කෑගල්ලේ රොක්හිල් නම් සුන්දර ගම්මානයෙන් ලොව සුපතල හර්ට්ෆර්ඩ්ෂයර් (Hertfordshire) විශ්වවිද්‍යාලය දක්වා ගිය ඇයගේ ගමන සාමාන්‍ය එකක් නොවේ.
ජීව විද්‍යාවෙන් උසස් පෙළ හදාරා, පසුව ඉංජිනේරු විද්‍යාවට පිවිස, අවසානයේ තාරකා භෞතික විද්‍යාව (Astrophysics) වැනි අති දුෂ්කර විෂයය පථයක් ජයගත් ඇය රන්කොත්ගේ හංසරන්දි ආදිත්‍යා රත්නායකයි.
මම 1 වසරේ සිට 13 වසර දක්වාම ඉගෙන ගත්තේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයෙන්. උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. නමුත් මගේ හිතේ පුංචි කාලේ ඉඳන්ම අහස ගැන තිබුණේ පුදුමාකාර කුතුහලයක්. ඒ ආසාව නිසාම ජීව විද්‍යාවෙන් පස්සේ මම Nebula Institute (වැලිසර) හරහා විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව (Electrical & Electronic Engineering) හදාරන්න තීරණය කළා. ඒ හරහා මට අභ්‍යවකාශ උපකරණ නිෂ්පාදනය ගැන පදනමක් ගන්න පුළුවන් වුණා. පසුව මම එහිම BEng (Hons) උපාධිය ‘Upper Second Class’ සාමර්ථ්‍යයක් සහ පර්යේෂණ පත්‍රිකා දෙකක් (Peer Reviewed Journals) සමඟ අවසන් කළා.
මගේ ජීවිතේ ලොකුම පෙරළිය. මම MSc එක සඳහා එංගලන්තයේ හර්ට්ෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයට අයදුම් කරන විට එහි තිබූ ‘Astrophysics’ (තාරකා භෞතික විද්‍යාව) විෂය මගේ හිත තදින්ම ඇදගත්තා. ලංකාවේ අපිට තාරකා විද්‍යාව (Astronomy) ගැන යම් දැනුමක් තිබුණත්, එහි විද්‍යාත්මක සහ භෞතික පදනම වන ‘Astrophysics’ ගැන කතිකාවතක් ඇත්තේම නැති තරම්. තරුවල භ්‍රමණය, රසායනික විපර්යාස සහ දත්ත විශ්ලේෂණය වැනි ගැඹුරු විෂයන් එහිදී මම හැදෑරුවා.
මම උසස් පෙළට ගණිතය කළේ නැති නිසා මුල් කාලේ තනියම සහ යහළුවන්ගේ උදව්වෙන් ඒ අඩුව පුරවා ගත්තා. ගණිතය කියන්නේ පුහුණුවෙන් ලබාගත හැකි දෙයක් මිස ස්ත්‍රී පුරුෂ භාවය මත තීරණය වන්නක් නෙවෙයි. මම විශ්වාස කරන්නේ ගැහැනු ළමයෙක්ට ඕනෑම දෙයක් පුළුවන් කියලයි. භෞතික විද්‍යාව නිසා මගේ කණ්ඩායමේ ගැහැනු ළමයි හිටියේ හරිම අඩුවෙන්. ‘ගැහැනු ළමයෙක්ට මේවා පුළුවන්ද?’ කියලා අහපු අයත් හිටියා. නමුත් මම ඒ හැම දෙයක්ම මගේ උත්සාහයෙන් ජය ගත්තා.
විදේශ රටක තනිවම මේ ගමන යාමේදී ලැබුණු අත්දැකීම් මොන වගේද?
