයා තමා .. ඕනෙනම් ටික දවසකට මාත් ඇවිත් ඉන්නම්..ගෑනියි මිනිහයි පස්සෙන් පහු නොගැළපීම් මතුකරන් වෛර පිරිමහගන්ඩ හැදුවට ළමයි පළි නෑනෙ.. ”
අම්මා අවසන් වචන කිහිපය කියන්නේ ඒවායේ රළු බව දියාරු වී යන තරම් සන්සුන් ස්වරයකිනි. නිගූට ඇඬෙන්නට තරම් දුකයි. තීරණයක් ගැනීමට, කාංචනා සමඟ කතා කිරීමට වඩා මරණය තෝරා ගැනීම සැපකි.
**************
ඩබ්ලිව් ටී සී නෝර්ත් ටවර්හි දහඅට වැනි මහලේ ඇති තිසර මීඩියා නෙට්වර්ක් ආයතනයේ කවුළුවකින් පෙනෙන ඈත මූහුද දෙසට අසෙනිගේ ඇස් යොමු වී තිබෙයි. වෙන දවස්වලට ඈ හරි කලබලයි. කුමක් හෝ ප්‍රඩක්ෂන් වැඩක නිමාව නීට් එකටම ලැබෙනතුරු ඈ වෙහෙසෙයි. අවසන් කළ වැඩ කිහිපයක් ඇතත් අද ඈ උකටලීව හිඳියි.
මුහුදේ ඈත සිතිජ ඉම දිය සායම් චිත්‍රයක් සේ පෙනෙයි. වරාය සමීපයේ නැව් කිහිපයක් නැංගුරම් තිබෙයි. පෝර්ට් සිටියේ තැන තැන සිදුවන අලුත් ඉදිකිරීම් දිස් වෙයි. එකවර මේ සියල්ල බොඳ වී යද්දී අසෙනිගේ ඇස් ඇපල් අයි ෆෝනයේ තිරය මත නතර වෙයි. ඈ බලා සිටින්නේ නිගූගෙන් ඇමතුමක් ලැබෙනතුරුයි. බණ්ඩාරගමින් පිටත්ව ඔහු ඇමතුමක් ගනු ඇතැයි ඈ සිතයි.
ආදරය යනු කුමක්දැයි වචනවලට නඟා තේරුම් ගැනීමට අසෙනි කිසි දවසක උත්සාහ ගෙන නැත. ලලීන්ද්‍ර විසින් තනා දුන් ආදර සිර කුටියෙන් නිදහස් වූ දා සිට තමා අත්විඳින සැහැල්ලුව ඇයට කියා දී ඇත්තේ ආදරය නාමයෙන් ගොඩ නැගෙන බැඳීම්වල හිරිහැරයයි. ඊටත් වඩා තමා දන්නා හඳුනන බොහෝ දෙනෙක් ආදර බැඳීම් කෙළවර යුග දිවියට එළඹ ගත කරන දිවියෙහි අමිහිරි අත්දැකීම් කතා කරනු ඇය අසා තිබෙයි. සත් වසරක පමණ දීර්ඝ පෙම් බැඳුමක අවසන කුලගෙට වන් ටානියා සහ ධනුෂ්ක විවාහ ජීවිතය ගත කරන ආකාරය අසෙනි තුළ යුග දිවිය ගැන ඇති අපේක්ෂා තුනී කරන්නට හේතු වෙයි.
“ආදරේ කරන කාලේ හිටපු ධනූ නෙවෙයි අසී දැන් ඉන්නෙ”
යනුවෙන් ටානියා නිතර කියයි. වෙනදා පුංචි පුංචි දේවල් ගැන අතිශයින් සාවධාන වූ ධනුෂ්ක යුග දිවියට එළඹ වසර දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන් වෙනස් වූ හැටි ටානියා ඈ සමඟ කියා ඇත්තේ හරිම සැහැල්ලුවෙනි. ඈ සලකන්නේ එය සාමාන්‍ය දෙයක් ලෙසිනි.
“ළමයි ලොකු වුණාහම කොහොමත් ඉතින් ලව් කරන කාලේ වාගේ ජෝගි දාන්න වෙන්නෑනෙ බං.. ජෝගි තියා උපන් දිනයක් ඇනිවසරියක්වත් මතක් වෙන්නෑ බං, දැන් ඌටත් ගාණක් නෑ. මටත් ගාණක් නෑ.. හැබැයි අරෝවකුත් නෑ එහෙමකට කියලා.. ඌ උගෙ පාඩුවේ මං මගෙ පාඩුවේ….”
