Wednesday, February 4, 2026
Epaper
Home විශේෂාංගසොබාදහමට කෘතගු ණ පුදන තෛපොංගල් මංගල්‍යය

සොබාදහමට කෘතගු ණ පුදන තෛපොංගල් මංගල්‍යය

by Shanaka Lakehouse

සොබාදහමේ ආශීර්වාදයත්, ගොවියාගේ දහදියත් එක්ව නෙළාගත් අස්වැන්නෙන් ලොවම සරුසාරවන මොහොත “තෛපොංගල්” මංගල්‍යයයි. මෙය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව, මිනිසා සහ සොබාදහම අතර පවතින අකලංක බැඳීම ලොවට කියාපාන සංස්කෘතික පාලමකි. හිරු දෙවියන්ගේ ශක්තියෙන් ජීවය ලබන ලෝකයට, කෘතවේදීත්වය පිරිනැමීම මෙහි මූලික හරයයි.

“තෛ” මාසයේ උදාවත් සමඟ නිවෙස් ඉදිරිපිට ඇඳෙන වර්ණවත් කෝලම් රටා සහ අලුත් මැටි වළඳක කිරි උතුරා පිසිනු ලබන පොංගල් බතේ සුවඳ, නව බලාපොරොත්තු සහ සෞභාග්‍යයේ ආගමනය සනිටුහන් කරයි. ගොවිතැනට උරදුන් ගවයා ඇතුළු සත්ත්ව ප්‍රජාවට ගෞරව දැක්වීමත්, බෙදාහදා ගැනීම තුළින් සහජීවනය වර්ධනය කර ගැනීමත් මෙම උත්සවයේ ඇති සුවිශේෂී ලක්ෂණ වේ. සාමය, සතුට සහ සෞභාග්‍යය පතමින් “පොංගලෝ පොංගල්” යන හඬින් දසත රැව් දෙන්නේ, අඳුර දුරු වී ආලෝකය උදාවන බවට වන සුබවාදී පණිවිඩය ලොවට බෙදා හරිමිනි. තෛපොංගල් උත්සවයේ ප්‍රධාන ආහාර වන්නේ,

පොංගල් බත

මෙය හුදෙක් ආහාර පිසීමක් නොව, සෞභාග්‍යය සහ උතුරා යන සතුට සංකේතවත් කරන පූජනීය වත්පිළිවෙතකි. පොංගල් බත පිසීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ එළිමහනේ, සූර්ය රශ්මිය කෙළින්ම වැටෙන ස්ථානයකය. පිරිසුදු කරන ලද බිමෙහි අලංකාර කෝලම් රටා ඇඳ, ගඩොල් උපයෝගී කරගෙන තාවකාලික ළිපක් සකස් කරනු ලබයි. මේ සඳහා අලුත් මැටි වළඳක් භාවිත කරන අතර, එහි කට වටා නැවුම් ඉඟුරු සහ කහ පැළෑටි ගැටගැසීම සිරිතකි. මෙය පිරිසුදු බව සහ මංගල සම්මත බව සංකේතවත් කරයි.

පොංගල් බත සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ අලුතින් නෙළාගත් සහල් (රතු සහල්), එළකිරි බෝතලයක්, සීනි, හකුරු, මුං ඇට, වියළි මිදි, කජු, රටඉඳි, එනසාල්, කරබුනැටි, ගී, වියළි මිදි පොල් ගෙඩියක්, ආදියයි. ඒවා සකස් කර ගැනීමෙන් පසුව මෙය සාදන්නට සූර්යයා උදා වන සුබ මොහොතින්, හිරු දෙසට මුහුණ ලා අලුත් මැටි ළිප මෙළවීම සිදු කරනු ලබයි. ඉන් පසුව කිරි ඉතිරවීම සිදු කරයි. එහිදී ප්‍රථමයෙන් අලුත් මැටි වළඳට එළකිරි දමා රත් කරන අතර පසුව කිරි උතුරා වළඳින් පිටතට හැලෙන විට පවුලේ සැම එක්ව “පොංගලෝ පොංගල්” යැයි පවසති. මෙයින් අදහස් කරන්නේ “මෙම බත මෙන් අපේ ජීවිත ද සෞභාග්‍යයෙන් උතුරා යනු ලැබේවා” යන්නයි.