එංගලන්තයට මම ආවේ තනිවම. මෙහේ ජීවිතය ලෙහෙසි වුණේ නැහැ. දහවල් කාලයේ ඉගෙනීම් කටයුතු කරලා, රෑ වෙනකම් Observatory (නිරීක්ෂණාගාර)වල වැඩ කරලා, තවත් වෙලාවක Part-time රැකියාවල් කරලා රෑ බෝ වෙලා නන්නාඳුනන පාරවල් දිගේ තනියම නවාතැනට එද්දී දැනුණු පීඩනය වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ලංකාවේ ගෙදරදී අම්මා උයලා දෙන කෑම කාලා හිටපු මට, මෙහේදී තනියම උයාගෙන, රෙදි සෝදාගෙන පීඩනය දරාගෙන ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ අත්දැකීම් මාව ශක්තිමත් කළා.
ඔබේ මේ ගමන පිටුපස සිටින යෝධ ශක්තිය කවුද?
අනිවාර්යයෙන්ම මගේ අම්මා, තාත්තා සහ නංගිලා තිදෙනා. මම පුංචි කාලේ ඉඳන්ම ප්‍රශ්න වැලක් අහන ළමයෙක්. ඕනෑම උපකරණයක් වැඩ කරන්නේ කොහොමද, ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා මම අහන මෝඩයි කියලා හිතෙන ප්‍රශ්නවලට පවා මගේ මවුපියෝ කවදාවත් බැන්නේ නැහැ. ඒ වෙනුවට ඒවට උත්තර හොයන හැටි මට කියලා දුන්නා. තාත්තා විදේශගතව හිටියත් මගේ නිදහසට වැටකඩොලු බැන්දේ නැහැ. පවුලෙන් ලැබුණු ඒ විශ්වාසය තමයි මාව මේ තැනට ගෙනාවේ. ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ ජයග්‍රහණ කරා යන ගමන වඩාත් අර්ථවත් සහ පහසු වන්නේ, ඇයගේ හීනවලට පියාපත් ලැබෙන තැනයි. විශේෂයෙන්ම තමන්ගේ හීන හඳුනාගෙන, ඒ වෙනුවෙන් නිරන්තරයෙන් දිරිමත් කරන සහකරුවෙකු (Partner) තමන් අසලම සිටීම ඕනෑම කාන්තාවකට විශාල ශක්තියක්.
ඇත්තටම මගේ මේ ගමන පිටුපසත් ඔහුගෙන් ලැබෙන සහයෝගය නිහතමානීව සිහිපත් කළ යුතුමයි. තමන්ගේ උපන් පවුල වගේම, විවාහයෙන් පස්සේ පවුලට අලුතින් එකතු වන අයත් මේ ගමනේදී එක වගේම ශක්තියක් වෙනවා නම්, ඕනෑම අභියෝගයක් ජය ගැනීම කාන්තාවකට අපහසු දෙයක් නෙමෙයි. පවුලේ සහ සහකරුගේ ඒ ආදරණීය අත්වැල මගේ සාර්ථකත්වයේ රහසයි.
අනාගතයේදී ලංකාව වෙනුවෙන් ඔබේ දායකත්වය කෙබඳු වේවිද?
දැනටමත් මම ලංකාවේ ඉන්න දරුවන්ට අන්තර්ජාලය හරහා ‘Astrophysics’ ගැන උගන්වනවා. මගේ ලොකුම හීනයක් තියෙනවා කවදා හරි ලංකාව තුළ පර්යේෂණ මට්ටමේ ‘Observatory’ (නිරීක්ෂණාගාරයක්) ස්ථාපිත කරන්න. ලංකාව පිහිටලා තියෙන විදිහට අපිට මැණික් වගේ වටිනා අභ්‍යවකාශ දත්ත ලබාගන්න පුළුවන්. ඒවා විධිමත්ව විශ්ලේෂණය කරලා ලෝකයට අලුත් දෙයක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
ඔබට සුබ පැතුම් හංසරන්දි! ඔබ වැනි දිරිය දියණියන් මෙරටට ආඩම්බරයක්.
TEXT – රුසින් තත්සර
