Wednesday, February 4, 2026
Epaper
Home විශේෂාංගමතකය පණගන්වන සොබාදහමේ අග්‍රගණ්‍ය දායාදය ගොටුකොළ රහස

මතකය පණගන්වන සොබාදහමේ අග්‍රගණ්‍ය දායාදය ගොටුකොළ රහස

by Shanaka Lakehouse

ශ්‍රී ලාංකේය හෙළ වෙදකමේ සහ පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ පටන් නූතන රූපලාවණ්‍ය විද්‍යාව දක්වා සියල්ලන්ගේම නොමඳ අවධානයට ලක් වූ එක් සුවිශේෂී ශාකයක් වේ නම් ඒ “ගොටුකොළ” ශාකයයි. වසර දහස් ගණනක් තිස්සේ අපේ මුතුන්මිත්තන්ගේ නීරෝගි බවේ සහ තියුණු බුද්ධියේ රහස වූ මෙම හරිත පැළෑටිය, අද වන විට ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රය මවිතයට පත් කරන “සුපිරි ආහාරයක්” බවට පත්ව තිබේ. මෙය විද්‍යාත්මකව Centella asiatica ලෙස හඳුන්වන ගොටුකොළ, ඇපියේසියේ (Apiaceae) කුලයට අයත් බහුවාර්ෂික බිම් පලා වර්ගයකි.

ලංකාවේ තෙතමනය සහිත ඕනෑම ප්‍රදේශයක, විශේෂයෙන්ම කුඹුරු ඉවුරු සහ දියකඩවල් අසල ඉතා සාරවත්ව වැවෙන මෙම ශාකය, හෙළ වෙදකමේදී “මධ්‍ය රසායන” ගණයට අයත් වේ. මෙහි අර්ථය වන්නේ මනස, බුද්ධිය සහ ආයුෂ වර්ධනය කරන උසස්ම ගණයේ ඖෂධයක් යන්නයි.

ලංකාවේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනක් දැකිය හැකිය:

  • හීං ගොටුකොළ: ඖෂධීය ගුණයෙන් ඉහළම, කුඩා පත්‍ර සහිත වර්ගය.
  • වැල් ගොටුකොළ: බිම දිගේ වේගයෙන් පැතිරෙන වර්ගය.
  • වගා කරන ගොටුකොළ: විශාල පත්‍ර සහිත, වාණිජමය වශයෙන් වගා කරන වර්ගය.

මොළයේ සෞඛ්‍යය සහ බුද්ධි වර්ධනය කරයි.

ගොටුකොළ යනු “මොළයේ ආහාරය” ලෙස හඳුන්වන්නේ එහි ඇති ස්නායු උත්තේජක ගුණය නිසාය. ඒ වගේම මෙහි අඩංගු Asiaticoside සහ Madecassoside වැනි රසායනික සංයෝග ස්නායු සෛලවල වර්ධනයට උපකාරී වේ. තවද පාසල් දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව සහ මතක තබා ගැනීමේ වේගය වැඩි කිරීමට ගොටුකොළ කැඳ ඉතා ගුණදායකය. ඒ වගේම මොළයේ ඇති ‘කෝටිසෝල්’ හෝමෝන මට්ටම සමනය කර, මානසික ආතතිය සහ කාංසාව අඩු කිරීමට මෙය ස්වාභාවික ‘ඇඩැප්ටෝජන්’ එකක් ලෙස ක්‍රියා කරනු ලබයි.

රූපලාවණ්‍ය ලොව පෙරළිකාරයෙකි

ගොටුකොළ සිරුරේ රුව රකින “කොලජන්” එකක් ලෙසද හඳුන්වයි. එනම් නූතන රූපලාවණ්‍ය විද්‍යාවේ ගොටුකොළවලට ඇත්තේ ඉහළ වටිනාකමකි. එනම් සමේ තාරුණ්‍යය රඳවා තබන ‘කොලජන්’ ප්‍රෝටීනය නිපදවීම ගොටුකොළ මඟින් වේගවත් කරයි. එමඟින් සමේ රැලි වැටීම පාලනය වී සම පැහැපත් වේ. තවද කුරුලෑ කැළැල් සහ ශල්‍යකර්මවලින් පසු ඇතිවන කැළැල් මැකීමට ගොටුකොළ සාරය අඩංගු ආලේපන භාවිත කරනු ලබයි. එසේම මේ හරහා හිස්කබලේ රුධිර සංසරණය වැඩි කරන බැවින් හිසකෙස් ගැලවී යෑම පාලනය කර ඝන කෙස් කලඹක් ලබා දෙනු ලබයි.

ලේ පිරිසිදු කිරීම

ලේවල ඇති විස බැහැර කිරීම නිසා සමේ ඇතිවන පලු, කැසිලි සහ කුෂ්ඨ රෝග සුව වේ. තවද රුධිර නාළවල බිත්ති ශක්තිමත් කර රුධිරය කැටි ගැසීම වළක්වන බැවින්, නහර ගැටගැසීමේ රෝගීන්ට මෙය සහනයක් ලබා දෙයි.

