Wednesday, January 28, 2026
Epaper
Home නවකතාවඔයා අම්මත් එක්ක කතා කළාද?

ඔයා අම්මත් එක්ක කතා කළාද?

by Shanaka Lakehouse

ඩබ් ටී සී රියර් එන්ට්‍රන්ස් එකට නිගූ එන විට දොළහත් පසු වී තිබෙයි. ළං වෙන තුරුම අසෙනිට ඇමතුමක් ගැනීමට නොහැකි වන්නේ අතරමඟ දිගටම විරාජ් සමඟ කතා කරන්නට සිදු වූ බැවිනි. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන්, “ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්නෙපා” රූපවාහිනී දැන්වීම මෙවරත් අයිකොනික් අයි ආයතනයට භාර දී තිබෙයි. මුහුද මැදට ගොස් රූ ගත කළ යුතුව තිබෙන දර්ශන කිහිපයක් සඳහා දැරිය යුතු වියදම අඩු කර ගන්නා විදිහ ගැන ඔවුහු කතිකා කරති. බෝට්ටු දෙකකින් ගොස් රූගත කරගත යුතු දර්ශන කිහිපයක් සඳහා එක් බෝට්ටුවක් යොදාගෙන ඩ්‍රෝනර් එකක් මඟින් අඩුපාඩුව පිරිමසා ගැනීමට විරාජ් යෝජනා කළද නිගූ ඊට කැමැති නොවෙයි. ඔහු පවසන්නේ තවත් බෝට්ටුවක සිට මුහුදු රළ උස් පහත් වන ආකාරය ශූට් කළ යුතු බවයි. අවසන විරාජ් මීගමුවේ සිටින තම ධීවර මිතුරකුගෙන් බෝට්ටුවක් ලබා ගැනීමට හැකිදැයි සොයා බැලීමට තීරණය කරයි.

“නැරේෂන් එකේ වොයිස් එකට ඈපාටම කතා කරමු නේද බොස්.”

විරාජ් ඇමතුම විසන්ධි කිරීමට පෙර නිගූගෙන් අසයි.

“ඔව්. ඈපාට කතා කරලා තියන්න.. උගෙ වොයිස් එක තමා සෙට් වෙන්නෙ. මං දැන් ඔෆීස් එකට එන්නෑ විරාජ්.. අර යුනිලීවර් වැඩේ ලොකේෂන් පොටෝස් වගයක් එවලා තිබුණා.. ඔයා ඒ ටික බලලා කන්ෆර්ම් කරන්න.. මං හැන්දෑවෙ කෝල් කරන්නම්.”

නිගූ රියර් එන්ට්‍රන්ස් එකට එන විටත් අසෙනි පහළට පැමිණ නැත. රථය එහි නතර කරගෙන සිටිය නොහැකි බැවින් ඔහු ඩබ් ටී සී වටා තවත් වටයක් ගමන් කරයි. දෙවැනි වටය කැරකී එන විට අසෙනි පහළට පැමිණ සිටියි. ඈ ලිනන් ට්‍රවුසර් එකට ෆ්‍රිල් කර සහිත ටොප් එකක් ඇඳ සිටියි. ඒ ඇඳුමට ඈ වෙනදාටත් වඩා ලස්සනට පෙනෙයි. ලතාවකට පැද්දෙන ඇගේ ගමන අමුතුම පාවීමක් යැයි ඔහුට සිතෙයි. ඈ ගමන් කරන තාලයට ඇගේ පුළුල් නිතඹෙහි නැම්ම ඔහුගේ ඇස්වල වදින ගානයි. නිගූ නවතන රථයට ඈ ගොඩවෙයි. ඇස් යට තඩිස්සි වී තිබෙයි. දෙතොල් ආලේපන නැත. කෙස්වැටිය උස් කොට ගෙඩියක් ගසා තිබෙයි.

“මං මේක වටේ එක වටයක් ගිහින් ආවෙ.. ඔයා ඇවිත් හිටියෙ නෑ..මෙයාලා මෙතැන නවත්තන් ඉන්න දෙන්නෑ…”

නිගූ ඇනුම් පදයක් විදියි. අසෙනි ඔහුගේ වමත් බාහුව වැලඳ උරමත මුහුණ හොවා ඇනුම් පදය මඟහරියි. නිගූ නිවෙයි. අසෙනි දැල්වෙයි. නිගූ දැල්වෙයි. අසෙනි නිවෙයි.

