Wednesday, January 14, 2026
Epaper
Home විශේෂාංගමෙයත් කාන්තා හිංසනයක් නොවෙද?

මෙයත් කාන්තා හිංසනයක් නොවෙද?

by Shanaka Lakehouse

මේ දිනවල සමාජ මාධ්‍යවල මෙන්ම මහා සමාජයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ අගමැතිනි හරිනි අමරසූරිය ගැනය. මේ ප්‍රශ්නයට නැතිනම් කතාබහට මූලික වූයේ පෙළපොතක් සම්බන්ධව වූ සිද්ධියකි. නමුත් බුකිය පුරා ඒ කතාබහ දැන් යන්නේ වෙනත් කතා කේන්ද්‍ර කර ගනිමින් එකිනෙකාගේ ඇරියස් කවර් කර ගන්නටය.

එතුමියගේ ලිංගික නැමියාව, අඳින පලදින ආකාරය, ඇගේ හිසකෙස් අවුල් වීම බහුතර සාරි අඳින පිරිමින්ගෙ මාතෘකාව වී ඇත. ඇගේ පෞර්ෂයට, දැනුමට, නිහතමානීකමට චැලේන්ජ් කළ නොහැකි ( අඩු තරමේ ඒ අහලකටවත් කිට්ටු වෙන්නට හිතන්නටවත් නොහැකි), දුර්වලයින්ගේ මේ හැසිරීම හාස්‍යජනකය. සමහරු ඇයට අගමැතිකමින් ඉල්ලා අස්වන්නට යැයි බුරති. අගමැතිකමින් ඉල්ලා අස්වන්නට ඈ කළ වරද කිම? වරද සිදු වී ඇත්තේ පෙළපොතක නම් එහි වැරදිකරුවන් ඒ පෙළපොත සකස් කළ ඊට සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් බව ඕනෑම බත්කන මනුස්සයෙකුට තේරෙන ඇත්ත ය. අධ්‍යාපන ඇමැති, අගමැති ඉන්නෙ පෙළ⁣පොත් සංස්කරණය කරන්නට ද? එය ඇගේ කාර්යභාරය ද?

කාගෙන් හෝ වරදක් වී ඇත්නම් එයට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුය. වරද කළ අයම දඬුවම් ලැබිය යුතුම ය. මක්නිසාද මේ සෙල්ලම් කර ඇත්තේ දරුවන් නොමඟ යැවීම සම්බන්ධයෙන් ය. කිසිවිටෙකත් මෙය අත්වැරැද්දක් ලෙස සිතිය නොහැකිය. අප කවුරුත් පෙළ ගැසිය යුත්තේ එතැනටය. ඒ මිසක් අධ්‍යාපන ඇමැතුමිය ගෙදර යැවීමට නොවේ. මේ මඩ අවලාද සියල්ලම නඟන්නේ එතුමිය උගත්, නිහතමානී, එඩිතර, ගෞරවනීය කාන්තා පෞර්ෂයක් වීම නිසාම ය.

සැබැවින්ම අපේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි අභිමානවත් කාන්තා පෞරුෂ කිහිපයක් අපි වරින් වර දැක ඇත්තෙමු. මෙරට බිහිවූ ලෝ ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මැතිනිය එම ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයේම සිටි. ඇගේ එඩිතර, ගාම්භීර, මවුවත් ගුණයට ඒ ඇති ගෞරවය කිසිදා අහිමි නොවන්නකි. පසු කලෙක ඇගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ..ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිතුමිය .. ප්‍රතාපවත් ආකර්ෂණීය නායිකාව.. රාජ්‍ය සේවය නැංවීම උදෙසා කළ ඒ මහා කාර්යභාරය අපට කිසිදා අමතක නොවේ. ඇගේ සුන්දර රූ සපුව… ආකර්ෂණීය සිනහවේ නටබුන් ඈ වියපත් වුවද තවමත් දකින්නට ඇත. දෙදහස් 2024 අවුරුද්දේ කොළඹ වැඩිම මනාප ලබා ගනිමින් .. එදා මෙදා තුර දේශපාලන ඉතිහාසයේ අසමසම ජයග්‍රහණයක් සනිටුහන් කරමින් හරිනි ලැබූ ඒ ජයග්‍රහණය අද්විතීය වූවකි .

මෙරට දේශපාලන කරළියෙහි අධ්‍යාපනයෙන් හිණිපෙත්තටම නැඟි කාන්තා භූමිකාවක් අගමැති වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඇය දර්ශනපති උපාධිය හිමි කරගත් ආචාර්ය හරිනි අමරසූරියයි. ඇගේ අධ්‍යාපන තත්ත්වයට ළඟින් තියන්නට ඔය කට මත දොඩවන කිසිවෙකුට බැරිය. ඇගේ නිහතමානීත්වය ඒ බව විදහා පායි. ගොයම් ගස වී කරලින් බරවන්නේ කෙසේද? ඒ තරම්ම ඇය නිහතමානී ගුණයෙන් පොහොසත්ය. ඇය චාම්ය. සරලය. උඩඟුකමින් තොරය. පුහු ආටෝප නැත. විච්චූරණයන්ගෙන් තොරය. රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන්ට සිටි රූපලාවණ්‍ය ශිල්පීන් ඈ ළඟ නොමැත. ඇය ජීවත් වන්නේ ඇයට ආවේණික විලාසයෙනි. එය අලංකාරය, අපූරුය. කුඩ අල්ලන්නට. වාහනේ දොර අරින්නට පමණක් නොව ඇගේ බෑගය රැගෙන යන්නට රාජ්‍ය හමුදා නිලධාරීන් ඈට ඕනෑ නැත. එතුමිය තුළ ඇති ඒ සරල නිහතමානීකම නිසාම ඇය තැනකට එන විට සිත් ගන්නා සුළුය. එතුමියගේ හැසිරීම, කතාබහ විලාසය, ඈ අඳින පලඳින විලාසයට මේ රටේ බොහෝ කාන්තාවන් කැමැති ය. ඇය පලඳින ස්වරූපයෙන් රටට හානියක් වන්නේ නැත. අගෞරවයක් වන්නේ ද නැත . රටට නරකක් වන්නේ හොරකම් කළ විටය. රාජ්‍ය යන්ත්‍රණය කඩාකප්පල් කළ විටය. කාගේ හෝ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සමින් ඊට බලපෑම් කරන්නට කාටත් අයිතියක් නැත. එය පෞද්ගලික කැමැත්ත ය. රටේ අගමැතිතුමියට මෙලෙස නම් සාමාන්‍ය කාන්තාවකට නැඟෙන අපහාස අවලාද ගැන කවර කතාද?

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?