දිනපතා ආහාරයට එක්වන සියඹලා – උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් ටැමරින් ඉන්ඩිකා (Tamarind Indica) නමින් හඳුන්වන සියඹලා ඉතා ගුණදායක ආහාරයක් ලෙසින් ආයුර්වේදයේ සඳහන් වේ. ඉදුණු සියඹලාවල රස ඒවා රස බලපු කෙනකුට අමතක වෙන්නේ නෑ.
බොහෝ දෙනෙක් සියඹලා භාවිත කරන්නේ ආහාර රසගන්වන රසකාරකයක් විදිහට. මොකද ඉන් ලැබෙන ඇඹුල් රසය වෙන කිසිම දේකින් ලබාගන්න බෑ. වැඩිපුරම සියඹලා පාවිච්චි කරන්නේ ලංකාව සහ ඉන්දියාවේ කෑම වේල්වල. නමුත් ඔබ දන්නවාද සියඹලා කියන්නේ සෞඛ්‍යයට හිතකර බොහොම ගුණදායි පලතුරක් බව. මේ සියඹලාවල ගුණ පිළිබඳ සටහනක්.
දිනකට අවශ්‍ය කරන ශක්තියෙන් සියයට දොළහක් පමණ ලබා ගත හැකියි. ශක්තිය කිලෝ කැලරි 239කි. දිනකට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයෙන් සියයට හතළිහක් සියඹලාවලින් ලබාගත හැකියි. ඒ අනුව කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 62.5කි. ප්‍රෝටීන් ග්‍රෑම් 2.80කි. එය දිනකට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් සියයට පහකි. මෙහි කොලෙස්ටරෝල් නොමැති අතර කෙඳි ග්‍රෑම් 5.1කි. ෆෝලේට් මයික්‍රෝ ග්‍රෑම් 14කි. නියසීන් මිලිග්‍රෑම් 1.93කි. විටමින් ඒ මෙන්ම විටමින් සී මිලිග්‍රෑම් 2.8කි. මීට අමතරව පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වැනි පෝෂණ ගුණ රාශියක් සියඹලාවල අන්තර්ගතව පවතී.
සියඹලාවල පවතින කෙඳි මඟිින් මල හොඳින් පිට කිරීමට උපකාරී වේ. මේ නිසා මලබද්ධය දුරු කරයි. ආහාර මඟින් ශරීරයේ ඇතිවන විස සමඟ මෙම කෙඳි එකට බැඳී මහ අන්ත්‍රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වේ. මෙම කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහා අන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කරයි. මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා ඉතා ගුණදායක ඖෂධයකි. සියඹලාවල පවතින වාෂ්පශීලී රසායනික සංඝටක මඟින් බොහෝ පිටිවහලක් ලබා දේ. ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ. සියඹලා හෘදයට ඉතා ගුණදායක පලතුරකි. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ඉතා ගුණදායක වේ.
සියඹලා කියන්නේ හිසකෙස් වැටීම පාලනය කරන්න පුළුවන් විස්මිත ඖෂධයක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. සියඹලා කරල් කිහිපයක් අරගෙන එය මොලොක් වන තුරු වතුර ස්වල්පයකින් තම්බා මිරිකා ගත් යුෂ හිස්කබලේ ආලේප කර ටික වේලාවකින් පිරිසුදු ජලයෙන් සෝදා හැරීමෙන් හා සියඹලා කොළ යුෂ හිසේ ගැල්වීමෙන් හිසකෙස් වැටීම අඩු කරගන්න පුළුවන්.
සියඹලා මෙන්ම සියඹලා ඇටවල ද ඇත්තේ පුදුමාකාර ගුණයකි. පිලිස්සුණු තුවාල ඇති වූ විට සියඹලා ඇට කුඩු කොට ආලේප කිරීමෙන් ද පිලිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුව කර ගැනීමට හැකියාවක් ඇත. එමෙන්ම සියඹලා, මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැකියි.
ශරීරයේ ඇති අපිරිසුදු රුධිරය පිරිසුදු කිරීමේ ගුණයක් ද සියඹලාවල පවතී. දරුවන්ගේ සුව නොවන පණු රෝගවලදී සියඹලා කොළ කසාය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පලතුරක් හා ඖෂධයකි.
අද සමාජයේ බහුලවම දකින්න ලැබෙන ගැටලුවක් තමයි මේ දියවැඩියා රෝගී තත්ත්වය. ඉතින් රුධිරයේ සීනි මට්ටම ස්ථායි කිරීමේ හැකියාවක් සියඹලාවලට තියෙන නිසා දියවැඩියාව පාලනය කිරීම සඳහා හොඳ ඖෂධයක් විදිහට සියඹලා භාවිත කරන්න පුළුවන්. හොඳින් ඉදුණු සියඹලා ඇට කිහිපයක් උණුසුම් වතුර එකකට එකතු කරලා දිනකට දෙවරක් විතර පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තබා ගන්න පුළුවන් බව සොයා ගෙන තියෙනවා.
මේ වගේ සෞඛ්‍ය ප්‍රතිඵල රාශියක් ලබා දෙන සියඹලා නිතර අනුභව කිරීමෙන් පහසුවෙන්ම සිරුරේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගන්න අවස්ථාව ලැබෙනවා. සියඹලා කියන්නේ උෂ්ණාධික ආහාරයක් නොවෙයි. එය සිරුර සිසිල් කරනවා.
සියඹලා ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය
සියඹලා ග්‍රෑම් 250ක්
සීනි ග්‍රෑම් 200ක්
(සියඹලාවේ ඇඹුල් රස අනුව)
වතුර – 1/2 කෝප්පයක්
ඉඟුරු (කුඩාවට කපපු) – තේ හැන්දක්
කුරුඳු පොතු – කුඩා කෑල්ලක්
ලුණු තේ හැඳි 1/4ක්
සාදන ක්‍රමය
සියඹලා පොතු ඉවත් කර, ඇට ඉවත් කර, මඳ ටික හොඳින් සෝදා ගන්න. භාජනයක් (මැටි හට්ටියක් වඩාත් සුදුසුයි) ළිප තබා, සෝදා ගත් සියඹලා මස්, වතුර, ඉඟුරු, කුරුඳු පොතු සහ ලුණු දමා අඩු ගින්දරේ තම්බා ගන්න. සියඹලා මදය මෘදු වී, වතුර හිඳී මිශ්‍රණය ඝන වන තුරු හොඳින් හැඳි ගාමින් උයන්න. සීනි එකතු කරන්න. පැණි ස්වභාවයට පැමිණි පසු ළිපෙන් බා, නිවාගත් පසු භාජනයකට දමා තබන්න.
සියඹලා පානය
අවශ්‍ය ද්‍රව්‍ය
සියඹලා ග්‍රෑම් 250ක්
ලුණු තේ හැඳි 1/4ක්
සීනි රස පදමට
ජලය
කුරුඳු පොතු සහ එනසාල් කුඩු ස්වල්පයක්
සාදන ආකාරය
හොඳින් ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොඳින් පොඩිකර ගන්න.පසුව අවශ්‍ය පමණ වතුර දමා පෙරාගන්න. අනතුරුව ඊට ලුණු, සීනි, එනසාල් කුඩු හා කුරුඳු කුඩු රස අනුව එකතු කරගන්න. අවසානයේ අයිස් කැට දමා බීමට ගන්න.
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනී
