ශිරෝමිකා ප්‍රනාන්දු කියන්නේ අප කවුරුත් දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක ලෙස අප කවුරුත් දැන හඳුනා ගන්නා ඇය සෙනෙෙහබර දියණියක ලෙස සිය මවට දක්වන ස්නේහය බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය. මෙලොව කිසිදු වස්තුවකට සම කළ නොහැකිවූද මිල කළ නොහැකි වූද සෙනෙහසක් සහිත ආදරයේ නොසිඳෙන උල්පතක් බඳු වූ අම්මාවරුන් ගැන කතා කරන තරුණි අම්මාවරුනේ විශේෂාංගය සමඟ අදහස් දක්වන්නට මෙවර අප සමඟ සම්මුඛ වූයේ ඇයයි. මේ ඇය ඇගේ මවුතොමෝ ගැන අප සමඟ අදහස් දැක්වූ ආකාරයයි.
“මගේ අම්මාගේ නම එච්. මිල්සි ෆොන්සේකා. දැන් ඇයට අවුරුදු 98 යි. සැබැවින්ම අපේ අම්මා දරුවන් ගැන පමණක්ම හිතපු අප වෙනුවෙන් ජීවිත කාලයම කැප කරපු කෙනෙක්. අපේ තාත්තා නැති වෙනකොට මගේ වයස අවුරුදු අටයි. ඒ වන විට අපේ අම්මාට අවුරුදු තිස් පහයි. ඉතින් එදා ඉඳන් විවිධ දුක් ගැහැට විඳිමින් ඇය අපව පෝෂණය කළා. කඩයප්පන් හදලා ඒවා කඩවලට විකුණලා එයින් ලැබෙන සුළු ලාභයෙන් ඇය අපේ අවශ්‍යතා සම්පූර්ණ කළා.
ඒ වගේම මොන නැතිබැරිකම් තිබුණත් අපේ අම්මා කවදාවත්ම අනුන්ගේ දේවල් හෙව්වේ නෑ. ඇත්තටම ඇය වචනයකින් හෝ කාගෙවත් හිත නොරිදවපු තරම්. අදටත් අසිහියෙන් වැරදි වචනයක් කීවොත් මිසක් ඇය කවදාවත්ම උඹ කියා හෝ පවසමින් කාගේවත් සිත රිදවූ කෙනෙක් නොවේ. ඇත්තටම මටත් අම්මාගේ ගතිගුණ බොහෝමයක් පිහිටලා තිබෙනවා. ඉතින් අපේ අම්මාගේ ගතිගුණ මට පිහිටපු එක ගැන මං ගොඩාක් සතුටු වෙනවා.”
ශිරෝමිකා ප්‍රනාන්දු සිය මව හා සබැඳි අමිල මතක අපට ගෙනහැර දැක්වූයේ අතිශයින්ම හැඟීම්බර ස්වරයෙනි. ප්‍රේමකීර්ති ද අල්විස් එදා ගීතයට නැගූ විලසින්, ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිල්ලේ එල්ලී යන පද පෙළට ජීවය ලබා දෙන මතක සැමරුමක් ඇය අප හමුවේ තැබුවේ මේ අයුරිනි.
“මං පුංචි කාලයේ හතිය නිසා ගොඩාක් දුක් වින්දා. මගේ මතකය අනුව මට අවුරුදු පහළොවක් පමණ වනතුරු නිතර මට හතිය හැදුණා. ඉතින් අපි ඒ කාලේ කවදාවත්ම පෞද්ගලික රෝහලකින් බෙහෙත් අරගෙන නෑ. රෝගී වුණු හැම වෙලාවකදීම අම්මා මාව එක්කරගෙන යන්නේ පානදුර රජයේ රෝහලට. ඉතින් එක්තරා දවසක මට හතිය හැදුණු වෙලාවක අපේ අම්මා ගෙදර ඉඳන් කිලෝමීටර් තුනක් දුරින් පිහිටි පානදුර රෝහලට මාව වඩාගෙන ගිය හැටි මට අද වගේ මතකයි.