කිංස්බරිය ළඟින් වමට හරවා ගාලු පාර දෙසට ඇදෙයි. ඩුප්ලිකේෂන් පාරේ අතුරු මඟකින් ගොස් ගාලු පාර විනිවිද මැරින් ඩ්‍රයිව්වට වැටෙයි. වැල්ලවත්ත දෙසට ඇදෙයි. දකුණු පසින් ඈත මුහුදේ සිතිජ ඉම බොඳ වී පෙනෙයි. බැරකුඩාව පසුකර රථය වම්පසට අයින් කර නැවතෙයි. වෙනදාට නම් “අපි යන්නේ කොහේද” යැයි ඈ අසයි. එහෙත් අද නිහඬයි. මුව ගොළුයි. ඇස් පියා තවමත් ඔහු උරමත මුහුණ හොවාගෙන හිඳියි. නිගූ ඈ සුරත සෙමින් දෙතොලට ළං කර හාද්දක් තබයි. ඈ ඇසිපිය හරියි. ඔහුගේ වමත් බාහුව වැරෙන් තමා වෙත ඇදගනිමින් ගෙල මත දෙතොල් සීතල දැනෙන හාදුවක් තබයි.

දෙදෙනා රථයෙන් බැස රේල් පාරට ගොඩ වෙති. ඈ රේල් පීල්ලක් මත හීල් සපත්තුවේ ඉදිරි කොටස තබන විට ඔහු ඈ වෙත සුරත දිගු කරයි. ඈ වැරෙන් ඔහුගේ අත අල්ලාගෙන රේල් පාරෙන් එතෙරව වෙරළබඩ අවන්හලකට පිවිසෙයි. වෙරළ ඉම වැටකෙයා පඳුරු අතර මේසයක් සහ පුටු දෙකක් ඔවුන් වෙනුවෙන් සැකසෙයි. මෙනු පත් පිරික්සෙයි.

රළු රළ පතර වෙරළ ඉම හැපී පෙණ නගා ආපසු දියඹට ඇදෙයි. කරදිය සුළඟත්, වැටකෙයා පඳුරුත් අතර අනවරත සංලාපය ඝෝෂාවකි.

අසෙනි මෙනුපත පෙරළන නිගූගේ මුහුණට එබෙයි. තමා ගැන අම්මාගේ ප්‍රතිචාරය දැනගැනීමට ඈට හදිසියි.

“ඔයා අම්මත් එක්ක කතා කළාද? මොකද අම්මා කිව්වෙ..?”

ඔහු කිසිත් නොකියා මෙනුපතටම නෙත් යොමා හිඳියි. ඇගේ සිත නොසන්සුන් වෙයි.

“කියන්නකො අනේ ඉක්මනට.. මට දැනගන්න ඕ‍ෙන.. එයා මට කැමැති වුණාද? ” නිගූ, නෙත් යොමා සිටි මෙනුපත ඈ අහකට අදියි. ඔහු ඈ වෙතට නැඹුරුව කතා කරයි.

“ළමයො, අම්මා කවදාවත් මං සතුටින් ඉන්න දේකට අකැමැති වෙන්නෑ.. කලබල නොවී ඉන්නකෝ.. කීප වතාවක් මං ඔයා ගැන කතා කරන්න හැදුවත් කතාව වෙන පැත්තකට ගියා.”

නිගූ බොරු කියයි. අම්මා කී දේ ඒ වචනවලින්ම අසෙනිට කිව නොහැකියි. එසේ කියා ඇගේ හිත දුකින්, කනස්සල්ලෙන් පුරවන්නේ කුමටදැයි සිතෙයි. ඊටත් වඩා නිගූ අකැමැති වන්නේ, අසෙනි, අම්මා ගැන නරකට සිතීම ගැනයි. අම්මා අසංවේදී, අකාරුණික, නපුරු ගැහැනියක් යැයි සිතනු දැකීමට ඔහු කැමැති නොවෙයි. එහෙත් එකවරම නිගූගේ හිත තුළ අම්මා කී වචන පෙළක් දෝංකාර දෙමින් ඇසෙයි.

