Wednesday, January 14, 2026
Epaper
Home විශේෂාංගපවුල තුළ දිඳුලන මාතෘත්වය සහ බිරියගේ භූමිකාව

පවුල තුළ දිඳුලන මාතෘත්වය සහ බිරියගේ භූමිකාව

by Shanaka Lakehouse

සෑම නව වසරක්ම උදාවෙද්දී කතෝලික බැතිමතුන් තම වසරේ ගමන්මඟ ආරම්භ කරනුයේ මරියතුමිය මුල් කරගනිමිනි. වසරේ පළමු දිනය එතුමියට කැප කරමින් මංගල්‍යයක් පැවැත්වීම තුළ ඇත්තේ හුදු ආගමික වතාවත් මාලාවක් පමණක් නොවේ. ඒ තුළ පවතින්නේ උදා වූ නව වසර පුරා අප කෙසේ ජීවත් විය යුතුද යන්න පිළිබඳ ගැඹුරු මඟපෙන්වීමකි.

වසරේ ආරම්භයේදීම මරියතුමිය අපට පූර්වාදර්ශයක් ලෙස ඉදිරිපත් කරනු ලබන අතර ඇයගේ ජීවන රටාව අනුසාර කරමින් නව වසර අර්ථවත් කරගන්නට අප සැමට උදාර ආරාධනාවක් ඒ තුළ පවතී.

​පවුල තුළ දිදුලන මාතෘත්වය සහ බිරිඳකගේ භූමිකාව

​මරියතුමිය යනු දයාබර බිරිඳක් මෙන්ම සෙනෙහෙබර මවක් බව බයිබලයේ සඳහන් තොරතුරු අනුව ඉතා පැහැදිලිය. ඇය ජුසේතුමාට දයාබර බිරියක් වූවා සේම, ජේසුතුමාට අසමසම මවක් වූවාය. කාන්තාවක් ලෙස පවුලේ වගකීම් ඉතා ඉහළින්ම ඉටු කළ ඇය, ශුද්ධ වූ පවුලේ අන්‍යෝන්‍ය බැඳීම ශක්තිමත් කිරීමට කැපවූවාය. එමෙන්ම ඇය පවුලේ සීමාවන්ට පමණක් කොටු නොවී යහපත් අසල්වැසියෙකු ලෙස ද කටයුතු කළාය. තම ඥාති සොහොයුරිය වූ එලිසබෙත් තුමියට උදවු වීමට ඇය ඉදිරිපත් වූයේ කිසිදු ආත්මාර්ථයකින් තොරවය. එමෙන්ම කානා නුවර මංගල්‍යයේදී මීදි යුෂ හිඟ වූ අවස්ථාවේදී අසරණ වූ පිරිස වෙනුවෙන් පෙනී සිටිමින් ඇයගේ කරුණාවන්ත මැදිහත්වීම ප්‍රදර්ශනය කළාය. මෙකී ආදර්ශයන් වත්මන් තරුණියන්ට සහ කාන්තාවන්ට මහත් අස්වැසිල්ලක් වුවද, එතුමියගේ චරිතය තුළින් අපට ඉගෙන ගත හැකි පාඩම් එපමණකින් අවසන් නොවේ.

​මරියතුමියගේ සමාජ දැක්ම සහ උදාන ගීයේ රහස

මරියතුමියට තම පවුල් ජීවිතයේ සීමාවන්ගෙන් ඔබ්බට ගිය සමස්ත සමාජය පිළිබඳව ඉතා අපූරු සහ ගැඹුරු දැක්මක් තිබූ බව ශුද්ධ වූ බයිබලය සාක්ෂි දරයි. මෙය වඩාත් පැහැදිලි වන්නේ ලූක් සුභාරංචියේ සඳහන් වන එතුමියගේ “උදාන ගීය” (Magnificat) තුළිනි. එහි ඇය මෙසේ පවසන්නීය: “සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර, මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.” (ලූක් 1:51-53).

​මෙම ප්‍රකාශය තුළින් එතුමිය ජීවත් වූ සමාජය පිළිබඳව ඇයට තිබූ විවේචනාත්මක දැක්ම මැනවින් නිරූපණය වේ. උඩඟු වූවන්, මහ නරපතීන්, සාගිනි වූවන් සහ ධනවතුන්ගෙන් සමන්විත වූ අසමබර සමාජය පිළිබඳව ඇයට බරපතළ ප්‍රශ්නයක් පැවතිණි. ඇය මෙම සමාජ අසාධාරණය දේව කැමැත්ත හෝ තමාගේ කරුමය යැයි සලකා නිහඬව භාරගත්තේ නැත. ඒ වෙනුවට ඇය පැතුවේ එවැනි පීඩනයන්ගෙන් තොර යුක්තිසහගත සමාජයකි. දෙවියන් වහන්සේගේ අවශ්‍යතාව ද එවැනි සාධාරණත්වයක් බව ඇය ඇදහිල්ල තුළින් වටහා ගත්තාය. එදා පැවති සමාජ පද්ධතිය මුළුමනින්ම වෙනස් විය යුතු බවත්, පීඩිතයා නඟා සිටුවිය යුතු බවත් ඇය අවබෝධ කරගෙන සිටියාය.