එදා මගේ කකුල් දෙක බිම ගෑවී ගැවී ඇගේ උර මත හොවාගෙන මාව රෝහලට එක්කරගෙන නොගියා නම් අද මං ජීවතුන් අතර නොඉන්නත් තිබුණා.
ඒ වගේම තාත්තා නැතිවුණ දවස්වල අපට අගහිඟකම් ගොඩක් තිබුණා. ඒ අවස්ථාවේ අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් අපේ අම්මාට එක්තරා නිෙවසක අත් උදව් ලබාදෙන රස්සාවක් සොයා දුන්නා. එදා දවසේ වරුවක් ගත වෙන්නටත් පෙර මං ඒ නැන්දාව මුණ ගැහිලා අම්මා කොහේදැයි ඇහුවා. ඒ වෙලාවේ අම්මා වැල්ලවත්තේ නිෙවසක සේවය කරනවා කියා ඇය කිව්වා. එදා මං දවස පුරාම ගත කළේ හැඬූ කඳුළින්. ඉතින් පහුවෙනිදා උදේම ඒ නැන්දා අපේ අම්මාව ගෙදරට ඇරලුවා.”
එදා වගේම අදත් ශිරෝමිකා සිය වයෝවෘද්ධ මෑණියන්ට යුතුකම් ඉටු කරමින් ගත කරන්නේ ඉතා සැනසිලිදායක දිවියක්. මවකට යුතුකම් ඉටු කරන දරුවන්ගේ සිත් තුළ තිබෙන්නේ අසීමිත සැනසීමක් බව අමුතුවෙන් කිව යුතු නෑ. අම්මා ළඟ නැතිව මොහොතක් හෝ ජීවත් වන්නට බැරි තරමට ඈ සහ මව අතර ඇති සබැඳියාවට මීට වඩා උදාහරණ තිබේද?
“ඇත්තටම එදා වගේම අදත් අම්මා නැතිව ඉන්න බැහැ. මං රූගත කිරීමකට ගිය අවස්ථාවලදී අම්මාව සිහි වෙන අවස්ථා අනන්තයි. අප්‍රමාණයි. එවන් අවස්ථාවන්හි මට ගෙදර දුවලා ඇවිත් අම්මාව බලලා නැවත යන්න හිතෙනවා. මං ගෙදර ඉන්න හැම වෙලාවකමත්, මොහොතක් මොහොතක් පාසා මං ඇය ගැන සොයා බලන්නේ පුරුද්දකට වගේ.”
මාතුපෝෂක ජාතකයේ මව කරපින්නාගෙන මහ සාගරයේ ගව් ගණනක් පිහිනූ බෝසත් පුතුට මතු බුදු වේවා යනුවෙන් නියත විවරණ දුන් මව ගැන අප අසා තිබේ. ඒ හා සමාන සිදුවීම් අදද අපට අසන්නට දකින්නට ලැබේ. ශිරෝමිකා කියන මේ කතාවද ඊට සමාන කතාන්දරයකි.
“අම්මා මට දෙවඟනක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය මගේ ගෙදර බුදුන්. ඇය දෙවැනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඇත්තටම ඇයගේ වැඩ කටයුතු සියල්ලක්ම පාහේ මගෙ අතින් සිදු වෙනවා. ඇයව නාවන හැම මොහොතකම ඇය මට කියන්නේ “මගේ දුව බුදු වේවා” කියලයි. ඇගේ මුවින් ඒ වදන දහස් වතාවකට වඩා කියැවිලා ඇති. ඉතින් ඇගේ ආශීර්වාදය මට මහ මෙරක්.
ඇත්තටම මාව හදා වඩා ගත් ආකාරය දෙස නැවත හැරී බලන විට මං අම්මාට දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නෑ. එහෙත් මට හැකි උපරිමයෙන් මං ඇයව රැක බලා ගන්නවා. මං නිතරම කටයුතු කරන්නේ මගේ සේසතම නැති වනතුරු හෝ ඇයව රැක බලා ගන්නවා යන අධිෂ්ඨානයෙන්. ඇයට පොඩි කැස්සක් ආවත් වෛද්‍යවරයාට කතා කරලා ඇගේ නීරෝගි බව ආරක්ෂා කරනවා.