“දෙන්න දෙන්නගේ පාඩුවේ ඉන්ඩ නම් කසාද බඳින්නෙ මොන එහෙකටද?” අසෙනි අසයි.
” බැඳලා බලපංකො..” ටානියා කියයි.
“හරි ඇත්තම කියපං.. උඹලා බඳින්ඩම ඕෙන කියලා හිතලද බැන්ඳෙ..?
“නැතුව..” ටානියාගේ කෙටි ඍජු පිළිතුර අසෙනි දුර්මුඛ කරයි. ඒ තරම් නැතුවම බැරිව හිටපු අයත් කසාද බැන්ඳයින් පසු මේ තරම් වෙනස් වන්නේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකියි. ඇයට වුවමනා පුංචි දේවල් පවා දැනෙන ආදරයකි. අසෙනිව බලන්නට සති අන්තවල පැමිණි මනමාලයන් තුළ කොතරම් සංවේදීතාවක් හෝ තමන්ට ගැළපෙන සහකම්පනයක් ඇද්දැයි සොයා බලන ප්‍රශ්න කිහිපයක් ඈ අසයි. බල්ලන්ට කැමැතිද? නන්දා මාලනීගේ සින්දුවලට කැමැතිද? බලා ඇති, බලන්නට කැමැති චිත්‍රපට මොනවාද? යන ප්‍රශ්න ඈ තමාට යෝජනා කරන ලද තරුණයා සමඟ ඇතිවන පළමු සංලාප වටයේදීම ඔහුගෙන් අසන්නට වගබලා ගනියි. ඉන්පසුව කන්නට වාඩි වන විදිහද කන විදිහද හැඳ පැලඳ සිටින ඇඳුම් පැලඳුම්වල සියලු ඇදකුදද දකියි. මේ සියලු නිර්ණායකවලින් සමත් වුවද එසේ යෝජනා කර පැමිණෙන ඇතැම් තරුණයෙක් ඉංග්‍රීසි වචනයක් උච්චාරණය කරන විදිහේ පරහක් නිසා ඇගෙන් ප්‍රතික්ෂේප වූ අවස්ථා තිබෙයි.
පිරිමියකු වෙතින් තමා දකින්නට වඩාත් කැමැති හැම ලක්ෂණයක්ම එක්තැන්කොට නිම වුණු තම පිරිමි ෆැන්ටසියේ ප්‍රතිමූර්තියක් බඳු නිගූ තමන්ගේම කර ගන්නට ඇත්නම් යන සිතුවිල්ල වරෙක අසෙනි තුළ හිතුවක්කාර මුරණ්ඩු වේශයකින් පැනනගියි. එහෙත් ඒ මොන තරම් විකාර සිතුවිල්ලක්දැයි ඇයටම සිතෙයි.
අසෙනිගේ අයි ෆෝන් තිරය මත “නිගූ” යනුවෙන් දිස් වෙයි. ඈ කලබලෙන් ගෙන එය කනට තද කරයි.
“අසී ඔයා කොහෙද?” ඔහුගේ වචන ඈ නිවාලයි.
“මං තාම ඔෆීස් එකේ…ඔයා කතා කරනකම් හිටියෙ..ඔයා එනවා නේද? ෆිෆ්ත් ලේන් එකටද එන්නෙ..? මං එන්නම්..”
” එපා..අසී ඔයා ඔහොම්ම ඉන්න..මං ඔයාව ඔතැනින් පික් කරන්නම්.”
“හරි එහෙනම් ඔයා රියර් එන්ට්‍රන්ස් එකට එන්න..ළංවෙද්දි කියන්න. මං පහළට එන්නම්..”
නිගූ බායි කියන විට අසෙනිගේ සිත ඉල්පෙයි. වචනවලින් පිරිමැසිය නොහැකි ආදර හැඟීමක් උපදියි. එය කසාදය හෝ වෙන කවර කොන්දේසියක් නිසාවත් සිඳලිය නොහැකි හැඟීමකි.
නිගූ අම්මාට තමා ගැන කීවේ කෙසේද? අම්මාගේ උත්තරය කුමක්වීද? යන දෙගිඩියාමය සිතුවිලි වරින්වර අසෙනි තුළ පෑදෙයි. ඒත් තව ටික වේලාවකින් ඒ සියලු පැහැදුම් කැටුව නිගූ තමා අබියසට එන බව සිහි වනවිට ඈ අප්‍රමාණ සතුටු වන්නීය.
තවත් කොටසකින් හමුවෙමු.
