මෙවර තරුණී නුගසෙවණ සුසංයෝගයෙන් ගෙතුම් කලාවේ තිබෙන ත්‍රිමාණ ගෙතුම් ක්‍රමයක් වන පෆ් ගෙතුම හඳුන්වා දෙන්නෙමු. මෙම පෆ් ගෙතුම භාවිතයෙන් විවිධ නිර්මාණ ගෙතීමට හැකියි. අපි එම ත්‍රිමාණ මල නිර්මාණය කරන ආකාරය බලමු.
ඉතින් ඔබ ස්වයං රැකියාවක් කිරීමට කැමැති කාන්තාවක් නම් ඔබට මෙම ත්‍රිමාණ මල භාවිතයෙන් විවිධ ලස්සන නිර්මාණ රාශියක් සාදා ගත හැකියි. උදාහරණයක් ලෙස වූල් බෑන්ඩ්, කොණ්ඩ කටු, හෙයාර් බෑන්ඩ්, සයිඩ් බෑග්, කුඩා දියණියන්ගේ ගවුම් අලංකරණ සඳහා, තරුණ ගැහැනු ළමුන්ගේ ක්‍රොප් ටොප්, කුෂන් කවර වැනි බොහෝ දේ සඳහා යොදා ගත හැකියි.
අපි මෙම මල සාදා ගැනීමට ගෙතුම් ක්‍රම කිහිපයක් සහ ගොතා ගන්නා ආකාරය දැන ගත යුතුය.
1.දම්වැල
පළමුව ගොතන නූල ලූප් එකක් ආකාරයට ගන්න. ලූප් එක අතරින් වූල් බෝලය පැත්තේ තිබෙන නූල කොටස ඇඟිල්ලේ පටලවා ලූප් එක අතරින් අරගෙන ඉන්පසු නූලේ කෙළවරට අඳින්න. තදට ගැටයක් එන ආකාරයට තද කර නූල් බෝලය පැත්තේ තිබෙන කෙළවර ඇදලා කටුවේ ප්‍රමාණයට සාදාගත් අලුත් ලූප් එක කුඩා කර ගන්න.
එය ස්ලිප් නොට් එක (slip knot) ලෙස හදුන්වයි. දැන් අපි ස්ලිප් නොට් එක ඇතුළට කටුව දමා දම්වැල් ගෙතීම ආරම්භ කරමු. ඒ සඳහා නූල් හතර සහ පහ ඇඟිලි අතරින් දමා නූල අතේ පිටුපසින් දෙක තුන ඇඟිලි අතරින් යවා දබරැඟිල්ලේ පටලවා එක තුන ඇඟිලි දෙකෙන් තරමක් නූල අල්ලා ගන්න. නූල කලින් යෙදූ ස්ලිප් නොට් එක ළඟින් අල්ලා ගන්න. නූල කටුවේ පටලවා ලූප් එක අතරින් කටුව එළියට ඇද අලුත් ලූප් එකක් සාදා ගන්න. එලෙස දිගින් දිගටම ගෙතීමෙන් අපට දම්වැලක් සාදා ගත හැකියි.
2. තනිපට පිරවිල්ල
මෙම ගෙතුම ගෙතීමට පෙර පාදම වශයෙන් (fundation) කී පරිදි දම්වැල ගොතා ගැනීමට අවශ්‍යයි. කටුවේ සිට දෙවැනි දම්වැල අතරින් නැවතත් කටුව රිංගවා ලූප් එකක් ඇද ගන්න. දැන් කටුවේ ලූප් දෙකක් තිබේ. නැවතත් නූල කටුවේ පවලවා පෙර ලූප් දෙක අතරින් කටුවේ පැටලු ලූප් එක ඉවතට ඇද ගන්න. නැවතත් ඊළඟ ගෙතුම් දම්වැල අතරින් කටුව රිංගවා නූල පටලවා ලූප් එකක් ඇද නැවතත් කටුවේ නූල පටලවා ලූප් එකක් එළියට ඇද ගන්න. එලෙස දිගටම චේන් මතට තනිපට පිරවිලි යොදා ගන්න.
