Wednesday, January 14, 2026
Epaper
Home විශේෂාංගමගේ ජීවිත කාලය පුරාම අම්මා මට සෙවණැල්ලක් වුණා

මගේ ජීවිත කාලය පුරාම අම්මා මට සෙවණැල්ලක් වුණා

by Shanaka Lakehouse

අප කවුරුත් මෙලොව එළිය දකින්නේ මවු කුසෙක දස මසක් ගෙවා එහි අසීමිත රැකවරණය ලබමිනි. සිය ලෙයින් ඉපිද කුසෙහි වැඩෙන දරුවා ගැන නිතරම සිතන මව්තොමෝ ඇවිදින්නේ ද, සැතපෙන්නේ ද, හිඳගන්නේ ද ඉතා පරිස්සමෙනි. ඇයගේ එකදු ඉරියව්වකින් හෝ කුසෙහි හොත් දරුවාට හානියක් නොවන්නට ඈ වග බලා ගන්නීය.

අප කවුරුත් අද මෙලොව දෙපයින් සිටගෙන නීරෝගිව දිවි ගෙවන්නේ එවන් මවකගේ කැප කිරීමක් නිසා නොවේද? එවන් මවක් ගැන ආදරණීය පුතෙක් කියන තවත් කතාවක් සමඟ අද තරුණී ‘අම්මාවරුනේ’ තුළින් ඔබ හමුවට එන්නේ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන ප්‍රවීණ සිනමා ලේඛක අරුණ ගුණරත්නයි. ඔහු සිය මෑණියන් ගැන මෙන්ම සිය බිරිය මවක ලෙස දකින ආකාරය අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනි.

මගේ අම්මාගේ නම වයි.ජී. තිලකා අයිරාංගනී. මං ජීවිත කාලය පුරා අසීමිතව ආදරය ලැබූ කෙනෙක්. මගේ මවුපියන් කවදාවත්ම මට කිසිම අඩුපාඩුවක් කරලා නෑ. මම පවුලේ එකම ළමයා. ඉතින් මගේ ජීවිතයේ මට නොලැබුණේ මොනවාද කියලා මං විටෙක කල්පනා කරනවා.

මගෙ අම්මා වෘත්තියෙන් ගුරුවරියක්. ඇය වසර 40ක කාලයක් ගුරුවරියක්, නියෝජ්‍ය විදුහල්පතිවරියක් සහ විදුහල්පතිවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළා. ඇය දකුණු පළාතේ ව්‍යාපාරික පවුලක උපන්නියක්. මගේ සීයා ව්‍යාපාර ලෝකය ජයගත් ධන කුවේරයෙක්. එහෙත් අපේ අම්මාට අවුරුදු දහතුනක් වෙද්දී ඇගේ පියා සතු සියලු දේපළ, පදිංචි නි‍ෙවසද සමඟ අහිමි වෙන්නේ ව්‍යාපාර බංකොලොත් වීමෙන්. එහෙත් අම්මා ඇතුළු ඇගේ පවුලේ සියලු සහෝදර සහෝදරියෝ එයින් නොසැලී හොඳින් ඉගෙන ගෙන ජීවිතය ජය ගන්නවා.

අධ්‍යාපන කඩඉම් සාර්ථකව පසු කරන අපේ අම්මා ගුරුවරියක් වෙනවා. ඒ වගේම අම්මා විවාහ වෙන්නෙත් ගුරුවරයෙක් සමඟයි. අනතුරුව මම ඔවුන්ගේ පවුලට එක් වෙනවා. අපේ තාත්තාගේ ගම අනුරාධපුරයේ කැබිතිගොල්ලෑව. විවාහයෙන් පස්සේ අම්මාටත් කැබිතිගොල්ලෑවට යන්න වෙනවා. අනතුරුව අම්මා පදවියේ පාසලක උගන්වනවා. ඒ සංක්‍රමණයත් එක්ක ඇයට සිදු වන්නේ වෙනස් සංස්කෘතියක් සහිත සමාජයක අලුත් ජීවිතයත් පටන් ගන්නයි. කෙසේ නමුත් ඇය ඒ ජීවිතයට ක්‍රමයෙන් හුරු වෙනවා. ඒ වගේම තාත්තාගේ පාර්ශ්වයේ හොඳම නෑයා බවට පත් වන්නෙත් අපේ අම්මා. අද අපේ අම්මා ජීවත් වන්නේ මා සමඟයි. අදටත් තාත්තාගේ පැත්තේ නෑදෑයෝ අපේ අම්මාගේ සුව දුක් විමසන්නට නිතර පැමිණෙන්නේ ඇය කෙරේ ඉතාම ගෞරවයෙන්.

ඇය ගුරුවරියක් ලෙස හොඳ ශිෂ්‍ය පරම්පරාවක් හැදුවා. ඒ සඳහා සාක්ෂි බොහෝමයක් ඉදිරිපත් කළ හැකියි. අම්මාගේ අනූවැනි උපන්දිනය දවසේ ඇගේ ශිෂ්‍යයෙක් වූ වර්තමානයේ කැබිතිගොල්ලෑවේ පාසලක විදුහල්පතිවරයෙක් ඇය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර අම්මාට තිළිණ කළා. ඒ වගේම පසුගියදා පැවැති අම්මාගේ උපන්දින සාදයේදී අම්මා අකුරු කියවපු දරුවෙක් වන වර්තමානයේ සංඝ පීතෘවරයෙක් ලෙස කටයුතු කරන වත්තේවැව ධම්මානන්ද හාමුදුරුවෝ ඇය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර අම්මාට තිළිණ කරමින් ඇයට ආශීර්වාද කළා. මේ සියල්ලම අම්මා නිර්මාණය කළ යහපත් ශිෂ්‍ය පරම්පරාවන් පිළිබඳ සාක්ෂි ලෙස පෙන්වා දිය හැකියි.

ඇත්තටම මගේ අම්මා, තාත්තා මාව කවදාවත් තනි කළේ නෑ. එක්දහස් නවසිය හැත්තෑව හය අවුරුද්දේදී මාව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කළ අවධියේ අම්මා අනුරාධපුරයේ සිට බොහොම අමාරුවෙන් කොළඹට ගුරු මාරුවක් හදා ගත්තා. ඒ සඳහා තාත්තාත් විශාල කැප කිරීමක් කළා. ඒ කැප කිරීම සහ මහන්සිය තුළ තිබුණේ මාව තනි නොකිරීමයි.

අපේ අම්මා හදිසියකදී ඕනෑම කෙනකුට අත දිගඇරලා වියදම් කරන්නේ කිසිදු ලෝබකමකින් තොරවයි. ඒ ගැන ඇය කවදාවත්ම පසුතැවෙන්නේ නෑ. ඒ වගේම යමක් නැති වුණාම ඈ කිසි දිනක ඒ ගැන දුක් වන්නේත් නෑ. නැවත නැති වුණු තැනින් ඇය ජීවිතය අරඹන්නේ කිසිදු පසුතැවීමකින් තොරවයි.

මගේ මුළු ජීවිත කාලයේදීම සෙවණැල්ලක් වගේ නිතරම මගේ ළඟින් සිටියේ මගේ අම්මා. ඒ නිසා ඇය හා මා අතර තිබූ මතක සටහන් බොහෝමයි. අපේ අම්මා වතාවකදී අසනීප වුණා. ඉතින් ඇය ඒ අසනීපයට ප්‍රතිකාර ගැනීමට ගියේ තාත්තා සමඟ පාපැදියෙන්. ඔවුන්ගේ තනියට පැමිණි ඥාතීන් දෙපළක් මාවත් තබාගෙන වෙනත් පාපැදියක ගමන් කළා. ඉතින් වැව් බැම්මක් උඩින් ගමන් කරද්දී එක්වරම මම සහ ඥාතීන් දෙපළ ගමන් කළ පාපැදිය ලිස්සා ගියා. එහිදී අමාරුවෙන් අනෙක් පාපැදියේ ගිය අම්මා, ඇයගේ අපහසුතා පවා අමතක කර මා දෙසට දිව ආ සැටි මට අද වගේ මතකයි. අපේ අම්මාගේ ආදරයේ තරම ඒ තරම්ම සුවිශාලයි.