​කුරුසිය පාමුල සිටි විප්ලවීය කාන්තාව

​ජේසුතුමාගේ මව වීමේ කැඳවීම ඇය භාරගන්නේ ද මේ කියන පුළුල් සමාජ දැක්ම තුළ සිටිමිනි. ඇයගේ මෙම දර්ශනය ඇයව ජේසුතුමාගේ මෙහෙවර පුරාම ශක්තිමත්ව රඳවා තැබීමට උදවු විය. උන්වහන්සේගේ මෙහෙවරේ අවසානය දක්වාත්, විශේෂයෙන්ම කුරුසියේ මරණය දක්වාත් ඇය අකම්පිතව කුරුසිය පාමුල රැඳී සිටියේ එම දැක්මට ඇති දැඩි විශ්වාසය නිසාය. ජේසුතුමාගේ මරණයෙන් පසුව බිය වී විසිර ගිය ශ්‍රාවකයින්ව නැවත එකතු කර ශක්තිමත් කුඩා සංඝයක් (මුල් සභාව) ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ ද එතුමියයි. ඇය කළ කී සියල්ලක්ම සාධාරණත්වය සහ සමාජ පද්ධතියේ වෙනසක් සඳහා වන දිව්‍යමය දැක්මට සාක්ෂි දැරීමක් බඳු විය.

​වත්මන් කාන්තාව සහ සමාජයීය අභියෝගය

​අද වන විට මරියතුමිය යනු ආගම් භේදයකින් තොරව ලොව වෙසෙන සියලුම තරුණියන්ට සහ කාන්තාවන්ට ගත හැකි අසමසම පූර්වාදර්ශයකි. අතීතයේ මෙන් නොව වර්තමානයේ කාන්තාව ගෘහිණියකගේ භූමිකාවට පමණක් සීමා වී නැත. ඕ අද උසස් අධ්‍යාපනය ලබමින් පිරිමින් හා කරට කර රැකියාවල නිරත වෙමින් රාජ්‍ය නායකත්වයේ පවා වගකීම් දරන්නීය. මෙය ඉතා යහපත් තත්ත්වයක් වුවද, අප විමසිය යුතු කරුණක් ඇත. එනම් මරියතුමිය සතුව තිබූ පවුලේ සීමාවන්ගෙන් ඔබ්බට ගිය ඒ පොදු සමාජ දැක්ම අද කාන්තාව වැලඳගෙන තිබේද යන්නයි.

​අද අපේ රටේත් මුළු මහත් ලෝකයේත් සමාජ වෙනසක් පිළිබඳව දැඩි සංවාදයක් පවතී.

මෙම වෙනස සඳහා වන සැබෑ මඟපෙන්වීම මරියතුමියගේ පෙර කී වදන් තුළ ගැබ්ව ඇත. වත්මන් ලෝකයේ පීඩිත ජනතාව තව තවත් පීඩාවට පත් කරන සාගිනි වූවන් වඩ වඩාත් බිහි කරන සහ ධනය සුළු පිරිසක් අතර පමණක් රැස් වන ගෝලීය ආර්ථික ක්‍රමවේදය අප ඉදිරියේ ඇත. මේ සඳහා වත්මන් ගෝලීය පාලකයන් අනුගමනය කරන දේශපාලන ක්‍රමවේදය වෙනස් විය යුතුව පවතී. එවැනි පද්ධතිමය වෙනසක් තුළින් දීනයන් ඉහළ නංවා උසස් කරන සමාජයක් බිහි කිරීම සඳහා කාන්තාව ද පිරිමින් සමඟ උරෙන් උර ගැටී ඉදිරිපත් විය යුතුව ඇත.

​මරියතුමියගෙන් ලැබෙන කැඳවීම

​මරියතුමිය වත්මන් කාන්තාවට එල්ල කරනු ලබන සැබෑ අභියෝගය මෙයයි. හුදෙක් පෞද්ගලික දියුණුව හෝ පවුලේ සුවසෙත ගැන පමණක් සිතනවා වෙනුවට පීඩනයට පත් වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ඇය අපෙන් බලාපොරොත්තු වේ. අසාධාරණ පද්ධතීන් වෙනස් කිරීමටත්, සාගින්නෙන් තොර ලොවක් ගොඩනැඟීමටත් කාන්තාව සතු ශක්තිය සහ සංවේදීතාව අත්‍යවශ්‍ය වේ.

​එබැවින් ලැබුවා වූ මෙම නව වසරේදී මරියතුමිය යනු පල්ලියේ අල්තාරය මත ඇති පිළිමයකට පමණක් සීමා නොකර, ඇයගේ ඒ විප්ලවීය සමාජ දැක්ම අපගේ හදවත් තුළට ගනිමු. සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඬ නඟන, පීඩිතයා වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් පිරිසක් බිහිවීම මරියතුමියට කරන සැබෑ උපහාරය වනු ඇත.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?