3. දෙපට පිරවිල්ල
පෙර කී පරිදි දම්වැලක් යොදාගෙන අපි දෙපට පිරවිලි ගෙතීම ආරම්භ කරමු. මෙහිදී දම්වැල ගොතා කටුවේ සිට දම්වැල් දෙකක් අතහැර තුන්වැනි දම්වැලේ සිට දෙපට පිරවිලි ගෙතීම ආරම්භ කරමු.
කටුවේ නූල පටලවා ලූප් එකක් කටුවේ රඳවාගෙන දම්වැලේ තුන්වැනි දම්වැල අතරින් නැවතත් කටුවේ නූල පටලවා ලූප් එකක් එළියට අදින්න. දැන් කටුවේ ලූප් තුනක් ඔබට දැක ගත හැකියි. නැවතත් කටුවේ නූල පටලවා පළමු ලූප් දෙක අතරින් අලුතින් සාදා ගත් ලූප් එක එළියට අදින්න. එවිට කටුවේ ලූප් දෙකක් ඔබට දැක ගත හැකියි. නැවතත් කටුවේ නූල පටලවා එය කටුවේ ඇති ලූප් දෙක අතරින් එළියට ඇද ගන්න.
දැන් අපි ත්‍රිමාණ මල ගොතන ආකාරය ඉගෙන ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය
වූල් බෝලයක්, ගොතන කටුවක් (4mm)
ගොතන ආකාරය
පෙර පැහැදිලි කළ ආකාරයට චේන් 6ක් ගොතා ගන්න. එය රවුමක් ආකාරයට පළමුව චේන් එකට ස්ලිප් ස්ටිච් ගෙතුමක් දමා ගැනීමෙන් සාදා ගන්න. නැවතත් දම්වැලක් දමා තනිපට පිරවිල්ල ගෙතීම සඳහා උස සකසා ගන්න. දැන් අපි දම්වැල මඟින් සකසා ගත් රවුම තුළට ඉහත කියා දුන් ආකාරයට තනිපට පිරවිලි 12ක් යොදා රවුම පුරවා ගන්න. අවසානයේ ස්ලිප් ස්ටිච් එකක් යොදා එම රවුම අවසන් කරන්න.
දැන් මලේ පෙති සාදා ගන්නා ආකාරය බලමු
දම්වැල් තුනක් ගොතා පළමුවැනි පෙත්ත සඳහා අවශ්‍ය උස සාදා ගන්න. ඉන්පසු පළමුවැනි තනිපට පිරවිල්ල මතට දෙපට පිරවිල්ල ගොතන ආකාරයට කටුවේ නූල පටලවා ලූප් එකක් ඇද නැවතත් කටුවේ නූල පටලවා පළමු ලූප් දෙක අතරින් අලුත් ලූප් එකක් ඇද ගන්න. දැන් ඔබට කටුවේ ලූප් තුනක් දැක ගත හැකියි. නැවතත් කටුවේ නූල පටලවා නැවතත් පළමුවැනි තනිපට පිරවිල්ල අතරින් ලූප් එකක් ඇද නැවතත් කටුවේ නූල පටලවා පළමුවැනි ලූප් දෙක අතරින් නූල ඇද ගන්න. එලෙස එකම තනිපට පිරවිල්ල මතට දෙපට පිරවිලි භාග 4ක් යොදන්න. එවිට කටුව මත ලූප් 5ක් ඔබට දැකගත හැකියි.
නැවතත් දෙවැනි තනිපට පිරවිල්ල මතට දෙපට පිරවිලි භාග 4ක් ගොතා ගන්න. එවිට ඔබට කටුව මත ලූප් 9ක් දැකගත හැකියි. එම ලූප් 9 හොඳින් තදට අල්ලාගෙන කටුව වටේ නූල පටලවා එම ලූප් එක සියලුම ලූප් 9 අතරින් කටුව එළියට ඇද ගන්න. එම ගෙතුම සම්පූර්ණ කිරීමට චේන් 3ක් ගොතා දෙවැනි තනිපට පිරවිල්ල මතට ස්ලිප් ස්ටිච් එකක් යොදා ගනිමින් පෆ් ගෙතුම සම්පූර්ණ කර ගන්න.
එලෙස තනිපට පිරවිලි දෙකක් මතට දෙපට පිරවිලි භාග යොදා ගෙන ගොතනු ලබන පෆ් ගෙතුම් සහිත පෙති 6ක ත්‍රිමාණ මලක් ඔබට සාදා ගත හැකියි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