ඉන් පසුව මුලින්ම කිරි ඉතිරී ගිය පසු, පිරිසුදු කළ අලුත් සහල් වළඳට දමනු ලැබේ. පසුව සහල් තැම්බීගෙන එන විට එයට, පොල් හකුරු, බැදගත් කජු, වියළි මිදි සහ සුවඳ සඳහා එනසාල්, කරබුනැටි, ගී එක් කරන්න. ඉන් පසු බත හොඳින් තැම්බී, පදමට පැමිණි පසු එය ළිපෙන් බාගෙන සූර්යයාට පූජා කිරීමට සූදානම් කර ගන්න. පිළියෙල කරගත් රසවත් පොංගල් බත පළමුව සූර්ය දිව්‍ය රාජයාට පූජා කර, පසුව පවුලේ අය සහ අසල්වැසියන් අතර බෙදා ගනිමින් සහජීවනය ප්‍රදර්ශනය කරනු ලබයි.

සක්කරෛ පොංගල් (පැණි බත)

මෙමඟින් ජීවිතයේ සෞභාග්‍යය සහ මිහිරි බව සංකේතවත් කරනු ලබයි. මෙය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ අලුත් සහල්, මුං ඇට, හකුරු, එළඟිතෙල්, කජු, මුද්දරප්පලම්, කරදමුංගුය. මෙය සාදන ක්‍රමය වන්නේ මුලින්ම සහල් සහ මුං ඇට කිරිවලින් තම්බා ගන්න. ඉන් පසුව බත තැම්බුණු පසු දියකරගත් හකුරු එක් කරන්න. අවසානයට එළඟිතෙලෙන් බැදගත් කජු සහ මුද්දරප්පලම් මිශ්‍ර කරන්න.

වෙණ් පොංගල් (ලුණු රස බත)

මෙය ශරීරයේ ප්‍රතිශක්තිය සහ නීරෝගී බව උදෙසා සාදනු ලබයි. මෙය සාදන්නට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, සහල්, මුං ඇට, ගම්මිරිස්, සූදුරු, ඉඟුරු, කරපිංචා, එළඟිතෙල්ය. මෙය සෑදීමට මුලින්ම සහල් සහ මුං ඇට මෘදු වන තෙක් තම්බා ගන්න. වෙනත් භාජනයක එළඟිතෙල් රත් කර අබ, ගම්මිරිස්, සූදුරු, ඉඟුරු තෙම්පරාදු කර බතට එක් කර ලුණු දමා මිශ්‍ර කරන්න.

උඳු වඩේ

මෙමඟින් කායික ශක්තිය සහ ජීවිතයේ පූර්ණත්වය (වටකුරු හැඩය) නිරූපණය කරයි. මෙය සාදන්නට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, උඳු ඇට, ලූනු, අමුමිරිස්, කරපිංචා, ගම්මිරිස්, ලුණු‍ය. මෙය සාදනු ලබන්නේ මුලින්ම පොඟවා ගත් උඳු ඇට අඹරා එයට අනෙකුත් ද්‍රව්‍ය එක් කරන්න. කුඩා බෝල සාදා මැද සිදුරක් තබා රන්වන් පැහැ වනතෙක් ගැඹුරු තෙලේ බැද ගන්න.