“ඔය ඔක්කොටෝම වඩා හොඳ දේ ආපහු ගෙදර ගිහින් පාඩුවේ ළමයගේ වැඩ ටිකත් බලන් හිටියනම් කියන එකයි මමනම් හිතන්නෙ..”

අසෙනි සමඟ ඇසුරෙන් තමා අම්මාට කරන්නේ ද්‍රෝහිකමක් නොවේ දැයි නිගූට සිතෙයි. අම්මා සිතන කියන දෙයට පටහැණි දෙයක් කිරීමෙන් තමා කරන්නේ අම්මාගේ වචනයට පිටුපෑමක් නොවේ ද? අසෙනි ගැන කිසිවක් අම්මා සමඟ නොකියා ඉන්නට තිබිණැයි ඔහු තුළ පසුතැවිලි සිතුම් මාත්‍රයක්ද උපදියි.

අසෙනි යළි ඒ ගැන නිගූගෙන් නොඅසන්නට සනිටුහන් කර ගනියි. ඇතැම් මිනිසුන් කොතරම් අව්‍යාජ සුන්දර මිනිසුන් වුව ද ඔවුන් තුළ පවා හිතාගත නොහැකි තරම් සංකීර්ණ ජීවන කලාපයක් ඇති බව අසෙනිට වැටහෙයි. අසෙනි මෙතෙක් ඈ තුළ නොතිබුණු උද්‍යෝගයකින් මෙනුපතෙහි බෙවරේජස් පිටුව පෙරළයි. අමුතු සැහැල්ලුවක් මවා ගනිමින් ඔහු දෙසට හැරෙයි.

“ඔයා අද මා එක්ක බොන්න ඕ‍ෙන.. ඔයාගේ යාළුවොත් එක්ක විදිහටම මා එක්ක විනෝද වෙන්නෝන.. මට දැනගන්නෝන ඔයාගේ එන්ජෝයිමන්ට් එක කොතැන ද තියෙන්නෙ කියලා.. ඔයාමනෙ කියන්නෙ හීනවලදියි බීලා වෙරි වුණාහමයි තමා අන්කොන්ෂස් එළියට එන්නෙ කියලා.. අද මට බලා ගන්න ඕ‍ෙන ඔයා ඇතුළෙන්ම මට ආදරේ ද කියලා..”

අසෙනිගේ සිනහව වෙරළ රළ සමඟ මැකී යයි. එය වියරු සිනහවකැයි නිගූට සිතෙයි.

” හරි බොමු එහෙනම්.. මං කැමැතියි..”

නිගූ වේටර්ට කතා කර තමා වඩාත් කැමැති බී ෆීටර් ජින් බෝතලයක් සහ අනෙකුත් කළමනා ඇනවුම් කරයි. පසුව ඔහු අසෙනිව ඇදගෙන වැටකෙයා ගාලෙහි රහස් ඉමකට සේන්දුව ඇගේ බඳ වටා අත යවා තර කොට තමා වෙත ඇද සිප ගනියි. ඔහුගේ දැඩි දෙතොල් ග්‍රහණයෙන් ඇසිල්ලකට වැරෙන් මිදෙන අසෙනි ඉතා සුරතල් ලෙස මුමුනයි.

“මේවා නෙවෙයි අනේ බොමු කිව්වෙ..”

“මේවයෙන් තමා වැඩියෙන් මත් වෙන්නෙ”

නිගූ එසේ කියා සිනාසෙයි. එහෙත් තමා මේ කරන්නේ අම්මාට ද්‍රෝහිවීමක් නොවේදැයි යන සිතුවිල්ල විදුලි කෙටුමක් සේ සිතේ ඇඳී මැකී යයි.

වැලි පර මත සැරෙන් වදින රළ පතර ගොස සමඟ ඇගේ සිහින් ස්වර මැකී යයි.

තවත් කොටසකින් හමුවෙමු.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?