Wednesday, January 14, 2026
Epaper
Home විශේෂාංගඅද ඉඳලා අපි අලුත් විදහට හිතමු

අද ඉඳලා අපි අලුත් විදහට හිතමු

by Shanaka Lakehouse

 

“මේ අවුරුද්දේ මම මගේ පවුල, මේ තියෙන තත්ත්වයෙන් එක අඩියක් ඉස්සහරහට ගන්නවාමයි!”

කොහොමද ඒක කරන්නේ? මෙන්න සැලැස්ම.

“තනි එන්ජිමේ” ගමන නවත්වමු (අපි දියුණු රටවල් වගේ හිතමු)

ලංකාවේ අපේ ලොකුම දුර්වලකම මේකයි. ගෙදර බර අදින්නේ මහත්තයා විතරයි. නෝනා ගෙදර වැඩ විතරයි. හිතන්න, ලොකු කන්දක් උඩට බර කරත්තයක් අදින්න එක හරකෙක්ට පුළුවන්ද? ඌට අමාරුයි. හති වැටෙනවා. ලෙඩ වෙනවා. අන්තිමට කරත්තෙත් පෙරළෙනවා. දියුණු රටවල එහෙම නෑ. මහත්තයයි නෝනයි දෙන්නම හම්බ කරනවා. “ඩබල් එන්ජින්” (Double Engine)

සමහර මහත්තුරු කැමැති නෑ බිරිය රස්සාවකට යනවට. “ඔයා ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න” කියනවා. හරි, අපි ඒකට ගරු කරමු. හැබැයි නෝනේ… “ගෙදර ඉන්නවා” කියන්නේ “නිකම් ඉන්නවා” කියන එක නෙවෙයි.

අතේ තියෙන ෆෝන් එක “සල්ලි මවන මැෂිමක්” කරගමු

ඔබ ෆේස්බුක් එකේ අනුන්ගේ ඕපාදූප බල බල ස්ක්‍රෝල් කරන වෙලාව, ඔබේ පවුල ගොඩදාන්න පාවිච්චි කරන්න පුළුවන් බව ඔබ දන්නවාද? අද කාලේ රස්සාවකට යන්නම ඕ‍ෙන නෑ.

උයන්න පුළුවන්ද?

ගෙදර හදන කෑම (Home made food), බයිට් පැකට්, ස්වීට්ස් හදලා ලස්සන ෆොටෝ එකක් ගහලා ඔබේම ෆේස්බුක් පේජ් එකක් හදලා දාන්න. “ගෙදර හැදූ පිරිසුුදු කෑම” වලට මිනිස්සු පුදුම ඉල්ලුමක් තියෙන්නේ.

මහන්න පුළුවන්ද? පොඩි ළමයින්ට ගවුම්, රෙද්දෙන් හදන බෑග්, අත්කම් නිර්මාණ හදලා විකුණන්න.

උගන්වන්න පුළුවන්ද?

සූම් (Zoom) එකෙන් ටියුෂන් කරන්න.

විකුණන්න පුළුවන්ද? Dropshipping (තොග මිලට බඩු අරගෙන ලාභයක් තියාගෙන විකිණීම කරන්න. බඩු ගෙදරට ගේන්න ඕන නෑ. කඩේක තියෙන බඩුවල ෆොටෝ දාලා, ඕඩර් ආවම යවන්න. ඔයාට මේකට ලංකාවේ තියෙන delivery ආයතනයක් සම්බන්ධ කරගන්න පුළුවන්.

මහත්තයා එක්ක රණ්ඩු වෙන්න එපා. එයාට කියන්න “මම ඔයාට ලොකු හයියක් වෙන්නම්. මම ගෙදර ඉඳන්ම කීයක් හරි හොයන්නම්.” ඔබ මාසෙට රුපියල් 15,000ක් හෙව්වත්, ඒකෙන් පුළුවන් ලයිට් බිලයි, වතුර බිලයි ගෙවලා දාන්න. මහත්තයාගේ ඔළුවේ බර කොච්චර අඩු වෙනවද?

සල්ලි පාලනය

(Money Management) – හිල් බාල්දියට වතුර පුරවන්න එපා.

ගොඩක් පවුල්වලට සල්ලි ලැබෙනවා. ඒත් මාසේ අන්තිමට ඉතුරු නෑ. හේතුව? කළමනාකරණයක් නෑ.

මේ අලුත් අවුරුද්දේ මේ පුංචි නීති ටික දාගන්න

පොතක් තියාගන්න:

අද රුපියල් 10ක් වියදම් වුණත් පොතක ලියන්න. මාසේ අන්තිමට බලන්න “අපරාදේ” වියදම් කළේ මොනවටද කියලා.

