Wednesday, January 14, 2026
Epaper
Home පුවත්2025 වර්ෂය සංචාරක ඉතිහාසය අලුතින් ලියූ වසරයි

2025 වර්ෂය සංචාරක ඉතිහාසය අලුතින් ලියූ වසරයි

by Shanaka Lakehouse
වර්ෂයේ සංකේත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පැමිණි ඉන්දියාවේ තිරුවනන්තපුරම් හී ෆිලික්ස් බෙස්ලීන් පෙරේරා මහතා, රීනා ප්‍රනාන්ඩුස් මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය යන අමුත්තන් සංචාරක නියෝජ්‍ය ආමත්‍ය මහාචාර්ය රණසිංහ ශ්‍රී ලංකා බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දී පිළිගත් අවස්ථාව

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට වසර ගණනාවක් පුරා විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. නමුත් 2025 වර්ෂය සනිටුහන් වන්නේ මෙරට සංචාරක ඉතිහාසය අලුතින් ලියූ වසරක් ලෙසිනි. පසුගිය කාලසීමාව පුරා සංචාරක පැමිණීමේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කළ අතර එය නිල වශයෙන් තහවුරු කරමින් මෙතෙක් පැවති ඉහළම සංචාරක පැමිණීම වාර්තා වූ 2018 වර්ෂයේ වාර්තාව බිඳ දැමීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙය හුදෙක් ඉලක්කම්වල වර්ධනයක් පමණක් නොව ගෝලීය සංචාරක සිතියම තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය යළි තහවුරු වීමක් ලෙස සැලකිය හැකිය.

සංචාරක නියෝජ්‍ය ආමත්‍ය මහාචාර්ය රණසිංහ මහතා

සංචාරක නියෝජ්‍ය ආමත්‍ය මහාචාර්ය රණසිංහ මහතා

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින් 2,333,797 වන සංචාරකයා ලෙස ඉන්දියාවේ තිරුවනන්තපුරම් සිට පැමිණි ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. 2018 වර්ෂයේදී වාර්තා වූ 2,333,796 ක් වූ උපරිම සංචාරක පැමිණීම මෙලෙස අබිබවා යාම දිවයිනේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශ විනිමය ඉපැයීම් සහ රැකියා උත්පාදනයට දැවැන්ත ශක්තියක් වී තිබේ. විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වභාවික අභියෝග මධ්‍යයේ වුවද මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වීම කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව මනාව පිළිබිඹු කරන්නකි.

2024 වර්ෂයේ සංචාරකයින් 2,053,465ක් පැමිණි පසුබිමක, වසරක් ඇතුළත එම සංඛ්‍යාව ඓතිහාසික අයුරින් ඉහළ නංවා ගැනීම දකුණු ආසියාවේ තරගකාරී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් විශාල පෙරළියකි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසන පරිදි, දේශීය හා විදේශීය මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැඟීමට ලබා දුන් සහාය මෙහිදී අතිශය වැදගත් විය. ඉදිරියටත් මෙම ප්‍රවේගය පවත්වා ගනිමින් රට ප්‍රතිනිර්මාණය කිරීමටත් ශ්‍රී ලංකාව ආරක්ෂිත සහ තිරසර ගමනාන්තයක් ලෙස ලොවට විවෘත කිරීමටත් බලධාරීහු කැපවී සිටිති. මෙම 2025 සන්ධිස්ථානය හුදෙක් සැමරුමක් නොව සංචාරක ක්ෂේත්‍රය රටේ ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනයේ ප්‍රබලම ගාමක බලවේගය බවට පත් කිරීමේ ආරම්භයයි.

TEXT – දුමින්ද කාරියවසම්

PIX – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?