Wednesday, January 14, 2026
Epaper
Home විශේෂාංගලිංගික අධ්‍යාපනය සහ දරුවන්ගේ සුරක්ෂිතතාව

ලිංගික අධ්‍යාපනය සහ දරුවන්ගේ සුරක්ෂිතතාව

by Shanaka Lakehouse

ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව විෂය මාලාවන් යාවත්කාලීන විය යුතු වුවද එම ප්‍රතිසංස්කරණ තුළ පවතින ඇතැම් යෝජනා සමාජය තුළ දැඩි කතිකාවකට මෙන්ම විරෝධතාවන්ට ද මඟ පාදා තිබේ.

විශේෂයෙන්ම පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වියතුන්, ආගමික නායකයන් සහ කාන්තා සංවිධාන විවිධ මට්ටමේ අදහස් පළ කරති. ඇතැම් පාර්ශ්ව පවසන්නේ මෙය කාලීන අවශ්‍යතාවක් බවයි. එහෙත් මෙරට ජනමාධ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්ය අජන්තා හපුඅාරච්චි මහත්මිය මෙම කරුණ සම්බන්ධයෙන් මතු කරන්නේ හාත්පසින්ම වෙනස් වූත් ඉතාමත් තාර්කික වූත් අදහසකි. ඇය පෙන්වා දෙන්නේ ලිංගික අධ්‍යාපනය යනු හුදෙක් විෂය නිර්දේශයකට කොටු කළ හැකි හෝ ලිංගික කරුණු ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමෙන් පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවන බවයි.

මෙම සංවාදය වඩාත් උණුසුම් වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වූයේ පසුගිය කාලසීමාව තුළ රජය විසින් හය වසර පෙළපොතට ලිංගික අධ්‍යාපනයට අදාළ කරුණු ඇතුළත් කිරීමට ගත් උත්සාහයයි. එහිදී අන්තර්ගත වූ කරුණු දරුවාගේ වයසට සහ මානසික පරිණතභාවයට නොගැළපෙන බවට සමාජය පුරා දැඩි විවේචනයක් එල්ල විය.

මහාචාර්ය හපුආරච්චි මහත්මිය පෙන්වා දෙන ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඉතාමත් ක්‍රමානුකූලව සහ සංවේදී ආකාරයෙනි. දරුවාට තමා තුළ සිදුවන කායික හා මානසික පරිවර්තනයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු වුවත් එය “ලිංගික අධ්‍යාපනය” යන සිරස්තලය යටතේ විෂයයක් ලෙස ඉගැන්වීම අනවශ්‍ය බව ඇය අවධාරණය කරයි. දරුවාගේ වර්ධනීය අවධීන් සමඟ ස්වාභාවිකවම එම දැනුම ඔහුට හෝ ඇයට ලැබෙන පරිදි අධ්‍යාපන ක්‍රියාවලිය හැඩගැසිය යුතුය. එමෙන්ම නිසි ප්‍රමිතියකින් තොරව සහ දේශීය සංස්කෘතික අනන්‍යතාවන් නොසලකා හරිමින් හදිසියේ පෙළපොත්වලට මෙවැනි කරුණු ඇතුළත් කිරීමේ දෝෂය ද ඇය දැඩිව පෙන්වා දෙයි.

වර්තමානයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මෙතරම් විශාල කතාබහක් සමාජය තුළ නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව සමාජ මාධ්‍ය බව මහාචාර්යවරිය පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විකෘති තොරතුරු, අසභ්‍ය වීඩියෝ දර්ශන සහ විවිධ මතවාද හේතුවෙන් දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ පවා මනස දූෂණය වී තිබේ. මෙම තාක්ෂණික මෙවලම් නිසි පාලනයකින් තොරව භාවිත කිරීම නිසා ඇති වී තිබෙන අර්බුදය ලිංගික අධ්‍යාපනය හරහා පමණක් විසඳිය නොහැකිය. ඒ වෙනුවට සිදුවිය යුත්තේ දරුවන් තුළ ආත්ම විශ්වාසය සහ සදාචාරාත්මක පදනම ශක්තිමත් කිරීමයි. තමාගේ ශරීරය පිළිබඳ ගෞරවයක් සහ තමන්ට සිදුවන අයහපතක් හඳුනා ගැනීමේ හැකියාව දරුවා තුළ ගොඩනැඟිය යුත්තේ කුඩා කල සිටමය. සමාජ මාධ්‍ය මඟින් මතු කරන කෘත්‍රිම ලිංගිකත්වය වෙනුවට ස්වාභාවික ජීව විද්‍යාත්මක පරිවර්තනයන් පිළිබඳ නිසි අවබෝධය සාරධර්ම සමඟ මුසු කර ලබා දීම ඉතා වැදගත් වේ.