අපේ තාත්තා මාව කොළඹ ආනන්දයට එව්වේ මං වෛද්‍යවරයෙක් කිරීමේ බලාපොරොත්තුවෙන්. මං පළමු වරට උසස් පෙළ ලිව්වෙත් විද්‍යා විෂයන්ගෙන්. එහෙත් දෙවැනි වර මං උසස් පෙළ ලිව්වේ කලා විෂය ධාරාවෙන්. ඊට තාත්තා විරෝධය පළ කරද්දී අම්මා මං වෙනුවෙන් පෙනී සිටියා. ඊට පස්සේ මට මුලින්ම ලැබුණු රජයේ ගුරු පත්වීමත් මං ප්‍රතික්ෂේප කළා. ඒ හැම විටකම තාත්තා විරුද්ධ වෙද්දී අම්මා මං වෙනුවෙන් කතා කළා. මගේ අරමුණුවලට ගමන් කරන්නට එය මට මහත් අස්වැසිල්ලක් වුණා.

මං පුංචි කාලේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ අම්මාගේ පන්තියේමයි. එහිදී ඇය මට විශේෂත්වයක් දැක්වූයේ නෑ. නිතරම මටත් අනෙක් දරුවන්ට හා සමානව සලකන්නට ඇය පුරුදුව සිටියා. එයත් මම මගේ අම්මාගේ දැකපු සුවිශේෂ ලක්ෂණයක්.

ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගනිද්දී පවා අපේ අම්මා කිසි දවසක මට බාධා කළේ නෑ. මගේ බිරියව මට සොයා දුන්නේ මගේ අම්මා විසින්. ඇත්තටම එය මගේ අම්මා මා වෙනුවෙන් ගත් හොඳම තීරණයක් යැයි මං තරයේ විශ්වාස කරනවා. මගේ බිරියගේ නම විජිතා පෙරේරා. අපේ විවාහයෙන් පස්සේ අම්මා සහ තාත්තා නැවතත් අනුරාධපුරයට ගියා. එය විවාහයෙන් පසුව මගේ ජීවිතය ස්වාධීනව ගොඩනැඟෙන්නට හේතුවක් වුණා. ඒ කාලයේ අම්මාගෙන් තාත්තාගෙන් යැපෙමින් මගේ මුදල් පවා නිදහසේ වියපැහැදම් කරමින් ගත කළ සෙල්ලක්කාර ජීවිතය විවාහයෙන් පසුව පාලනයකින් යුතුව වෙනස් කර ගත්තේ ඒ නිසාම බව කිව යුතුයි. දෙදහස් හතේ අපේ තාත්තා නැති වුණාට පස්සේ මගේ අම්මාව නැවතත් අපේ ගෙදරට එක්කගෙන ආවා. එදා සිට අද දක්වා අම්මා මා එක්ක ජීවත් වෙනවා.

මගේ අම්මාගෙන් ලැබුණු ආදරය, කරුණාව මං ම‌ගේ බිරියගෙනුත් නොඅඩුව ලැබුවා. සරසවිය වැනි පුවත්පතක සේවය කරද්දී නළු නිළියන්, ප්‍රසිද්ධ චරිත සමඟ වඩාත් සම්මුඛ වෙන එක සාමාන්‍ය දෙයක්. එවන් තත්ත්වයකදීත් ඇය කවදාවත්ම මාව සැක කරමින් මට බාධා කළේ නෑ. ඉතින් ඇය මාව හොඳින් තේරුම් ගත් නිසා මට මගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගත හැකි වුණා.

ඇත්තටම ඇය මාව කසාද බඳින තුරු බලලා තිබුණේ එකම එක චිත්‍රපටයයි. ඇය ඇගේ දෙවැනි චිත්‍රපටය නැරඹුවේ මාව කසාද බැඳලා දෙවැනි දවසේදී වීමත් විශේෂත්වයක්.

අපි කසාද බැන්දට පස්සේ අපේ කැදැල්ලට දියණියක් එක් වුණා. ඇත්තටම එදා සිට මං විශ්‍රාම යන තුරු දියණියගේ කටයුතු සියල්ලක්ම පාහේ ඉටු වුණේ බිරිය අතින්. සාමාන්‍යයෙන් දියණියක වඩාත් සමීප වන්නේ තාත්තාට වුණත් මගේ වෘත්තීය ජීවිතයේ කාර්යබහුලත්වය නිසාම මට එය මඟ හැරෙනවා. එහෙත් ඒ මඟහැරීමේ අඩුව නොදැනෙන්නට මගේ බිරිය දියණියගේ කටයුතු මැනවින් ඉටු කළ බව කිව යුතුයි.

අනූ දෙවැනි වියේ පසුවන මේ ආදරණීය අම්මාට ‘තරුණී’ අපි ද නිදුක් නිරෝගී දිගාසිරි පතමු.

TEXT – පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?