අත්‍යවශ්‍ය දේ පළමුව

පඩිය හම්බ වුණාම මුලින්ම ගෙවන්න ඕනේ ණය සහ බිල්පත් ටික හැකි විදිහට ගෙවලා දාන්න, අනවශ්‍ය වියදම් හැකි තරම් අඩු කරන්න. (ඔබ ස්ථාවර වුණාම ඔයාට ඕන විදිහට විනෝද වෙන්න පුළුවන්)

ණයට කන්න එපා

ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ කඩේ පොතට ණය අරන් වියදම් කරන එක පුළුවන් තරම් අඩු කරන්න. අතේ තියෙන ගාණට ජීවත් වෙන්න. පුරුදු වෙන්න. දැනට බත් පිඟානට සම්බෝලයි බිත්තරයි තිබුණම ඇති, චීස් කොත්තු ඕන නෑ. අපි ස්ථාවර උනාම අපිට 5 star හොටෙල් එකකින්ම කන්න පුළුවන්.

ෆේස්බුක් ලෝකෙට රැවටෙන්න එපා Stop Comparing

ඔබ උදේට ෆේස්බුක් එක බලනවා. යාළුවෙක් අලුත් කාර් එකක් අරන්. තව කෙනෙක් ලොකු ට්‍රිප් එකක් ගිහින්. ඔබට නිකන්ම හිතෙනවා, “අපෝ… අපි මොන හිඟන්නොද? අපිට මුකුත් බෑනේ” කියලා. මතක තියාගන්න, මිනිස්සු සෝෂල් මීඩියාවල දාන්නේ එයාලගේ ජීවිතේ “හොඳම විනාඩි කිහිපය” විතරයි.

ඒ අලුත් කාර් එක ෆිනෑන්ස් කරලා වාරිකේ ගෙවන්න බැරුව එයා දුක් විඳිනවා වෙන්න පුළුවන්.

ඒ ට්‍රිප් එක ගියේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණය වෙලා වෙන්න පුළුවන්. අනුන්ගේ “පිට පොත්ත” බලලා, ඔබේ “ඇතුළාන්තය” මැනගන්න යන්න එපා. ඔබේ ගමන ඔබ යන්න. හෙමීට ගියත් තමන්ගේම සල්ලිවලින් යන ගමන ෂුවර්.

“තත්ත්ත්වෙ” (Status) නඩත්තු කරන්න ගිහින් බංකොලොත් වෙන්න එපා

ලංකාවේ අපේ ලොකුම හතුරෙක් තමයි මේ “Status Maintenance” කියන්නේ.

අල්ලපු ගෙදර අය කාර් එකක් ගත්ත නිසා, අපිට කන්න නැතත් අපිත් ණයක් වෙලා කාර් එකක් ගන්නවා. නෑදෑයෝ බණී කියලා බයට, ණය වෙලා ලක්ෂ ගාණක මඟුල් ගෙවල් ගන්නවා.

හිතන්න… ඔබ ලොකු වෙඩින් එකක් අරන්, පස්සේ ණය ගෙවන්න බැරුව බඩගින්නේ හිටියොත්, ඔය වෙඩින් එකට ආපු එක නෑදෑයෙක්වත් ඇවිත් ඔබට බත් පැකට් එකක් දෙනවද? නෑ. එයාලා වෙඩින් එක දවසේ කාලා බීලා යයි. ණය ගෙවන්න වෙන්නේ ඔබටයි ඔබේ මහත්තයාටයි/බිරිඳටයි විතරයි.

ඒ නිසා මේ අලුත් අවුරුද්දේ හිත හයිය කරගන්න. “අපිට පුළුවන් විදිහට අපි ජීවත් වෙනවා. ” සරලව, චාම්ව, ණය නැතුව ජීවත් වෙන මිනිහා තමයි ඇත්තටම “පොහොසත්”.

“සාමය” කියන්නේ නීරෝගිකමයි , ගෙදර ආර්ථිකේ හයිය වෙනකොට, ණය බර අඩු වෙනකොට… ඉබේම හිතේ ගින්දර නිවෙනවා.

මහත්තයාට හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.

නෝනාට ඩිප්‍රෙෂන් හැදෙන්නේ නෑ.

දරුවෝ හිනාවෙලා ඉන්නවා.

මේ අලුත් අවුරුද්දේ, අපි අපේ පවුල “නීරෝගි, ධනවත් සහ සාමකාමී” තැනක් කරගමු. කවුරුත් ඇවිත් ඔබට උදවු කරන්නේ නෑ. ඔබමයි නැඟිටින්න ඕනේ.

අද ඉඳන්ම පටන් ගමු! ඔබට ජය!

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?