තෛපොංගල් එළවළු කරිය

මෙමඟින් සොබාදහම ලබා දෙන අස්වැන්නේ විවිධත්වයට කෘතවේදීත්වය දැක්වීමයි. මෙය සාදන්නට අවශ්‍ය ද්‍රව්‍ය වන්නෙ, එළවළු වර්ග 7ක් (වට්ටක්කා, අල, කැරට් ආදිය), පොල්කිරි, කුළුබඩුය. මෙය සාදනු ලබන්නේ මුලින්ම සියලුම එළවළු කුඩා කැබලිවලට කපා වතුරෙන් තම්බා ගන්න. එයට කුළුබඩු සහ රස අනුව ලුණු එක් කරන්න. අවසානයේ පොල්කිරි දමා උකු වන තෙක් පිසගන්න.

අවියල්

මෙමඟින් පවුලේ සහ සමාජයේ සමගිය සහ සාමූහිකත්වය සංකේතවත් කරයි. මෙය සාදන්නට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, විවිධ එළවළු, ගාගත් පොල්, අමුමිරිස්, සූදුරු, මුදවාපු කිරි, පොල්තෙල්ය. මෙයට සෑදීමට මුලින්ම එළවළු දිගටි කැබලි ලෙස කපා තම්බා ගන්න. පොල්, අමුමිරිස් සහ සූදුරු අඹරා එයට එක් කරන්න. ළිපෙන් බා මුදවාපු කිරි සහ පොල්තෙල් ස්වල්පයක් මිශ්‍ර කරන්න.

පායාසම්

මෙමඟින් සබඳතාවල ඇති ආදරය සහ සතුට මිහිරි පානයක් ලෙස නිරූපණය කරයි. මෙය සාදන්නට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, සව් ඇට හෝ සෙවණි, කිරි, සීනි/හකුරු, කජු, මුද්දරප්පලම්ය. මුලින්ම සව් හෝ සෙවණි කිරිවල තම්බා ගන්න. එයට සීනි හෝ හකුරු එක් කර උකු කරන්න. බැදගත් කජු සහ මුද්දරප්පලම් එක්කර පිළිගන්වන්න. මෙම කෑම වේල පිළිගන්වන විට “කෙසෙල් කොළයක්” භාවිත කිරීමෙන් එහි පාරම්පරික වටිනාකම තවත් වැඩි වේ.

රසයෙන් පිරි තෛපොංගල් කෑම මේසය

තෛපොංගල් උත්සවයේ භෝජන සංග්‍රහය හුදෙක් බතට පමණක් සීමා නොවේ. දිව පිනවන රසකැවිලි සහ සොබාදහමෙන් ලද නැවුම් පලතුරු මෙයට එක් කරන්නේ අපූර්ව මිහිරකි.

ලඩ්ඩු සහ ජලේබි :

උත්සව සිරිය තව තවත් තීව්‍ර කිරීම සඳහා ලඩ්ඩු සහ ජලේබි ප්‍රධාන තැනක් ගනී. කඩල පිටි, සීනි සහ ගිහිතෙල් මිශ්‍ර කර සාදන රන්වන් පැහැති “ලඩ්ඩු” සහ සිරප්වල ගිල්වා සකසන කර කර ගා හැපෙන “ජලේබි” තෛපොංගල් කෑම මේසයට වර්ණවත් බවක් මෙන්ම පිරිපුන් බවක් ද එක් කරයි.

කෙසෙල් ගෙඩි :

ඕනෑම හින්දු ආගමික වතාවත්වලදී මෙන්ම තෛපොංගල් පූජාවේදී ද කෙසෙල් ගෙඩි අත්‍යවශ්‍ය අංගයකි. විශේෂයෙන්ම ‘ඉතාලි’ හෝ ‘සීනි’ කෙසෙල් වැනි වර්ග දෙවියන්ට පූජා කරන අතර, පොංගල් බත සමඟ කෙසෙල් ගෙඩි අනුභව කිරීම සාම්ප්‍රදායික සිරිතකි.

