Monday, January 19, 2026
Epaper
Home විශේෂාංගරජයේ රෝහලට තරු පන්තියේ සත්කාරයක්

රජයේ රෝහලට තරු පන්තියේ සත්කාරයක්

by Shanaka Lakehouse

පිළිකාව යනු හුදෙක් ශාරීරික වේදනාවක් පමණක් නොවේ. රෝගියා මෙන්ම පවුලේ සාමාජිකයන් ද දැඩි මානසික කඩා වැටීමකට ලක් කරන අභියෝගයකි. මහරගම අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත රෝගීන් අතරින් බහුතරයක් ඈත පිටිසර ගම්මානවල වෙසෙන අගහිඟකම් සහිත ජනතාවයි. එවැනි රෝගීන්ට ඖෂධීය ප්‍රතිකාර තරමටම වැදගත් වන්නේ ගුණාත්මක පෝෂණය සහ තමන්ව ආදරයෙන් රැකබලා ගන්නා බවට වන මානසික සහතිකයයි.

මෙම අත්‍යවශ්‍යතාව හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන් අපේක්ෂා රෝහලේදී රජයේ රෝහලක ප්‍රථම වරට “ආහාර දෙපාර්තමේන්තුවක්” (Food and Beverages Department) ආරම්භ කිරීම සැබැවින්ම ඓතිහාසික පියවරකි. පිළිකා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ආහාර රුචිය අවම වීම පොදු ලක්ෂණයක් වුවද නව වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දී ඇති “සුවිශේෂී ආහාර පිඟාන” (Customize Plate) මගින් රෝගියාට බත්, එළවළු සහ මස් හෝ මාළු ඉතා ප්‍රියමනාප ලෙස වෙන් වෙන්ව පිළිගන්වනු ලබයි. මෙය හුදෙක් කුසගින්න නිවීමක් නොව රෝගියාට තමන් පිළිබඳව “ගෞරවනීය හැඟීමක්” ඇති කරවන්නකි.

​රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් සහ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100ක වියදමින් නිම වූ මෙම නවීන මුළුතැන්ගෙය, රජයේ සෞඛ්‍ය පද්ධතිය නව මානයකට ඔසවා තැබීමකි. අපගේ විශ්වාසය වන්නේ මෙම ආදර්ශවත් ව්‍යාපෘතිය පිළිකා රෝගීන්ට පමණක් සීමා නොවිය යුතු බවයි. ලංකාවේ සමස්ත රජයේ රෝහල් පද්ධතිය තුළම මෙවැනි ගුණාත්මක ආහාර සැපයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවකි.

අපගේ රජයේ රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් මට්ටමට හෝ ඊටත් වඩා ඉහළ ගුණාත්මක මට්ටමකට දියුණු කළ හැකි බවට මෙය කදිම සාක්ෂියකි. රෝගියෙකු රෝහල්ගත වූ පසු ඔහුට ලැබෙන සත්කාරය, පිරිසිදුකම සහ පෝෂණය “පෞද්ගලික අංශයට පමණක් සීමා වූ වරප්‍රසාදයක්” නොවිය යුතුය. රජය, පෞද්ගලික අංශය සහ පරිත්‍යාගශීලීන් එක්ව දියත් කළ මෙම උදාර මෙහෙවර, සමස්ත ලාංකීය රෝගී ජනතාවටම ගෞරවනීය ප්‍රතිකාර අත්දැකීමක් ලබා දීමේ සමාරම්භය විය යුතුය. මනුෂ්‍යත්වයේ නාමයෙන් තැබූ මෙම පියවර සුවපත් හෙට දවසක් වෙනුවෙන් රටක් ලෙස අප ලද ජයග්‍රහණයකි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?