මෙම කතිකාව තුළ මෑතකාලීනව දක්නට ලැබුණු තවත් අවාසනාවන්ත තත්වයක් වන්නේ ප්‍රතිපත්තිමය කරුණු පසෙක ලා පෞද්ගලිකත්වයට පහර දීමේ ප්‍රවණතාවයි. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරිය ඉලක්ක කර මහාචාර්ය හපුආරච්චි මහත්මිය සිය දැඩි අප්‍රසාදය පළ කරයි. ඇය පෙන්වා දෙන්නේ එය අතිශය වැරදිසහගත ක්‍රියාවක් බවයි. ඕනෑම පුද්ගලයකු අතින් වැරදි සිදුවිය හැකි බවත් වැරදි නොකරන මිනිසුන් ලෝකයේ සොයාගත නොහැකි බවත් ඇය අවධාරණය කරයි. මෙහිදී ඇය බයිබලයේ එන ප්‍රසිද්ධ ඉගැන්වීමක් සිහිපත් කරයි. “තමන් වැරැද්දක් කර නැත්නම් වැරදි කළ පුද්ගලයාට මුලින්ම ගලක් ගසන්න” යන පාඨය මෙහිදී උපුටා දක්වන මහාචාර්යවරිය, අනුන්ගේ පෞද්ගලික ජීවිත විවේචනය කරන බොහෝ දෙනෙකු තමන් දෙස හැරී බැලිය යුතු බව පෙන්වා දෙයි. ලිංගික අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂයක් ගැන කතා කිරීමේදී පෞද්ගලික මඩ ගැසීම්වල නිරත වීම සමාජයක නොදියුණු බව විදහා දක්වන්නකි.

ලිංගික හිංසනයන් සහ අපචාර පිළිබඳව විමසා බැලීමේදී හෙළි වන තවත් කටුක යථාර්ථයක් වන්නේ වැරදි සිදු කරන්නේ දරුවන් නොව සමාජයේ වගකිවයුතු වැඩිහිටියන් බවයි. විශේෂයෙන්ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පූජ්‍ය පක්ෂය වැනි පාර්ශ්වයන් වෙතින් පවා මෙවැනි අශිෂ්ට ක්‍රියාවන් වාර්තා වීම අතිශය කනගාටුදායකය. දරුවන්ට ලිංගික පාඩම් කියා දීමට පෙර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වැඩිහිටියන් පෙළගැසිය යුතුය. මහාචාර්ය හපුආරච්චි මහත්මිය පවසන්නේ මෙවැනි අපරාධ සිදු කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීම රජයේ මූලික වගකීමක් බවයි. නීතිය දැඩිව ක්‍රියාත්මක නොවන තාක් කල් කවර අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දුන්නද දරුවාගේ ආරක්ෂාව තහවුරු

කළ නොහැකිය. පූජ්‍ය පක්ෂය හෝ වේවා වෙනත් ඕනෑම බලගතු පාර්ශ්වයක් හෝ වේවා දරුවෙකුට කරන අපරාධයක් හමුවේ නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුය.

අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ බුද්ධිමත් මෙන්ම සදාචාරාත්මක මිනිසෙකු බිහි කිරීමයි. ඒ සඳහා දරුවාගේ මනස තුළ ආත්ම විශ්වාසය ගොඩනැඟිය යුතුය. දරුවකු තමාටම ආදරය කිරීමටත්, තමාගේ වටිනාකම හඳුනා ගැනීමටත් පුරුදු වූ විට බාහිරින් එන බලපෑම්වලට නතු නොවී සිටීමට ඔහුට ශක්තියක් ලැබේ. මහාචාර්යවරිය අවධාරණය කරන පරිදි ලිංගිකත්වය පිළිබඳ තාක්ෂණික කරුණු දැන ගැනීමට වඩා වැදගත් වන්නේ සාරධර්ම මත පදනම් වූ චරිත සංවර්ධනයයි. අපේ රටට සහ සංස්කෘතියට ආවේණික වූ සාරධර්ම පද්ධතිය තුළ දරුවාගේ මනස හැඩගැස්වීමට අධ්‍යාපන ක්‍රමය සමත් විය යුතුය. ලිංගිකත්වය යනු හුදෙක් කායික අවශ්‍යතාවක් නොව එය පෞද්ගලිකත්වය සහ මානව ගරුත්වය හා බැඳුණු කරුණක් බව දරුවා අවබෝධ කරගත යුත්තේ අත්දැකීම් සහ නිසි මඟපෙන්වීම් තුළිනි.

සමාජ මාධ්‍ය හරහා ගොඩනැඟෙන සංවාදය බොහෝ විට සත්‍යයෙන් බැහැර වූවකි. ලිංගික අධ්‍යාපනය ඇතුළත් කළ යුතු යැයි හඬ නගන පිරිස මෙන්ම එයට දැඩිව විරුද්ධ වන පිරිස ද බොහෝ විට දරුවාගේ මනෝවිද්‍යාත්මක අවශ්‍යතා හඳුනා ගැනීමට අපොහොසත් වී තිබේ. මහාචාර්යවරිය පවසන පරිදි දරුවාට ලැබිය යුත්තේ දරුවා විසින්ම ස්වයංව තේරුම් ගන්නා දැනුමකි. එය පන්ති කාමරයක් තුළ කළු ලෑල්ලක ලියා ඉගැන්විය යුතු “පාඩමක්” නොවිය යුතුය. ඒ වෙනුවට දරුවාගේ පෞරුෂය තුළට බද්ධ කරන ලද හික්මීමක් සහ ආත්ම අභිමානයක් තිබිය යුතුය. දරුවා තුළ නිවැරදි චින්තනයක් ගොඩනැගුණු පසු, ලිංගික පරිවර්තනයන් පිළිබඳව ඇතිවන කුතුහලය සහ සැකයන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.

ලිංගික අධ්‍යාපනය යන ලේබලය යටතේ විෂය නිර්දේශයන්ට කරුණු ඇතුළත් කිරීමෙන් පමණක් දරුවන් සුරක්ෂිත කළ නොහැකිය. ඒ සඳහා පවුල, පාසල සහ සමාජය යන අංශ තුනම එකට එක්වී දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීමට කටයුතු කළ යුතුය. සමාජ මාධ්‍යවල බලපෑම අවම කිරීම වැඩිහිටියන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සහ වැරදිකරුවන්ට දැඩි

දඬුවම් පැමිණවීම මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතාවන්ය. මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පෙන්වා දෙන පරිදි දරුවන්ගේ සුරක්ෂිතතාව උදෙසා අවශ්‍ය වන්නේ සංදර්ශනාත්මක අධ්‍යාපන ක්‍රමවේදයකට වඩා සාරධර්ම හා ආත්ම විශ්වාසය පදනම් කරගත් ගැඹුරු අධ්‍යාපන පද්ධතියකි. තවත් කෙනකුට ගල් ගැසීමට පෙර තමන්ගේ සදාචාරාත්මක වගකීම ඉටු කරන්නේදැයි විමසා බැලීම සෑම පුරවැසියකුගේම යුතුකමකි.

අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවාගේ හදවත සහ බුද්ධිය එකසේ පෝෂණය කළ යුතුය.

ලෝකයේ පවතින ඕනෑම නවීන ප්‍රවණතාවක් වැලඳ ගත යුත්තේ අපේ රටේ සංස්කෘතික පදනම සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි පමණි. ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින උමතුව හෝ විරෝධය පසෙක ලා වඩාත් ප්‍රායෝගික සහ සාරධර්ම මත පදනම් වූ වැඩපිළිවෙළක් කරා යොමු වීමෙන් පමණක් අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කළ හැකිය. මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ අදහස් මේ සම්බන්ධයෙන් ඉතා පුළුල් සහ ගැඹුරු දැක්මක් සපයන අතර, එය සමාජය නිවැරදි මඟට යොමු කිරීමට මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?