උක් දඬු :

තෛපොංගල් උත්සවයේ අනන්‍යතාවය වන්නේ උක් දඬුය. නි‍ෙවසේ ප්‍රධාන දොරටුව දෙපස උක් දඬු බැඳ තැබීමෙන් සෞභාග්‍යය අපේක්ෂා කෙරේ. උක් දඬු හපන විට දැනෙන ඒ දැඩි මිහිරියාවෙන් සංකේතවත් කරන්නේ ජීවිතයේ අප මුහුණ දෙන බාධක ජයගත් පසු ලැබෙන මිහිරි ප්‍රතිඵලයයි. පූජාවෙන් පසු කුඩා කැබලිවලට කැපූ උක් දඬු නිවැසියන් සහ අසල්වාසීන් අතර බෙදා ගනිමින් සතුට හුවමාරු කර ගනී.

 

මාට්ටු පොංගල්

තෛපොංගල් උත්සව මාලාවේ දෙවැනි දිනය “මාට්ටු පොංගල්” ලෙස හඳුන්වනු ලබයි. “මාට්ටු” යනු දෙමළ භාෂාවෙන් “ගවයා” යන්නයි. මෙම දිනය වෙන් කර ඇත්තේ ගොවිතැන් කටයුතු සඳහා තමන්ට උදවු කරන ගවයන්ට කෘතගුණ දැක්වීම වෙනුවෙනි. මෙය ගවයන් හා එළුවන් වෙනුවෙන් පවත්වනු ලබන උපහාර උලෙළක් ලෙස හැඳින්විය හැකිය. මාට්ටු පොංගල් උත්සවයේ වැදගත් කරුණු කිහිපයකි.

මිනිසාගේ සමීපතම මිතුරා වන ගවයා, කුඹුරු සී සෑමේ සිට අස්වැන්න ප්‍රවාහනය දක්වා විශාල මෙහෙවරක් ඉටු කරයි. එම සේවය අගය කිරීම මෙදින ප්‍රධාන අරමුණයි. ඒවගේම ගවයන් හැඩගැන්වීමද කරනු ලබයි. එනම් මෙදින ගවයන්ව නහවා පිරිසුදු කරනු ලබයි. පසුව ඔවුන්ගේ අං තට්ටු වර්ණවත් ලෙස පාට කර, මල් මාලා පළඳවා, ගෙජ්ජි සහ සීනු ආභරණවලින් ගවයන්ව අලංකාර කරයි. ඇතැම් අවස්ථාවල ගවයාගේ නළලේ තිලක තැබීම ද සිදු කෙරේ. ඒවගේම ගවයන් සඳහා විශේෂ පූජාවන්ද පවත්වනු ලබයි. එනම් ගව මඩුව පිරිසුදු කර, එහි තොරාණ බැඳ සරසනු ලබන අතර ඉන්පසු ගවයන් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කළ මාට්ටු පොංගල් බත, පලතුරු, උක් දඬු සහ කෙසෙල් ගෙඩි ඔවුන්ට අනුභව කිරීමට දෙයි. මෙය ඉතා භක්තිමත් ලෙස සිදු කරන චාරිත්‍රයකි. එසේම දකුණු ඉන්දියාවේ සහ මෙරට ඇතැම් ප්‍රදේශවල මාට්ටු පොංගල් දිනය නිමිත්තෙන් ‘ජල්ලිකට්ටු’ වැනි සාම්ප්‍රදායික ක්‍රීඩා පවත්වනු ලබයි. මෙය ගවයාගේ ජවය සහ මිනිසාගේ ශක්තිය විදහා දක්වන ක්‍රීඩාවකි. තවද මාට්ටු පොංගල් දිනයේ උදෑසන, කාන්තාවන් වර්ණ ගැන්වූ බත් බෝල කෙසෙල් කොළ මත තබා කපුටන් ඇතුළු පක්ෂීන්ට ආහාරයට දෙයි. මෙය තම සහෝදර සහෝදරියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් සහ සොබාදහමේ සෙසු සතුන්ට සංග්‍රහ කිරීමක් ලෙස සිදු කරන චාරිත්‍රයකි.

TEXT – පවනි උමේෂා කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?