තුවාල සුව කිරීමට වේගවත්ය.

ගොටුකොළවල ඇති ප්‍රති-බැක්ටීරියා සහ ප්‍රති-ප්‍රදාහ ගුණය නිසා ඕනෑම බාහිර තුවාලයක් සුව වීමට ගතවන කාලය 40% කින් පමණ අඩු කළ හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ සුව නොවන තුවාල සඳහා ගොටුකොළ පත්තු තැබීම අතීතයේ සිටම පැවත එන ප්‍රතිකාරයකි.

අක්ෂි සෞඛ්‍යය

විටමින් A බහුලව අඩංගු බැවින් ඇස්වල තෙතමනය රඳවා ගැනීමටත්, රාත්‍රී අන්ධභාවය වැළැක්වීමටත් ගොටුකොළ උපකාරී වේ. පරිගණක භාවිත කරන්නන්ගේ ඇස් දැවිල්ලට ගොටුකොළ පත්තු තැබීම හෝ පානය කිරීම සුදුසුය. වර්තමාන දුරකථන, පරිගණකවල සිටින්න කාර්යබහුල අපට මෙය අත්‍යවශ්‍යම ඖෂධයකි.

ගොටුකොළ භාවිත කළ යුතු නිවැරදි ක්‍රම වන්නේ,

ගොටුකොළ සම්බෝලය :

පෝෂණය උපරිමයෙන් ලබා ගැනීමට පත්‍ර අමුවෙන් ආහාරයට ගැනීම සුදුසුය. දෙහි යුෂ එක් කිරීමෙන් යකඩ උරා ගැනීම වැඩි වේ.

ගොටුකොළ කැඳ: උදෑසන හිස් බඩ පානය කිරීමෙන් මුළු දවසම ප්‍රබෝධමත්ව සිටීමට හැකි වේ.

ගොටුකොළ තේ: වියළි ගොටුකොළ පත්‍ර උණු වතුරට දමා තේ ලෙස පානය කිරීම මානසික විවේකයට ඉතා හොඳය.

එසේම ගොටුකොළ භාවිතයෙන් සකසා ගත හැකි සුවිශේෂී ඖෂධීය වට්ටෝරු වන්නේ,

1. බුද්ධි වර්ධක

“ගොටුකොළ කිරි කැඳ”

දරුවන්ගේ මතක ශක්තිය සහ ප්‍රතිශක්තිය වර්ධනයට මෙය කදිම උදෑසන ආහාරයකි. අමුද්‍රව්‍ය වන්නේ ගොටුකොළ මිටක්, කැකුළු සහල් ස්වල්පයක්, පොල් කිරි, ඉඟුරු කැබැල්ලක්, සුදු ලූනු බික් 2ක් ය. මෙය සකසන ක්‍රමය වන්නේ සහල් හොඳින් තම්බා ගන්න. ගොටුකොළ කොටා යුෂ මිරිකා ගන්න. බත් එක තැම්බී එන විට පොල් කිරි සහ ගොටුකොළ යුෂ එක් කරන්න. වැඩි වේලාවක් රත් නොකර නිවා ගන්න. (වැඩිපුර රත් කිරීමෙන් එහි ඇති විටමින් C සහ ඖෂධීය ගුණය විනාශ වේ.)

මානසික ආතතිය නිවන “ගොටුකොළ පානය” (Gotukola Tea)

නින්ද නොයාම සහ මානසික නොසන්සුන් බව පවතින අයට මෙය ඉතා සුදුසුය. මෙය සකසන ක්‍රමය වන්නේ වියළා ගත් ගොටුකොළ පත්‍ර තේ හැන්දක් උණු වතුර කෝප්පයකට දමා විනාඩි 5ක් වසා තබන්න. පසුව එය පෙරා මී පැණි ස්වල්පයක් එක් කර නින්දට පෙර පානය කරන්න. එමඟින් සුව නින්දක් ලැබෙනු නොඅනුමානය.

සමේ තුවාල සහ පලු සඳහා “ගොටුකොළ පත්තුව”

තුවාල සදහා ගොටුකොළ කදිම ඖෂධයකි. මෙය සකසන ක්‍රමය වන්නේ අමු ගොටුකොළ සහ අමු කහ ස්වල්පයක් දමා කොටා තුවාල හෝ පලු මත ආලේප කරන්න. මෙය ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරමින් සම ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනු ලබයි.

ගොටුකොළවල ගුණ අති විශාලය…

අධ්‍යාපනය සහ ගොටුකොළ අතර සබැඳියාව

නූතන පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ගොටුකොළවල අඩංගු Bacosides නමැති රසායනික සංයෝග මොළයේ තොරතුරු ගබඩා කරන “හිපොකැම්පස්” ප්‍රදේශය උත්තේජනය කරන බවයි. මෙය විභාගවලට පෙනී සිටින දරුවන්ට සහ බුද්ධිමය කටයුතුවල නිරත වන්නන්ට අතිශය වැදගත් වේ.