ඒ වගේම පාන්දර පහට රූගත කිරීමක් තිබුණොත් මං අවදි වන්නේ පාන්දර තුනට. මං ගෙදරින් පිටත් වන්නේ තුන් වේලටම කෑම පිළියෙල කරලා අම්මාගේ හැම ඕනෑ එපාකමක්ම ඉටු කිරීමෙන් අනතුරුවයි. අපේ අම්මාට කඩ කෑම කන්න බෑ. ඉතින් අම්මා කැමැති ආහාර වර්ග වන බතල, කිරිබත්, මුං කිරිබත්, කඩල, මඤ්ඤොක්කා හැර වෙනත් කිසිදු ආහාරයක් මං කවදාවත්ම උදේට හදන්නේ නෑ.”
දරුවෙක් ජීවිතයේ පියවරෙන් පියවර තරණය කරන්නට මූලික ආභාසය ලබන්නේ සිය මවුපියන්ගෙනි. ඉඳින් මවුපියන්ගේ හැසිරීම්, ගතිගුණ දරුවන්ගේ ජීවිතයට ආභාස වන්නේ පුරුදු කිරීමකින් තොරවමය. ශිරෝමිකා සිය ජීවිතය නමැති කන්ද තරණයේදී මවගෙන් ලැබූ පන්නරය ගැන අප හමුවේ තැබුවේ මේ ආකාරයෙනි.
“රංගන ජීවිතයේ අද මං යම් තැනක ඉන්නේ අම්මා නිසා බව කිව යුතුයි. මං රංගන ක්ෂේත්‍රයට ආවේ අවුරුදු දහසයේදී පමණ. මං විවාහ වෙන්නේ අවුරුදු හතළිස් දෙකේදී. එදා සිට මං විවාහ වන තුරු අම්මා මගේ පිටුපස හිටියේ සෙවණැල්ල වගේ. මගේ හොඳම රසිකාවිය මගේ අම්මා. මගේ වැඩසටහනක් යනවා නම් අල්ලපු ගෙවල්වලට අයටත් ඒ ගැන දන්වලා ඇය රූපවාහිනිය ඉදිරියේ නොසෙල්වී බලාගෙන ඉන්නවා. දිවා රෑ කියා වෙනසක් නැතිව මධ්‍යම රාත්‍රිය වන තුරු වුවද ඇය නොනිදා ඒ වැඩසටහන නරඹනවා පමණක් නොව මා නිෙවසට එනතුරුද ඇය ගත කරන්නේ නිදි වර්ජිතවයි. මං නිෙවසට එන විට මට අවශ්‍ය කරන හැම දෙයක්ම ඇය සූදානම් කර තැබීමත් විශේෂත්වයක්.”
නැති බැරි මොහොතෙදි පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ පමණයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිතුවිල්ලෙන් නැඟෙන ඒ පදවැල් අපට කියා දෙන්නේ මවුපියන් සහ දරුවන් අතර පවතින සබැඳියාවේ අප්‍රමාණත්වයයි. මේ ඒ පදවැලෙහි යථාර්ථය පිළිබිඹු වන අවස්ථාවකි.
“මට ප්‍රශ්නයක් ආවොත් මං මුලින්ම කියන්නේ මගේ අම්මාට. මේ ක්ෂේත්‍රයේ මට අසාධාරණකම් වූ අවස්ථා නම් නැති තරම්. ඒත් මට සුළු හෝ සිත් රිදවීමක් වුණොත් මං අම්මාට ඒ ගැන කියනවා. ඇය ඊට සාවධානව ඇහුම්කන් දෙමින් මගේ සිත සනසනවා. ඒ සැනසීම මාව ශක්තිමත් කරනවා වගේම ජීවත් කරවනවා කීවොත් වැරදි නෑ”
TEXT – පසිඳු මිහිරාන් රැටියල