දීර්ඝායුෂ ලැබීමේ රහස

චීන ජනප්‍රවාදවලට අනුව “ලී චිං යූන්” නම් පුද්ගලයා වසර 250කට වඩා ජීවත් වූ බව පැවසෙන අතර, ඔහුගේ දීර්ඝායුෂ රහස ලෙස සැලකෙන්නේ දිනපතා ගොටුකොළ අඩංගු පානයක් භාවිතා කිරීමයි. මෙය විද්‍යාත්මකව සනාථ නොවුණත්, සෛල පුනර්ජීවනය කිරීමේ ගොටුකොළ සතු හැකියාව මෙයින් මැනවින් පැහැදිලි වේ.

ශරීරය සිසිල් කිරීමේ ගුණය

අධික රශ්මිය සහිත දේශගුණයක ජීවත් වන අපට, ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කිරීමට ගොටුකොළවල ඇති “ශීත වීර්යය” උපකාරී වේ. මූත්‍ර දැවිල්ල සහ ශරීරයේ දැවිල්ල සමනය කිරීමට ගොටුකොළ කැඳ ඉතා ප්‍රත්‍යක්ෂය.

ඔබේ ගෙවත්තේම “ඖෂධ උයනක්”සකසා ගොටුකොළ වගා කරමු..

වෙ‍ෙළඳපොළේ ඇති ගොටුකොළවල බොහෝ විට අධික ලෙස රසායනික පොහොර සහ කෘමිනාශක අඩංගු විය හැකිය. එබැවින්, ඉතා කුඩා ඉඩක වුවද තමාට අවශ්‍ය ගොටුකොළ වගා කර ගැනීම සෞඛ්‍යමය වශයෙන් ඉතා ආරක්ෂිතයි. මෙය වගා කරන ක්‍රමය වන්නේ, ගොටුකොළ බීජ මඟින් මෙන්ම වැල් මඟින් ද වර්ධනය වේ. තෙතමනය සහිත, මඳක් සෙවණ ඇති ස්ථානයක් මේ සඳහා වඩාත් සුදුසුයි. එසේම ඔබට ඉඩකඩ සීමිත නම්, කුඩා පෝච්චි හෝ බඳුන්වල ගොටුකොළ වගා කළ හැකිය. නි‍ෙවසේ මුළුතැන්ගෙයින් ඉවතලන ජලය සහ කාබනික පොහොර ස්වල්පයක් ලබා දීමෙන් ඉතා ඉක්මනින් සාරවත් පඳුරක් ලබාගත හැකිය. තවද පත්‍ර නෙළීමේදී මුල්වලට හානි නොවන සේ නෙළා ගැනීමෙන් දිගු කාලයක් අස්වැන්න ලබාගත හැකිය.

ආර්ථිකමය වටිනාකම වැඩි ශාකයකි.

ගොටුකොළ යනු වර්තමානයේ ලෝක වෙ‍ෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති අපනයන භාණ්ඩයකි. වියළි ගොටුකොළ කොළ සහ සාරය යුරෝපීය රටවල රූපලාවණ්‍ය නිපැයුම් සඳහා විශාල වශයෙන් යොදා ගනී. ගෘහිණියකට අතිරේක ආදායමක් ලෙස ගොටුකොළ වගාව වාණිජ මට්ටමින් වුවද සිදු කළ හැකිය.

මතක තබා ගත යුතු දෙයක් වන්නේ, ඕනෑම ඖෂධයක් පමණට වඩා හොඳ නැත. ගොටුකොළ අධික ලෙස ආහාරයට ගැනීමෙන් ඇතැම් විට හිසරදය හෝ අක්මාවේ සංකූලතා ඇති විය හැකිය. එබැවින් දිනපතාම නොව සතියකට දින 3-4 ක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.

ගොටුකොළ යනු හුදෙක් පලා වර්ගයක් පමණක් නොව, සොබාදහම විසින් මිනිසාට දායාද කළ “ජීවයක්” බඳු ශාකයකි. අපේ හෙළ ඔසුවල අභිමානය ලොවටම කියාපාන ගොටුකොළ, ඔබේ දෛනික ආහාර වේලට එක් කර ගැනීමෙන් තියුණු මනසක් සහ නීරෝගි සිරුරක් හිමි කර ගැනීම තවදුරටත් සිහිනයක් නොවේ.

රසායනික පෙතිවලින් තොර නීරෝගී හෙළ පරපුරක් උදෙසා ගොටුකොළ අපේ සමීපතම මිතුරා කර ගනිමින් නිරොගි සෞඛ්‍යයක් පවත්වා ගනිමින් ජිවිතය ජය ගමු.

TEXT – පවනි උමේෂා කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?